සුපිරි නිදහස

සුපිරි නිදහස

අප නිදහස ලැබ - අධිරාජ්‍ය පාලනයෙන් විමුක්තිය ලැබ - හැටහතරවන වර්ෂය සමරන අද දවසේ දී, අප මෑතක දී යළි පූර්ණ නිදහස ලබා ගත් හැටි ඉතා හොඳින් දන්නා බොහෝ දෙනා දැන් ජීවතුන් අතර සිටිති. නියම නිදහසේ කායික හා ආධ්‍යාත්මික අගය, සිය ජීවිත මඟින්ම විඳ දරාගත් ඒ පිරිස,
මෑත ලෝක ඉතිහාසයෙහි විශිෂ්ටතම නිදහසක් ලබාගත් අවස්ථාව පිළිබඳව සජීවි සාක්කිකරුවෝ වෙති. එසේ අප විසින් ඉතා මෑතක දී දිනා ගන්නා ලද පූර්ණ නිදහසේ ගැඹුරු අරුත, නිසිසේ අවබෝධ කොට ගන්නා පිණිස, අප විසින් , අපගේ උදාර ඉතිහාසය දෙස නෙතග බැල්මක් හෙළිය යුතුවේ.

“නිදහස, විමුක්තිය තැන්පත්ව තිබෙන්නේ ස්ත්‍රී - පුරුෂයන්ගේ හදවත් තුළයි.”

- කීර්තිමත් නීතිවේදී ලර්නඩ් හෑන්

“නිදහස උදෙසා ගෙවිය යුතු වන්දිය නම් සදාකාලිකවම තියුණු අවධානයෙන් විසීමයි.”

- වෙන්ඩල් ෆිලිප්ස්

“නිදහස යනු වගකීමයි. බොහෝ දෙනා නිදහස ගැන බියවන්නේ ඒ නිසාය.

- ජෝර්ජ් බර්නාඩ් ෂෝ

වියතකුගේ ප්‍රබල කියමනකින්, නිදහස පිළිබඳ කථාව ආරම්භ කරමු. ඒ ප්‍රාඥයාගේ ප්‍රකාශය මෙසේය.

“ ගිම්හානයේ අගය අපට දැනෙන්නේ, අප ශීතකාලයේ දැඩි ශීතලෙන් ගැහෙමින් ඉන්නා විටයි.”

නිදහසත් එසේය. අප නිදහසේ දිවි ගෙවන විට අප නිදහසේ සහාන් එළියෙන් නැහැවෙන කාලයේදී - අපට නිදහසේ වටිනාකම වැටහෙන්නේ නොවේ. නිදහස නැතිවී ගොස්, අපගේ ජීවිත අඳුරේ නිමග්න වූ විට, නිදහස කොපමණ අගයැති නිධානයක්දැයි අපට අවබෝධ වන්නට පටන් ගනී.

මුල්ක් රාජ් ආනන්ද නම් ශ්‍රේෂ්ඨ ඉන්දියානු ලේඛකයා විසින් විචිත්‍ර කථාවක්, මෙයට ඉතාම අදාළය. ඒ කථාව මවකුත් ඇයගේ පුංචි පුතාත් ගැනයි. පුංචි දරුවා, මවගේ අතේ එල්ලී සැණකෙළි බිමකට යන්නේය. බැලුන් විකුණන තැනක් දරුවාට පෙනේ.

“අම්මේ, මට බැලුන් ඕනෑයැ’යි දරුවා කියයි. මව ඔහු ඇදගෙන ඉදිරියට යන්නීය.

දරුවා රස කැවිලි කඩයක් දකී.” අම්මේ මට රස කැවිලි ඕනෑ”. මව දරුවාගේ කීම නොතකා, ඔහු සමඟ ඉදිරියට යන්නීය. සෙල්ලම් බඩු කඩයක්. ලස්සන ඇඳුම් කඩයක් දරුවාට පෙනේ. ඒවා ඉල්ලන විට ද මව, ඔහුගේ ඉල්ලීම නොතකා ඔහු සමඟ ඉදිරියට යන්නීය.

ජනාකිර්ණ සැණකෙළිබිමේදී, දරුවාගේ අතලිහිල්වී ඔහු අම්මාගෙන් මඟ හැරෙයි. දරුවා තනිවී, මහ හඩින් කෑ ගසන්නේය. “ අම්මේ, අම්මේ “ යැයි කෑ ගසා හඬන දරුවා වෙත සංවිධායකයෝ පැමිණෙති.

