ලංකාවේ සුපිරිසුදුම නගරය අනුරාධපුරය බවට පත් කරනවා

ලංකාවේ සුපිරිසුදුම නගරය අනුරාධපුරය බවට පත් කරනවා

අනුරාධපුර මහ නගර සභාවේ පුරපති එච්. පී. සෝමදාස මහතා සමඟ අනුරාධපුරයේ පැවැත්වෙන 64 වැනි නිදහස් උළෙල පිළිබඳව සහ වත්මන් මහ නගර සභා පාලනය පිළිබඳව කළ සාකච්ඡාවකි.

මෙවර අනුරාධපුරයේ දී පැවැත්වෙන 64 වැනි නිදහස් උළෙල පැවැත්වෙන්නේ ඔබගේ මහ නගර සභා සීමාවේයි. ඒ සඳහා සූදානම කෙබඳු ද?

64 වැනි නිදහස් උළෙලට සියලු කටයුතු සූදානම්. මෙවර අනුරාධපුරයේ පැවැත්වෙන්නේ විශේෂ නිදහස් දිනයක්. ගිය අවුරුද්දේ පෙබරවාරි 4 වැනි දින මුළු අනුරාධපුරයම යට කරගෙන ගංවතුර ගලපු දවසයි. එදා ගලපු ගංවතුරෙන් අනුරාධපුර යට වුණේ ජලයෙන් පමණක් නෙවෙයි. අපේ ජන ජීවිතය ආර්ථිකය සම්පූර්ණයෙන් යටවුණා.

මංමාවත් කැඩුණා. නිවාස කැඩුණා. බඩු බාහිරාදිය ගසාගෙන ගියා. ගිය අවුරුද්දේ යටවුණු අපේ ජීවිතය මේ වසරේ දී සිය ගුණයකින් ඉහළට ඔසවා තබන නිදහස් උළෙලක් අනුරාධපුර මෙවර පැවැත්වෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. නිදහස් උත්සවයට සමගාමීව ලබා දුන් දැයට කිරුළ අපට කිරුළක් වී තිබෙනවා.

1980 වසරේ දී අනුරාධපුරයේ නිදහස් උත්සවයක් පැවැත්වූවාට පසුව පැවැත්වෙන ජාතික මට්ටමේ නිදහස් උත්සවයක් පැවැත්වෙන්නේ මේ වසරේදීයි.

වසර තිහකට අධික කාලයකට පසුව අපි නිදහස සමරන්නේ අලුත් ආකාරයකට. මුදාගත් නව නිදහසක් සැමරීමයි මෙවර සිදුවන්නේ. මේ රටේ විජය රජුගෙන් පෙර රාවණා යුගය ගැන මම කථා කරන්නේ නෑ. නමුත් විජය රජුගෙන් පසු ශ්‍රී ලංකාවේ නිදහස් අරගල සඳහා රජවරු ගණනාවක් දායක වූවා. ඒ අතර විජයබා, දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු ආදි රජවරු පෙන්වාදිය හැකියි.

විවිධ අවස්ථාවල ඇති වූ සතුරු ආක්‍රමණ මැඩලා රට මුදා ගත් රජවරු සිටියා. 1505න් පසු පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි මේ රට ආක්‍රමණය කළා. 1815 දී ඉංගී‍්‍රසින්ට රට යටත් වී කෝල්බෲක් කොමිසමේ සිට ඩොනමෝර් කොමිසම දක්වා 1948 තෙක් ගමන් ගත් රට සෝල්බරි කොමිසම සමඟ මේ රටට නිදහස උදා වූවා.

1972 මැයි 22 ජනරජයක් ලෙස සම්පූර්ණ නිදහස සිරිමාවෝ මැතිනිය ලබා ගත්තා. නැවත අපේ රට අසූව දසකයේ සිට අරාජික වූවා. රට කොටසක් වෙනම පාලනයක් සිදු වූවා. මිනිස් ජීවිත නැති වුණා. කෝටි ගණන් රාජ්‍ය දේපළ විනාශ වූවා. ජාතික ආදායමෙන් වැඩි කොටසක් යුද්ධය සඳහා යොදවන්න සිදු වූවා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද මේ රට නිදහස් කර රට එක්සේසත් කළා. එදා පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කළා. ආර්ථිකය සමෘද්ධිමත් කළා. රටේ සංස්කෘතිය ඉහළ මට්ටමක තිබුණා. සමහරු කියනවා එතුමාගේ පිළිරුවේ අතේ තියාගෙන ඉන්නේ වියගහ කියලා. එක් පසක ආර්ථිකයත් අනෙක් පස රටේ සංස්කෘතියත් සංකේතවත් කරලා සමබරව ගෙන යන ආකාරය. අපේ රට අදත් නිදහස් වූ රටේ ආර්ථිකය මත, රටේ සංස්කෘතිය ඉහළ මට්ටමක ගෙනයමින් තිබෙනවා.

