වැව් බැදි රාජ්‍යයේ වපසරිය

වැව් බැදි රාජ්‍යයේ වපසරිය

ගොවි ආර්ථිකය සවිමත් කිරීම උදෙසා දැයට කිරුළ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් දෙසීයක් ප්‍රතිසංස්කරණ කටයුතු නිම වෙමින් පවතී. මහාමාර්ග ද, ගම්මාන මාර්ග ද, අනුරාධපුර නගරයේ මාර්ග ද නවීකරණය කර පුළුල් කර කාපට් කිරීමේ කටයුතු ලහි ලහියේ සිදු කෙරේ. පැරණි වැව් ද, අබලන් වාරි පද්ධති ද ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. හැම ගම්මානයකටම විදුලි බලය ලබා දේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන දෙදහස් හත්සිය දහසයේම සංවර්ධන ව්‍යාපෘති සඳහා දැයට කිරුළ මගින් අඩුම වශයෙන් රුපියල් දසලක්‍ෂය බැගින් ලබා දී තිබේ. පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ගොවිජන සේවා මධ්‍යස්ථාන, තැපැල් කාර්යාල, පානීය ජල යෝජනා ක්‍රම, බස් ඩිපෝ, බස් නැවතුම්පොළවල්, විදුලි සංදේශ කාර්යාල ආදී කී නොකී සියලු රාජ්‍ය ආයතන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව අලුත්වැඩියා වෙමින් පවතී. වැව් බැඳි රාජ්‍යයේ ජන ජීවිතය ගොඩනැංවීම උදෙසා ද තිස් වසරක ත්‍රස්ත ශාපයෙන් ජනතාව අත්මුදා දියුණුවේ හිනිපෙත්තට ජනතාව මෙහෙයවීම සඳහා ද ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ උපත ලැබූ වැවයි – දාගැබයි සංස්කෘතිය රටට හා ලොවට හඳුන්වා දුන් නුවර කලාවියේ වේගවත් සංවර්ධනය උදෙසා දැයට කිරුළ මගින් විමධ්‍යගත අය-වැය පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන විදේශ ආධාර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වසරකදී වැය කරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදල් කන්දරාවට අමතරව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරන ලද දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන විසිදහසක මුදලක් වැය කරයි.

රජවරු එකසිය දොළොස් දෙනකු රජකම් කරමින් ශ්‍රී ලංකාවේ අගනුවර කර ගත් වැව් බැඳී රාජ්‍ය හෙවත් ඓතිහාසික අනුරාධපුර රාජධානියෙහි හයවෙනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය මෙවර පැවැත්වේ. තිස් වසරක කුරිරු යුද්ධයේ දී උතුරු ප්‍රදේශයට යාබදව පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් ගැමි ආර්ථිකය සුනු විසුනු කරමින් රාජ්‍ය දේපළ විනාශ කරමින් අහිංසක ගැමියන් බුරුතු පිටින් ඝාතනය කළ ත්‍රස්තවාදීන් ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කයේ වියළි මහ පොළොව ලෙයින් තෙත් කළහ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය ඔහුත් සමඟ නන්දිකඩාල් කළපුවේ මිහිදන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත්‍රස්ත තර්ජිත ගම්මාන ශ්‍රී ලංකා සිතියමෙන් මකා දැමීය.

මෙයින් දෙදහස් තුන්සිය දහඅට වසරකට පෙර ශ්‍රී සම්බුදු දහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරවීමෙන් ඇරඹි නව ශිෂ්ටාචාරයෙන් ද ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියෙන් ද මුළු ලොව මවිත කරවන “වාපි” කර්මාන්තයෙන් ද මුළුමහත් ශ්‍රී ලංකාවම කලා කෙතක් බවට පත් කළ කලා කෞෂල්‍යයෙන් ද ඔද වැඩුණු අපේ රට බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී ගෙවී ගිය කාලය අවසන් වී නිදහස ලබා හැට හතර වසරක් ගතවෙද්දී ද රාජ්‍ය පාලනයේ යෙදුණු රාජ්‍ය පාලකයන් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිලි බව මේ වන විට නැති බැරිකමින් ද, දරිද්‍රතාවයෙන් ද පෙළෙන ජනතාවගේ දහඩිය කඳුළෙන් සනාථ වේ.

එදා අපේ මුතුන්මිත්තන් ඉදි කළ මහ සයුර පරදන මහ වැව් කැඩී බිඳී අබලන් වී වැවයි – දාගැබයි සංකල්පයට අභියෝග එල්ල වී තිබේ.

වැව් බැඳී රාජ්‍යයේ කර්කෂ මහ පොළොවත් ඒ පොළොව මත දුගී දුප්පත්කමෙන් දිවි ගෙවන සියයට අනූ නවයක් පමණ වූ ගොවි ජනතාවත් වෙනුවෙන් කළ හැකි හා කළ යුතු යුතුකම තම වගකීම බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අවබෝධ කර ගනිමින් රජරට අහිංසක ගොවි ජනතාවගේ සිරසට ඔටුනු පළඳවා ඔවුන් රට කරවීම උදෙසා දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අනුරාධපුරයට දායාද කර ඇත.

