බුද්ධිමත්ව හා තුලනාත්මකව විමර්ශනය කළ යුතු නිදහස

නිවහල් මනසකින් යුතුව

බුද්ධිමත්ව හා තුලනාත්මකව විමර්ශනය කළ යුතු නිදහස

‘නිදහස” යන වචනයට නොයෙක් දාර්ශනිකයෝ සහ විවිධ උගත්තු විචිත්‍ර වූ අර්ථකථන ඉදිරිපත් කරති. ඒ ඒ වියතුන්ගේ දෘෂ්ටිකෝණ අනුව ඔවුන් විසින් “නිදහස” යන වචනයට ඉදිරිපත් කරන ලද අර්ථකථනත් විචිත්‍රය. මෙහිදී අප “නිදහස” යන වචනයේ අර්ථය දකින්නේ ඒ ශාස්ත්‍රීය විග්‍රහ අනුව නොවේ.

අපේ රටට 1948 පෙබරවාරි මස 04 වන දින “ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශ්‍රී ලංකාව එංගලන්තයෙන් පාලනය නොවන ස්වාධීන රාජ්‍යයක්ය” යන්න පදනම් කරගෙන ශ්‍රී ලංකාවට ලැබුණු දේශපාලනික “නිදහස” පිළිබඳවයි.

එතැන් සිට අද දක්වා ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ සිට වර්තමානය දක්වා ම සියලු පාලකයන් විසින් පෙබරවාරි මස 04 වන දින “නිදහස් සමරු උත්සව“ පවත්වනු ලැබේ.

එහිදී රාජ්‍ය බලය හා ශක්තිය සම්ප්‍රදායට අනුකූලව ප්‍රදර්ශනය කෙරේ. එම නිදහස් උත්සව හෝ ප්‍රාදේශීය වශයෙන් පැවැත්වෙන නිදහස් උත්සව දකින ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයකුට හෝ මෙරට සමහර ලාංකිකයන්ට මෙවැනි සිතිවිල්ලක් ඇති විය හැකිය.

“මේ රට, එංගලන්ත පාලන ක්‍රමය ම ක්‍රියාත්මක කරන බටහිර සම්ප්‍රදායවලට ම අනුව සකස් වූ සංස්කෘතියක් ඇති දේශයක් බවයි. තවද චීනය, ඉන්දියාව වැනි දීර්ඝ ඉතිහාස ඇති සංස්කෘතිවලට කිසිම සම්බන්ධකමක් නැති ස්වාධීන වූ අනන්‍යතා ප්‍රදර්ශනය කෙරෙන සංස්කෘතික ලක්‍ෂණ නැති රටක්” බවත්ය.

ඒ විදේශිකයාගේ සිතිවිල්ල බොහෝ සෙයින් සාධාරණ යැයි මධ්‍යස්ථ මතධාරීන්ට බොහෝ සෙයින් පිළිගන්නට සිදුවන්නේ “අපේ රටේ නිදහස් දින උත්සව“ නැරඹීමෙන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “නීති පද්ධතිය, අධ්‍යාපන මූලධර්ම, දේශපාලන න්‍යාය මෙන් ම වියතුන්ගේ සම්භාවනාවට ලක්වී ඇති උසස් යැයි සම්මත බොහෝ දෙනා අනුගමනය කරන සාරධර්මවලට ආරෝපිත ගෞරවනීයත්ව“ ආදිය සැළකිල්ලට ගැනීමෙන් ය.

යහපත් ප්‍රතිඵල

මෙරට සමහර නීතිරීති ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට ලැබෙන යහපත් ප්‍රතිඵලවලට වඩා අයහපත් ප්‍රතිඵලවලට වගකිවයුත්තෝ නොමැත. උදාහරණයක් වශයෙන් බටහිර නීති සම්ප්‍රදාය ඒ ලෙසින්ම ක්‍රියාත්මක කිරීම නිසා සාමාන්‍ය ජනතාවට සිදුවෙන විනාශය සංකේතවත් කෙරෙන කථාවක් වශයෙන් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගමෙහි ජීවත් වූ සිළිදු හා ඔහුගේ පවුලේ කථාන්තරය දැක්විය හැකිය.

එහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන නඩුකාරයාටත් සිළිදුගේ චරිතයේ ඇති අහිංසක ස්වභාවය තේරුම් ගියත් සාම්ප්‍රදායික නීති රාමුව තුළ සිළිදුට සමාවක් ලබා දීමට අවස්ථාවක් නොලැබේ. එයින් ප්‍රකාශ කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ “වැරැදි කරන මිනිසුන් නිවැරැදි මඟට ගන්නට වඩා නීතිය සඳහා පැවතිය යුතුය” යන්නයි. නමුත් පෙරදිග දර්ශන සම්ප්‍රදායට අනුව තර්කයෙන් පමණක් සත්‍යයට ළඟා විය නොහැකිය.

සමහර අවස්ථාවලදී තර්කයෙන් සත්‍යාභාසයන් (සත්‍ය යැයි පෙනෙන අසත්‍යය) ද ජයග්‍රහණය කෙරේ. ඒ නිසා බෞද්ධ දර්ශනයේ “මා තක්කහෙතු” යන්න ද සත්‍යය කුමක් විය හැකිදැයි පරීක්‍ෂා කරන සත්‍ය ගවේෂකයා දැනගෙන සිටිය යුතුය. එනිසා ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන නීති ක්ෂේත්‍රයට පෙරදිග දර්ශන සම්ප්‍රදායවලින් ද උගත හැකි බොහෝ දේ ඇත. එහෙත් මේ වනතෙක් අපේ රටේ ක්‍රියාත්මක කෙරෙන නීති ක්ෂේත්‍රයේ හෝ ඒ සඳහා උපදෙස් දෙන වියතුන්ගේ අවධානය යොමු වූ බවක් නොපෙනේ.

බහුවිධ සම්පත්

තවද අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේද විවිධ රටවල වියතුන්ගේ න්‍යාය ධර්ම පදනම් කරගත් මූලධර්ම ක්‍රියාත්මක කෙරේ. ඒවායේ බොහෝ සාර දේ ඇත. එහෙත් සමහර අධ්‍යාපනඥයන් විසින් නිර්දේශ කෙරෙන න්‍යාය ධර්ම, ලංකාව වැනි බහුවිධ සම්පත් ඇති තර්කානුකූල චින්තනයකට හුරු වූ සංස්කෘතියක් අනුගමනය කෙරෙන බුද්ධිමත් ජනතාවකට නොගැළපෙන බව ක්‍රියාවෙන් ම දැන් ඔප්පු වී ඇත.

එනිසා වර්තමාන අධ්‍යාපනඥයන්ගේ අවධානය යොමු විය යුත්තේ පෙරදිග හෝ අපරදිග වේවා වඩාත් ඵලදායි වන ලෙසින් අනාගත ලෝකයට ගැළපෙන ලෙසින් ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවිය හැකි අධ්‍යාපනික ක්‍රියාදාමයකි.

අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කළ ආකාරයට “කළු සුද්දන්” සේ අප සිතීමට පුරුදු වීම හා වහල් මානසිකත්වයක් ඇති වීම, පුද්ගල සංවර්ධනයට මෙන් ම සමාජ අභිවෘද්ධියටත් බාධාවක් වේ. එනිසා අපේ රටේ “නිදහස” පිළිබඳව නිවහල් මනසකින් යුතු ව සහජ කුසලතාවලට ප්‍රමුඛත්වයක් දෙමින් බුද්ධිමත්ව හා තුලනාත්මකව විමර්ශනය කළ යුතුය.

දේශීය සම්පත්

ලෝකයේ ඉතා කුඩා රාජ්‍යයක් වූ “ශ්‍රී ලංකාව“ දේශීය සම්පත්වලින් අනූන වූ ඓතිහාසික සංස්කෘතියක් දායාද කර ගත් බුද්ධිමත් ජනතාවක් සිටින රටකි. ඒ මූලික සාධකවලට කේන්ද්‍රස්ථානය ලබා දෙමින් මේ රටේ අධ්‍යාපනය, දේශපාලනය, රාජ්‍ය නීතිරීති පද්ධති සකස් කර ගැනීමට කාලය පැමිණ ඇත.