ජනාධිපති රටට දිනා දුන් නිදහස වෙනුවෙන් එතුමාගේ ගමන් මඟට රටම ශක්තිය ලබා දුන්නා. නිදහස උදෙසා එතුමා සටන් කරන විට එදා මෙන් කුඩාපොල හාමුදුරුවරු, වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවරු, ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවරු එතුමාට මෙදාත් ශක්තිය දුන්නා. අදත් උන්වහන්සේලාගේ පරපුරේ අය අපේ රටේ ජීවත්වෙනවා. බලලෝභීන් අතළොස්සක් යම් යම් දේ කරන්න උත්සාහ කළාට අපේ රටේ සියල්ලෝ ජනපතිතුමන් දිනා දුන් නිදහස ආරක්ෂා කිරීමට ඇපකැප වී සිටිනවා.

අද වන විට ලංකාවේ තිබෙන්නේ ඓතිහාසිකම යුගයයි. සියලු ජන කොටස් එක කොඩියක් යටතට පත්වෙලා. මැලේසියාවේ මහතීර් මොහොමඩ්, කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ, අමෙරිකාවේ කෙනඩි, චීනයේ මාවෝ සේතුං, ඉන්දියාවේ ශ්‍රී නේරු, ගාන්ධි අදටත් ලෝකයේ මතක සටහන් තැබූ නායකයන්. ඒ ගොන්නට එකතුවන ඊළඟ නායකයා මහින්ද රාජපක්ෂයි.

එදා රොබට් නොක්ස් විජාතිකයකු වී අපේ රට වෙනුවෙන් හඬ නැඟුවා. අද අපේ රටේ ජීවත්වන සමහර පිරිස් විජාතිකයින්ටත් එහා ගොස් අපේ රටේ ගෞරවය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ජනතා ශක්තිය ඉදිරියේ ඔවුන්ට කරන්න දෙයක් නැතිවෙලා.

නමුත් අද ආණ්ඩුව යුද ජයග්‍රහණය වවාගෙන කනවා කියලා විපක්ෂය චෝදනා කරනවා. ආණ්ඩුවේ පුරපතිවරයකු වශයෙන් ඔබට මොනවාද මේ ගැන කියන්න තියෙන්නේ?

හිඟන්නාගේ තුවාලය වාගේ තිබූ යුද්ධය මේ රටේ කිසිම නායකයකුට නැති කරන්න බැරි වුණා. මේ රටේ යුද්ධයෙන් පස්සේ නොකෙරෙන්නේ මොනවාද? ගුවන් තොටුපොළ, වරායවල්, අධිවේගී මාර්ග ඉදි වෙනවා.

රටේ යටිතල පහසුකම්වල ශීඝ්‍ර වර්ධනයක් සිදුවෙනවා. යුද්ධය නැවතීමේ ප්‍රතිඵල තමයි මේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා කථාවක් තියෙනවාද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට එක්සේසත් කළා. ආර්ථිකය සමෘද්ධිමත් කළා. ඒක අපි කියනවා. ඒක නොකියා විපක්ෂය කළා කියන්න ද?

රොනල්ඩ් රේගන්, මාගරට් තැචර්, වැනි ලෝක නායකයෝ විවෘත ආර්ථිකය හා අත්වැල් බැඳගද්දී අපේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාලත් ඒකම කළා.

ඉවක් බවක් නැතිව එය වැළඳගෙන බෑ. අද අපේ රටේ සිදුවන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. නමුත් රජයේ දේපළ පුද්ගලික අංශයට දෙන්නේ නෑ. දේශීය ගොවියා දේශීය කර්මාන්ත ආරක්ෂා කරලා තිබෙනවා. මේකයි විය යුත්තේ. විපක්ෂයට කියන්න දෙයක් නැති වුණාම මොනවා හරි කියනවා.