“ දරුවා, අඩන්ට එපා. දරුවාට බැලුන් ඕනෑ ද?”

“ නෑ නෑ , මට ඕනෑ මගේ අම්මා” ඔහු නොනවත්වා මහ හඩින් හඬයි.

“ දරුවාට රස කැවිලි දෙන්නද ?”

මට ඕනෑ මගේ අම්මා “

“ සෙල්ලම් බඩු , ලස්සන ඇඳුම් ? “

නෑ, නෑ මට මගේ අම්මා ඕනෑ.”

අම්මාගෙන් ඉල්ලා ඇවිටිලි කළ කිසිම දෙයක් දැන් දරුවාට ඕනෑ නැත. දැන් දරුවාට ඕනෑ අම්මා පමණි.

නිදහසත් එසේය. නිදහස තිබෙන සමයෙහිදී අප නොලද, අප කැමති බොහෝ දෑ, නිදහස නැතිව ගියාට පසුව අපට ලැබුණ ද, අපට ඒවායේ රසයක්, අගයක් නොදැණිනි. ඒවායින් නියම සුවයක් ලැබෙන්නේ නැත.

ඒ නිදහස් සමයේදී පැතූ සියල්ල අපට නොලැබුණ ද, අපට නිදහස ලැබුණොත්, ඒ ඇතැයි අපට සිතෙන්නේය. නිදහසින් තොරව භුක්ති විඳින සියලුම සැප - සම්පත්වලින් අපට තෘප්තියක් නොලැබේ.

නිදහස නැති මිනිස්සු, අම්මාගෙන් වෙන්වුණු පුංචි දරුවෝ වැනියහ.

පර්යේෂණ

නිදහස නැතිවී යෑමෙන් හටගන්නා දැඩි සංතාපය, සතුන්ට පවා දැනේ. මහ වනයෙන් අල්ලා ගෙනවුත්, පර්යේෂණ සඳහා කූඩුවල දමා සිටි ඇතැම් චිම්පන්සි වානරයන් සිරකූඩුවේ බිමේ ඔළුව හප්පාගෙන මියගිය ආකාරය බොහෝ තැන්වල වාර්තාවේ. වනගහණයේදී විඳි නිදහස නැතිවී යෑමෙන් උපන් මහා ශෝකය ඔවුන්ට දරාගත හැකි නොවේ.

වනාන්තරයෙන් අල්ලා ගත් ඇතැම් වන අලි, සිය නිදහස නැති වූවාට පසුව, ආහාර - පාන ගැනීමෙන් වැළකී සිටිති. කොපමණ රස බොජුන් දුන්නද ඔවුන්ට වන නිදහසින් තොරව ඒවායේ රසය ආස්වාදය කළ නොහේ.

අප නිදහස ලැබ - අධිරාජ්‍ය පාලනයෙන් විමුක්තිය ලැබ - හැටහතරවන වර්ෂය සමරන අද දවසේදී, අප මෑතකදී යළි පූර්ණ නිදහස ලබාගත් හැටි ඉතා හොඳින් දන්නා බොහෝ දෙනා දැන් ජීවතුන් අතර සිටිති. නියම නිදහසේ කායික හා ආධ්‍යාත්මික අගය, සිය ජීවිත මඟින්ම විඳ දරාගත් ඒ පිරිස, මෑත ලෝක ඉතිහාසයෙහි විශිෂ්ටතම නිදහසක් ලබාගත් අවස්ථාව පිළිබඳව සජීවි සාක්කිකරුවෝ වෙති. එසේ අප විසින් ඉතා මෑතකදී දිනා ගන්නා ලද පූර්ණ නිදහසේ ගැඹුරු අරුත, නිසිසේ අවබෝධ කොට ගන්නා පිණිස, අප විසින් , අපගේ උදාර ඉතිහාසය දෙස නෙතග බැල්මක් හෙළිය යුතුවේ. අවුරුදු 2500කටත් අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ විහිදෙන අඛණ්ඩ ඉතිහාසයක් සහිත ලෝකයේ එකම රාජ්‍යය වීමේ වරප්‍රසාදය අප සතු බවද, මේ නිදහස සමරන දිනයේදී ප්‍රෞඪව සිත තබාගනු වටී.