එසේ වුවහොත් ලෝකයේ ප්‍රබල රාජ්‍යවලට වඩා බුද්ධිමය බලයෙන් හා සියලු සතුන්ට හා ස්වභාවධර්මයට අනුයෝගිතාවයෙන් වඩාත් ආදර්ශමත් රාජ්‍යය වීමට අපට හැකියාව ඇත. ඒ සඳහා වඩාත් ම අත්‍යවශ්‍ය සාධකය වන දේශපාලන ස්ථාවර භාවය වර්තමාන රජයට ලැබී ඇත. එය සුබදායී අනාගතයකට පෙර නිමිත්තකි.

එනිසා වඩාත් ඵලදායි හා තිරසාර සංවර්ධනයක් සඳහා සැලසුම් සකස් කිරීමේ දී අනාගත දැක්මෙන් යුතුව ඉදිරිපත් කෙරෙන ආර්ථික සංවර්ධන සැලැසුම් ආදියත් ස්වාර්ථ හා පරාර්ථ අභිවෘද්ධියට හේතු වන අධ්‍යාත්මික ක්‍රියාදාමයනුත් අනාගත ලෝකයා ගමන් කරන දිශානතියටත් අනුකූල විය යුතුය. එවැනි තිරසාර සංවර්ධන වැඩපිළිවෙළකට ජනතාවගේ සහයෝගය හා සහභාගිත්වය නිරායාසයෙන් ම ලැබෙනු ඇත.

එයට හොඳම උදාහරණයක් වශයෙන් “පසුගිය දශක කීපයක් තුළ දී ත්‍රස්තවාදීන් විසින් මේ රටේ කරන ලද ම්ලේච්ඡ ක්‍රියාවලට විරුද්ධව රජය විසින් මෙහෙය වූ “මානුෂික මෙහෙයුමට” ජනතාවගේ ලැබුණු සහයෝගය දැක්විය හැකිය.

එහි දී ජනතාව ජාති, ආගම්, පක්‍ෂ භේදවලින් තොරව උපකාර කළේ එම “මානසික මෙහෙයුමේ” පැවති බුද්ධිමත්භාවයත්, උපාය කෞෂල්‍යයත් සාර්ථක වූ ජයග්‍රාහී මානසිකත්වයත් නිසයි. එහි උච්චතම අවස්ථාව ලෙස “ප්‍රභාකරන්ගේ විනාශයෙන් පසුව ජනතාව මහ මඟට බැස පී‍්‍රති ඝෝෂා කරමින් සන්තෝෂ වූ ආකාර” දැක්විය හැකිය.

ජනතා සහභාගිත්වය

එවැනි ජනතා සහභාගිත්වයක් හෝ මානසිකත්වයක් අපේ රටේ පැවැත්වෙන නිදහස් උත්සවයට නැත. එයට විවිධ වූ හේතු ඇත. නමුත් මේ රටේ ජීවත්වෙන විවිධ ආගම් අදහන ජනවර්ගවලට අයත් ජනතාව විසින් පැවැත්වෙන සංස්කෘතික උත්සවවලට ඇති ජන සහභාගිත්වයවත් නිදහස් උත්සවවලට ලැබේද යනු සැක සහිතය. ඒ නිසා “නිදහස් උත්සවය” තව ම අපේ ජනතාවගේ උත්සවයක් වී ඇතැයි නොසිතේ.

එහෙත් නිදහස් උත්සවය මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික අවශ්‍යතා ප්‍රදර්ශනය කෙරෙමින් සමස්ත ජනතාවගේ අනාගත අභිවෘද්ධිය තේමා කර ගත් සංදර්ශනයක් රජයෙන් සංවිධානය කෙරෙන්නේ නම් “නිදහස් උත්සවය ජනතා උත්සවයක්” වනු ඇත.