පිහිටීම

අනුරපුර පැරැණි මාලිගාවක නටඹුන්

වර්තමාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හත්ලක්‍ෂ හතළිස්හත්දහස් හතළිස් තුන්දෙනකු සිංහල ජාතිකයන් වන අතර හැත්තෑ හයදහස් එකසිය පනස්නවදෙනකු යෝනක (ඉස්ලාම්) වේ. පන්දහස් හාරසිය තුන්දෙනකු දමිළ ජාතිකයන් වේ. මුළු ජනගහනය අටලක්‍ෂය ඉක්මවා සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි විශාලත්වය හෙක්ටයාර් හත්ලක්‍ෂ දාහත්දහස් නවසියයක් වේ. ඉන් ගොඩබිම් ප්‍රමාණය හෙක්ටයාර් හයලක්‍ෂ හැටහයදහස් හාරසියයකි. ජලාශ ප්‍රමාණය හෙක්ටයාර් පනස් එක්දහස් පන්සියයක් වන අතර ඝන වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් එක්ලක්‍ෂ හැටහතරදහස් අටසිය හැත්තෑ හතකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවෘත වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් දොළොස් ලක්‍ෂ තුන්දහස් අනූ අටකි. වන වගා ප්‍රමාණය හෙක්ටයාර් පන්දහස් නවසිය හැත්තෑ හතරකි. ලඳු කැලෑ හෙවත් “හේන්” ප්‍රමාණය හෙක්ටයාර් හතළිස් දෙදහස් හයසිය තුනකි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසි දෙකකින් සමන්විත අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ග්‍රාම නිලධාරි වසම් හයසිය අනූ හතරකි. ගම්මාන ප්‍රමාණය දෙදහස් හත්සිය දහසයකි. මැතිවරණ කොට්ඨාස හතකින් යුතු මෙම දිස්ත්‍රික්කයේ මහ නගර සභා එකක් ද, ප්‍රාදේශීය සභ දහ අටකින් ද යුතු වේ. දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විසි හතරක් ඇත. යුද, ගුවන්, නාවික හමුදා කඳවුරු ද කීපයකි.

ජනගහනය

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ අටලක්‍ෂය ඉක්ම වූ ජනගහනයෙන් දෙලක්‍ෂ අනූදහස් හයසිය අසූ හත්දෙනෙකු වයස අවුරුදු දහඅටට අඩු අධ්‍යාපනය ලබන්නන් වේ. අවුරුදු දහඅටට වැඩි වැඩිහිටි ජනගහනය පන්ලක්‍ෂ තිස්නවදහස් තුන්සිය දහතුනකි.

පවුල් ප්‍රමාණය දෙලක්‍ෂ තිස්නවදහස් නවසිය තිස් තුනකි. ජන ඝනත්වය වර්ග කිලෝමීටර් එකසිය පහළවයි දශම හයකි.

දිස්ත්‍රික්කයේ වෙසෙන මෙම ජනගහනයේ ශ්‍රම බලකාය හාරලක්‍ෂ තිස්පන්දහස් හතළිස් හතරකි. රැකියා නියුක්තියන්ගේ ප්‍රමාණය තුන්ලක්‍ෂ අනූඑක්දහස් නවසිය පනස් හතකි. රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය එක්ලක්‍ෂ පහළොස්දහස් අසූ අටකි. ශ්‍රම සහභාගිත්ව අනුපාතය පනස් නවයයි දශම නවයක් වේ.

විශාල, මධ්‍යම හා කුඩා වැව් ප්‍රමාණය තුන්දහසකි. අබලන් කැඩී බිඳී හා වනාන්තරවලට යට වී ඇති වැව් ප්‍රමාණය දහසත්, එක්දහස් දෙසීයත් අතර වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගා කරන කුඹුරු ප්‍රමාණය විශාල වාරිමාර්ග යටතේ (පැරණි ගොවි ජනපද හා මහවැලි ගොවි ජනපද) හෙක්ටයාර් 53426.6 කි. සුළු වාරිමාර්ග යටතේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 53580.7 කි. අහස් දියෙන් වගා කරන කුඹුරු ප්‍රමාණය 8035.1 කි.

2010 – 2011 වසරේ මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික්ටොන් තිස්පන්ලක්‍ෂ පන්දහස් නවසිය දාහතකි. යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් විසිතුන්ලක්‍ෂ විසිඅටදහස් අනූ අටකි. බඩඉරිඟු, කව්පි, මුං, කුරහං ආදී ගොඩ බෝග වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් තිස්හත්ලක්‍ෂ අනූ අටදහසකි.

කුට්ටම් පොකුණ

දිස්ත්‍රික්කයේ ගොවීහු ලොකු ළූණු හා එළවළු වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් හැටදහසක් පමණ වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ රෝහල් එකකි. මූලික රෝහල් තුනකි. දිස්ත්‍රික් රෝහල් පහක් වේ. ග්‍රාමීය රෝහල් විසි නවයකි. පර්යන්ත රෝහල් ද නවයක් ඇත. රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යම බෙහෙත් ශාලා විසි දෙකකි. මේ අතර ආයුර්වේද රෝහල් හතරක් ද ආයුර්වේද බෙහෙත්ශාලා විසි එකකින් රෝගීහු ප්‍රතිකාර ලබති.