විජය රජුගේ සිට ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දක්වා, නරේන්ද්‍රයන් 186 දෙනෙකු අපේ දේශය පාලන කළ බැව් මහාවංශ - චූලවංශ ඉතිහාසයේ වාර්තාවේ.

රාජකීය පාලනය

2010 නුවර පැවති නිදහස් උළෙලේ දර්ශනයක්

1815 මාර්තු දෙවන දා ඒ දිගු රාජකීය පාලනය කෙළවර වූයේ ශ්‍රී ලංකාව සටනකින් පරාජය වූ නිසා නොව, එදා මේ දේශයේ ඇතැම් නායකයන් උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ නිදහස, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ නියෝජිතයන්ට පවරා දුන් හෙයිනි.

මේ පිළිබඳ සිත පාරන අතුරු කථාවක්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා මට පැවසුවේය. මෙය ශ්‍රී ලංකාවේ අප සියලු දෙනාගේම සන්තානගත වියයුතු අධි සංවේදී පුවතක් හෙයින් හැකි හැම තැනකදීම මම එය ප්‍රකාශ කරන්නෙමි.

ශ්‍රී ලංකාව යටත් විජිතයක් වීමට පෙර අවුරුද්දේදී - 1814 දී - එවක මෙහි සිටි බ්‍රිතාන්‍ය නිලධාරියෙක්, එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාට ලියුමක් යැව්වේය. එහි තිබුණු පණිවුඩය මෙසේය.

The big fish is in our net, Shall we raise it ?”

‘’ මහ මාළුවා, අපගේ දැළට වැටී සිටී. අපි දැළ උස්සමුද ?

මාස කීපයක් ගතවී, එයට පිළිතුරක්, යටත් විජිත ලේකම්වරයාගෙන් , එදා ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරියාට ලැබුණේය.

“ Do not worry. The Sinhala people themselves will raise the net for us.’’

කලබල වෙන්ට එපා. සිංහල මිනිස්සුම අපට දැළ උස්සා දේවි.”

එදා ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන්ගේ අධ්‍යාත්මගතව තිබුණු මහා කිළුට බ්‍රිතාන්‍ය පාලකයෝ හරිහැටි දැන සිටියහ.

අප්‍රමාණ ශෝකයක්

මෙම පුවත මා මෙහි බහාලන්නේ, අද මේ රටේ වෙසෙන අප විසින්, කම්පිත වූ, සසල වූ හදින් ඒ කිළිටි ඉතිහාසයෙන් පාඩම් උගත යුතු හෙයිනි.

එසේ නිදහස නැතිවී යෑමෙන් , සුළු කලකට පසුවම, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තුළ නැති වූ නිදහස ගැන අප්‍රමාණ ශෝකයක් හට ගත්තේය. අපගේ ඉපැරණි සනාතනික නිදහස මූර්තිමත් කළ රජකු අපට නැතිවීම ගැන, එදා මිනිස්සු , දුක්වූහ, වැළපුනහ. නිදහස නැතිවී යෑම ගැන ශ්‍රී ලංකා වාසීන්ගේ සිත් තැවුනේය.

එහෙත්, ඔවුන්ට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයෙන් මිදී යළි නිදහස ලද හැකි වූයේ 1948 මේ පෙබරවාරි සිව්වනදායි. ඒ නිදහස දිනාගන්නා පිණිස, එදා සිංහල, දෙමළ, මුස්ලිම් ආදි ජන කොට්ඨාස සියල්ලෝම ඒකාබද්ධ වූහ. අපට 1948 පෙබරවාරි හතරවනදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදෙන්නට ඉඩ ලැබුණේ ඒ ආකාරයෙනි.

බාහිර තර්ජනය

නිදහස සාක්‍ෂාත් කොට ගැනීම නිසා, පොදුවේ අපගේ ජාතියට බාහිරව එල්ල වූ තර්ජනය ඉවත්ව ගියේය. එහෙත් , ඒ බාහිර තර්ජනය පහ වී යෑමත් සමඟම, අභ්‍යන්තර ගැටුම්, හිස ඔසොවන්නට පටන් ගත්හ.