අද සමහර වාමාංශිකයි කියන පක්ෂ මොනවාද කරන්නේ. කාල්මාක්ස් නම විතරයි දන්නේ. න්‍යායක් දන්නේ නෑ. ස්ටාලිං ප්ලේටෝ මොනවාද කියලා තියෙන්නේ කියලා ප්‍රායෝගික සමාජයත් සමඟ හිතන්න දන්නේ නෑ. මම එක උදාහරණයක් කියන්නම්. මම රූපවාහිනි වැඩසටහනක දී ඇහුවා මේ කථාව. එක්තරා මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලය ප්‍රශ්න පත්‍රයක් එක් වසරක හදලා දීලා තියෙනවා. නැවත ඊළඟ වසරටත් ප්‍රශ්න පත්‍රයක් හදන්න කියලා දැනුම් දුන්නාම ගිය වසරේම දුන්න ප්‍රශ්න පත්‍රය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අනිත් මහාචාර්යවරු මේ ගැන ප්‍රශ්න කරලා. ඒ වෙලාවේ ඔහු කියලා තියෙන්නේ මේ ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය තමයි. නමුත් ඒ ප්‍රශ්නවලට මේ අවුරුද්දේ පිළිතුරු ඒවා නෙවෙයි කියලා. ප්‍රශ්න එක වුණාට කාලයත් සමඟ පිළිතුරු වෙනස් වෙනවා කියන එක මේකට හොඳ උදාහරණයක්. ඒ නිසා වර්තමාන සමාජය ප්‍රශ්න සහ පිළිතුරු පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. රුසියාවේ සමාජවාදය මිහායිල් ගොර්බජොප් පාලනයෙන් අවසන් වෙනවා. මේ ලංකාවේ පොලිස් මාර්ග බාධකයක් කඩාගෙන ගියා කියලා සමාජවාදියෙක් වෙන්නෙ නෑ කියලා අවබෝධ කරගන්න ඕනෑ.

එක් එක් කෙනාගේ අතකොලුවෙන්න ගියොත් ඉතුරුවෙන්නේ විනාශය තමයි.

සාමාන්‍යයෙන් නගරයක වෙළෙඳසැල් සතියේ එක් දිනක් සේවකයන් වෙනුවෙන් වසා තැබෙනවා. එහෙත් අනුරාධපුරයේ සතිය පුරාම වෙළෙඳසැල් විවෘතයි. මේ නිසා වෙළෙඳ සේවකයන් අපහසුවට පත්ව ඇති බවට සඳහන් කරනවා. පුරපති වශයෙන් මේ සම්බන්ධව ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද?

මෙවැනි ගැටලු ගණනාවක් තියෙනවා. ඒවා නිවැරැදි කරමිනුයි දැන් මේ යන්නේ. මම පුරපතිවෙලා වැඩි කාලයක් නෑ.

තියෙන අඩුපාඩු සකස් කරනවා. මේ පිළිබඳව මම සභාවේ අනුමැතියට යොමු කරලා විසඳුමක් ලබා දෙනවා. මම දැක්කා “දිනමිණ” පුවත්පතේ මීට කලින් මේ ගැන පළවී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා විසඳුමක් ලබා දෙනවා.

නගර සභාව මුලින්ම නිවැරැදි කර ගන්න ඕනෑ. අද අනුරාධපුර මහ නගර සභාවේ කාටර්එකට අදාළව නෙවෙයි නිලධාරීන් ඉන්නේ. සුදුසුකම් සපුරා නැති කොටසක් තනතුර හොබවනවා. ඒ නිසාම ප්‍රශ්න ඇතිවී තිබෙනවා.

මුලින්ම අදාළ සුදුස්සන් පත් කළ යුතු වෙනවා. අදාළ සුදුසුකම් ඇති අය පත් කරන්න කියා පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන් අපි ඉල්ලීමක් කළා. ඉදිරියේ දී ඒ ගැටලුව විසඳෙයි. නගර කොමසාරිස්, ගණකාධිකාරී ඉංජිනේරුගේ සිට ඉහළ සිට පහළ දක්වා අදාළ තැන අදාළ කෙනා නෙවෙයි ඉන්නේ. ප්‍රධාන තනතුරු වන කොමසාරිස්, ගණකාධිකාරී ඉංජිනේරු යන වැඩ බලන අයයි.