එය රටේ ජනතාවට ජාති, ආගම් භේදවලින් තොරව සත්‍ය වූ හා විශ්වාසනීය වූ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් අන්තර්ගත ප්‍රදර්ශන, සංවාද, නිදහස් විවේචනවලට අවස්ථා තිබිය යුතුය. එසේ ම නිදහස් සැමරුමට නගරය මෙන්ම ගමත් පාලකයන් මෙන්ම පාලිතයනුත්, වියතුන් මෙන් ම නොවියතුනුත් සහභාගි විය යුතුය.

මෙසේ මුළු රටම නිදහස් සංවර්ධන මානසිකත්වයකින් යුතුව වාර්ෂිකව පුනරාලෝකනය කෙරෙමින් ඉදිරියට යාමට පෙළගැසුණොත් සංවර්ධන කටයුතුවලට විශාල ශක්තියක් වනු ඇත. මේ සංකල්පය අන්තර්ගත විචිත්‍ර වූ වැඩසටහන් විවිධ වූ විෂයානුබද්ධ ව වර්තමානයේ ක්‍රියාත්මක වේ. දැයට කිරුළ, මඟ නැඟුම, දිවි නැඟුම ආදිය උදාහරණය.

මේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් වර්ෂයක් පුරා ක්‍රියාත්මක කර ඒවායේ පලාඵල මෙන් ම නවීකරණයන් නිදහස් දිනට සමාලෝචනය විය යුතුය. එය ඉදිරි වසරේ පෙර දැක්මට නියාමකය වනු ඇත.

මෙවැනි ජාතික වැඩපිළිවෙළක් සමස්ත පාලක පාලිත දෙපක්‍ෂයම සාමුහිකව ක්‍රියාත්මක කළහොත් වර්ෂය පුරා විවිධ වූ උත්සව හා සංදර්ශනවලට වැය වෙන විශාල ධනස්කන්ධයක් හා මානව සම්පත් වසරින් වසර ජාතික සංවර්ධන සංදර්ශනයට ම එක්වනු ඇත.

එහි ඵල තමාට ලැබෙන විට ජනතාව “නිදහස් සමරුව“ වසරින් වසර තම කුසලතා අගයන ප්‍රදර්ශනයක් සේ පෙබරවාරි 04 වන දිනය සැමරීමට ඉදිරිපත් වෙනු ඇත. පක්‍ෂ, පාට හෝ ජාති ආගම් හෝ උතුර දකුණ හෝ උගත් නූගත් වැනි භේද සංවර්ධනය කරා යන ජනතාවකට බාධක නොවන බව බොහෝ දෙනාට අවබෝධ වී සියල්ලෝම සංවර්ධන ඉදිරි දැක්මේ පෙරහරට එක්වනු ඇත.

ජන ශක්තියක්

වර්තමාන රජයට හා ජනාධිපතිතුමාට විශේෂ අවස්ථාවක් හා ජන ශක්තියක් ලැබී ඇත. මෙහිදී රටේ අනාගත අභිවෘද්ධිය පිළිබඳව අවංක ව අපේක්‍ෂා කරන සියලු දෙනා ම මේ අනගි අවස්ථාවේදී ප්‍රයෝජන ගැනීමට එක්වී ක්‍රියා කළ යුතුය.

එහිදී පුද්ගල බද්ධ විවිධත්වයන් හා මතිමතාන්තරත්, පක්‍ෂ, ජාති වැනි පටු විවිධත්වයන් ද සැලකීමට නොගත යුතුය. විශේෂයෙන් යුද්ධයෙන් පසුව ඇතිවිය හැකි මතභේද ඕනෑම රටක සිදුවිය හැකි ලක්‍ෂණයකි.

එයට අපි බුද්ධිමත්ව හා මධ්‍යස්ථව රට හා ජනතාව ගැන පමණක් සලකා නිදහස් දේශයක් හා ජනතාවක් පිළිබඳව පමණක් සිතා නව සංවර්ධන ක්‍රියාදාමයකට යාමට අපි සියල්ලෝම එක්වෙමු. එවිට ඉදිරි වසරවලදී ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරන ජනතාවක් වශයෙන් එකට එක්වී “නිදහස් දින උත්සවය” සැමරිය හැකි වනු ඇත.