මේ හේතුකොටගෙන සිදු වුණේ 1948 සිට 2008 දක්වා අප නිදහස ලබා ගත් කළ හැට අවුරුද්දෙන් හරි අඩකදීම අපට යළිත් අභ්‍යන්තර යුද්ධයකට මූණපාන්නට සිදුවීමයි.

මෙය පරස්පර විරෝධී ඓතිහාසික තත්ත්වයකි. අපට නිදහස ඇතුළතදීම, නිදහස නැතිව ගියේය. ඒ තිස් වසක කාලය තුළ අපගේ නිදහස නැති වී යෑමෙන් පහළ වූ ඝන අඳුරු කාල පරිච්ඡේදය, 1815ත් 1948ත් අතර පැවති ජාතික තිමිර සමයටත් වඩා රුදුරු ලෙස , අපගේ දේශයේ හදවත පෙළා ලූ දූර්දාන්ත සමයකි.

1815 සිට 1948 දක්වා පැවති යටත් විජිත යුගයේදී ශ්‍රී ලාංකීකයන් බහුල වශයෙන් විඳ - දරාගත්තේ නැතිවී ගිය නිදහස පිළිබඳ අධ්‍යාත්මික දෝමනස්සයකි. ඔවුන්ට, කායික වධ - වේදනාත් ඇතැම් විටෙක දැනුනද, ඔවුන්ට ඉතාම තියුණු ලෙස දැනුණේ නිදහස නැති වී යෑම ගැන අධ්‍යාත්මය පාරන දුක් සමුදායකි.

කර්කශ බලපෑම

එහෙත්, තිස් වසරක ත්‍රස්තවාදී යුගයේ කර්කශ බලපෑම ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ ත්‍රස්තවාදයේ භීෂණ සමයේදී. අපගේ දේශයේ් ජනතාවට, මොහොතක්වත්, බියෙන් තැති ගැනීමෙන් තොරව ජීවත්වන්නට බැරි වූණේය.

මහ මඟ ගමන් කිරීම මාරාන්තික ක්‍රියාවක් වූයේය.

ජනාකීර්ණ ස්ථානයක ගැවසීම , මරාගෙන මැරෙන දුර්දාන්තයකුට බිලිවන්නට ඉඩ සැලසෙන සිද්ධියක් බවට පත්වූයේය.

ගෙදර - දොරක සිටියද ජීවිතය ගැන ස්ථිර විශ්වාසයක් ඇති කොට ගත හැකි නොවීය. ප්‍රසිද්ධ හෝ පෞද්ගලික වාහනයක යෑම, භීතෝත්පාදක චර්යාවක් වූයේය.

පාසල් ගිය දරුවා ගැන හද - සිත ගැහෙන්නේය.

ගෙයින් බැහැර ගිය සැමියා - බිරිඳ හෝ නෑ හිතවතා ගැන තියුණු ස්වතාපයක් හැමවිටම දැනුණේය.

කොටින්ම, මිනිසුන් හුස්ම ගත්තේත් මරණ බියෙනි.

ත්‍රස්තවාදී ග්‍රහණයෙන් බේරාගත හැකි කිසිම ක්‍ෂේම භූමියක් කිසි තැනෙක නොතිබුණු තරම්ය.

නිදහස් චතුරස්‍රය

පන්සල් - පල්ලි - කෝවිල් - සිද්ධස්ථාන - පූජකවරු මේ හැම, ත්‍රස්තවාදීන්ගේ නාශක අවිබල ඉලක්කය වූහ.

කෘරතර සමූහ ඝාතන, දෛනික සිද්ධි බවට පත්විය.

අහිංසක ස්ත්‍රී - පුරුෂයන් - දරු සිඟිත්තන් ගර්භනී මාතාවන් අමානුෂික ලෙස මරා දැමීමේ පුවත්, එදිනෙදා සිද්ධි සේ සැලකුනේය.

ආගමික වතාවත් සඳහා යන පූජකවරු, පින්කම්වල යෙදෙන සැදැහැවතුන්, සිත්-පිත් නැති දුර්දාන්ත ත්‍රස්තවාදයේ ගොදුරු වූහ.

ජනනායකයන් , සන්නද්ධ හමුදාවන්, දේශපාලන ක්‍රියාකාරීන් අමු - අමුවේ ඝාතනය කළ එවැනි යුගයක් පිළිබඳ කථා මානව ඉතිහාසයේ අභ්‍යන්තරයෙන්ම කුරීරු කාල පරිච්ඡේදවලදී පවා අසන්නට දකින්නට නොලැබුණු තරම් ඛේදවාචක වූහ.

උදාර දේශය

අපගේ මේ සාමකාමී, උදාර දේශයට එල්ල වූ ත්‍රස්තවාදය, ජාත්‍යන්තර මට්ටමෙන් හඳුන්වන ලද්දේ ලෝකයේ ඉතාම භයානක ත්‍රස්ත කල්ලිය වශයෙනි.

ත්‍රස්තවාදී ගිනි ජාලාව මුළුමනින්ම නිවා දමා, අමානුෂික ඝාතන - තාඩන - පීඩනවල යෙදෙන රුදුරු කල්ලි මුලිනුපුටා දමා, ශ්‍රී ලංකාවේ ජනතාවට සහනයක් සපයා දී, ඔවුන්ගේ සෝසුසුම් , නිදහස් ආස්වාදයෙන් උද්ගතව සෝමනස්ස සුසුම් බවට පත්කරන්නට ජන නේතෘ, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ස්ථිර අධිෂ්ඨානයකට එළඹුණේය.

ලංකා මහී මාතාව

ඒ ජනනායකයාගේ අචල අදිටන, ජීවිත පූජාවෙන් ක්‍රියාවට නඟාලු සන්නද්ධ හමුදාවෝත් , පොලිස් හමුදාවෝත්, එකට එක්ව, ශ්‍රී ලංකාවේ ජන ජීවිතය පෙළලූ රකුසු ත්‍රස්තවාදය, මේ උදාරතර මෛත්‍රී පූර්වක ද්විීපික රාජ්‍යයෙන්, සහමුලින්ම පිටු දැක්කහ.

ශ්‍රී ලංකා ද්වීපයේ නියම, නව නිදහස, පූර්ණ විභුතියෙන් උදා වූයේ, ගරු ජනපතිතුමන්ගේ නියමයෙන්, ඒ කෘරතර ත්‍රස්තවාදය - තුරන්කොට ලීවාට පසුවය.

මේ නියම නිදහස ජාතියට උදාවීමේ උත්තරීතර ඓතිහාසික සිද්ධිය සනාතනික ලෙස මුර්තිමත් වූයේ ගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහී මාතාවට පසඟ පිහිටුවා වැඳීමේ අමරණීය අභිනන්දනයෙනි.

එතුමා, සිය පරිපාලන ආශ්ච¸යත්, තමන්ගේ අණසක ක්‍රියාවේ යොදවන අභීත රණ නායකයන්ගේ විරÀවයත්, මහජනතාව විසින් සදාතනිකව පිරිනැමෙන විශ්වාසය, ගෞරවය, භක්තිය හා සම්මානයත්, සංකලනය කොට, මේ ද්වීපයට තිළිණ කොට දුන් අසහාය නව නිදහස සුරැකීමේ භාරය දැන් පැවරී තිබෙන්නේ මේ දේශයේ පින්වත් විරෝදාර පුරවැසියන්ටයි.

ඒ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් පෙළුනු යුගයේ හැම මොහොතේම තිබුණු සෝසුසුම් වෙනුවට, දැන් අප පුරවැසියන් විසින් නිදහසේ මන්ත්‍රය ආවර්ජනා කළ යුතුවේ.

ජීවත්වන හැම තත්ත්පරයකදීම, අප අසහාය අධිෂ්ඨානයකින් ජනාධිපතිතුමන් විසින් ලබා දෙන ලද නිදහසට සම්මාන පූර්වක විය යුතුයි.

නිදහස වන්දනීය සංකල්පයක් සේ වැඩිහිටියන් විසින් සිය දූ -දරුවන්ට නව පරපුරට - උගන්වා ලිය යුතුවේ.

නිදහස සතු අසහාය බලය, ජන සන්තානය තුළට කිඳා බැස්සේ නැත්නම්, මේ දිවි පරදුවට තබා ලබාගත් විමුක්තිය, ඇතැමුන්ට ඉක්මණින් අමතක වන්නට ඉඩ ඇත්තේය.

1948 මේ පෙබරවාරි මස හතරවනදා අප ලැබූ නිදහසින් හැටහතරවන වර්ෂය සමරන දවසේදී, අප මේ දිනය, අප විසින් අලුතින් ලද නිදහස සර්ව සම්පූර්ණයෙන්ම රැක ගන්නට කැපවන දිනයක් බවට පත්කොට ගන්නට ස්ථිර අධිෂ්ඨානයකට එළඹිය යුතුවේ.

ලද නිදහස, නිගරුවෙන් සුළුවෙන් තැකුවහොත් අපගේ ඒ ජාතික විජයග්‍රහණය හරසුන් සිද්ධියක් බවට පත්වේ.

1949 පැවති නිදහස් උළෙලේ දර්ශනයක්

මෙය අවධාරණයෙන් සඳහන් කළ යුතුව තිබෙන්නේ, මේ වනවිටත් අපගේ සමාජයේ ඇතැම් කොටස්, අප විසින් ආයාසයෙන් ලබා ගත් මේ නිදහස නිගරුවන ආකාරයේ ක්‍රියාදාමයන්ට පෙළඹෙන්නට පුරුදු වී සිටින හෙයිනි.

එදා ත්‍රස්තවාදයේ භයංකර පීඩනය නිසා, හුස්ම ගන්නටවත් බියෙන් මේ දේශයේ ජනතාව ගත කළ සෝවැකි දිවි පෙවෙත අමතක කරන ඇතැමුන්, ලද නිදහසින් අලංකාර කොටගත් මේ දේශය, තවත් අපරාධ රැල්ලකට යට කරන්නට ප්‍රයත්න දරන බවක්, ඇතැම් තැනකදී පෙනී යන්නේය. දිවි පුදා ලබාගත් නව නිදහස විනාශයට පත් කරන්නට කිසිවකුට හෝ ඉඩ ලැබුණහොත්, අද වෙසෙන ජනතාවට දිවිරැක ගනු පිණිස සිය ප්‍රාණය කැප කළ වීරයන්ට අප විසින් කෙරෙන්නේ බැරෑරුම් අවමානයකි.

හෘද ස්පන්දනය

අපගේ දේශයේ බොහෝ විරුවෝ නිදහස පතා දිවි දුන්හ.

ඔබ - අප මේ නිදහස් දිනය උත්සවයෙන් සමරන්නේ ඔවුන්ගේ හුස්ම පොද, ජාතියට දන් දුන් නිසාය.

අද අපගේ හදවත් ස්පන්දනය වන්නේ ඒ වීරයන්ගේ හෘද ස්පන්දනය නිදහස රැකීමේ නාමයෙන් නිසල වූ නිසාය.

අද අප, බාල - මහලු - තරුණ - හැමෝම යන්නේ එන්නේ එදා ඒ විරුවන්, අපට නිදහසේ යන්නට එන්නට හැකිවන පරිදි, ඔවුන්ගේ අත්පා පරිත්‍යාග කළ හෙයිනි.

අද නිදහස සමරන විට, අප විසින් ජප කළ යුතු දිව්‍ය මන්ත්‍රය නම් ඒ නව නිදහසේ මහිමයත්” එය දිනා දුන් ජාතික වීරයන්ගේ වීරවරියන්ගේ, අසහාය කැපවීමත් ය.

යුද්ධය නිමා කිරීම පූර්ණ නිදහසට ඇතුළුවීම පමණක් බව ගරු ජනපතිතුමෝ දනිති. මේ නිදහස පාදක කොටගෙන, ජාතියේ නව සංස්කෘතික, කලා, සාහිත්‍ය,කෘෂිකාර්මික හා සෙසු ක්‍ෂේත්‍රයීය නවෝදයක් පිළිබඳ මහා ආශ්චර්ය උදා කොට දෙන්නට ගරු ජනාධිපතිතුමා දෙස් - විදෙස් ප්‍රතිවිරෝධතා නොතකා සැරසී සිටී.

එතුමන් විසින් උදාරතර අධිෂ්ඨානයෙන් දිනා දුන් නව නිදහස, අර්ථවත් ලෙස භුක්ති විඳීමින්, ඒ මගින් උදාවන ආශ්චර්යමත් අනාගත ශ්‍රී ලංකාවේ හිමිකාරයන් වන්නට සදා කැප වෙමින් අප විසින් ලබනා ලද නිදහසට හැම මොහොතේදීම ගරු කරන්නට ජාතියක් වශයෙන් අපි පුරුදු විය යුතු වෙමු. සුරිපි නිදහසට ඒකායන මාර්ගය එයයි.