ජාතික පාසල් එකකින් ද, ඒ. බී. පාසල් 13 කින් ද, අයි. සී. පාසල් එකසිය දොළහකින් ද, දෙවන ශ්‍රේණියේ පාසල් දෙසිය හතළිස් තුනකින් ද, තුන්වන ශ්‍රේණියේ පාසල් එකසිය හැත්තෑ එකකින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි දරුවන් අධ්‍යාපනය ලබති.

මෙම දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික ආදායම රුපියල් නවදහස් අටසිය තිස් හතක් වේ. ගෘහ ඒකක සාමාන්‍ය මාසික ආදායම රුපියල් තිස්හත්දහස් පන්සිය අසූ හයකි. ගෘහ ඒකක සාමාන්‍ය මාසික වියදම රුපියල් විසිනවදහස් හට පහක් වේ. ගෘහ ඒකක සාමාන්‍ය මාසික පරිභෝජනය සහල් කිලෝග්‍රෑම් තිස්හතයි දශම අටකි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකයි දශම අටකි. පාන් කිලෝග්‍රෑම් දෙකයි දශම හයකි.

වාරි කර්මාන්තය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපරිම සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 32.8 කි. අවම උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 24.16 ක් වේ. වාර්ෂික වර්ෂාපතනය මි. මී 1665.40 ක් පමණ වේ.

පදවි වැව, වාහල්කඩ වැව, හුරුළු වැව, මානංකට්ටිය වැව, මහකනදරාව වැව, විලච්චිය වැව, තිසා වැව, නුවර වැව, අභය වැව, නාච්චාදූව වැව, කලා වැව, වාහල්කඩ වැව, රාජාංගණය ජලාශය හා අංගමුව වැව වැනි මහ සයුර පරදන මහ වැව් සිය ගණනින් පැතිර යන වා රැල්ලෙන් ද පෝෂණය ලබන අනුරාධපුර දිස්ත්‍රික්කය හරහා “ලුණු” ඔය, කලා ඔය, මල්වතු ඔය හා යාං ඔය ගලා බසිති. තවත් කුඩා වැව් අමුණු හා පොකුණු දහස් ගණනකි. මෙම වැව් අමුණු ගංඟා ඇළදොළ ප්‍රයෝජනයට ගනිමින් ගොවිතැන් බත් කරන ගොවීහු ජීවන බරට කර ගසා සිටිති.

ප්‍රතිසංස්කරණ

අනුරපුර වැව් පිරී ඉතිරී

බොහෝ ගම්මානවලට පානීය ජල පහසුකම් නැත. ඉතා දරුණු ලෙස වකුගඩු රෝගය ද ව්‍යාප්ත වේ. මාර්ග පහසුකම් විදුලිබල පහසුකම් තිබුණේ ද නැත. පාසල් ගොඩනැඟිලි රසායනාගාර පහසුකම් ද තිබුණේ නැත. මිනිසාට ජීවත්වීමේ දී අත්‍යාවශ්‍ය වන යටිතල පහසුකම් නොමැතිකමින් ජනතාව දස දුක් විඳිද්දී 2005 බලයට පත් වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගම නැඟුම, මඟ නැඟුම, ජාතික සවිය තුළින් අනුරාධපුරයේ ගම් නියම් ගම් නඟාසිටුවා ගැමි ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ඇරඹූ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට නව පණක් ද, නව ආලෝකයක් ද, නව අර්ථකථනයක් ද දෙමින් “දැයට කිරුළ” ජාතික සංවර්ධන ප්‍රදර්ශනය රජරට අහිංසක දූ පුතුන්ට ප්‍රදානය කර තිබේ.

අක්කර අඩි දෙලක්‍ෂ පනස්දහසක් විශාල (කලාවැව මෙන් දෙගුණයක්) යාං ඔය මහා ජලාශ යෝජනා ක්‍රමයේ දෙවන අදියර රුපියල් බිලියන පහළවක වියදමෙන් ඉදි කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන සමයේදී අරඹයි. යාං ඔය පළමු අදියරේ දී ද, දෙවන අදියරේ දී අලුතෙන් කුඹුරු හෙක්ටයාර් දසදහසක් පමණ අස්වද්දා ගොවි පවුල් පන්දහසක් පමණ පදිංචි කිරීමට නියමිත අතර යල් කන්නයේ වී වගාව සඳහා පදවිය වැවට ද, වාහල්කඩ වැවට ද, හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයේ තවත් මධ්‍යම හා කුඩා වැව් හැට පහකට ද ජලය ලබා දීමට නියමිතය. මල්වතු ඔය මහා ජල යෝජනා ක්‍රමය මෙම වසරේ ඉදිකිරීම සඳහා මූලික සමීක්‍ෂණ කටයුතු මේ දිනවල නිම වෙමින් පවතී.

ගොවි ආර්ථිකය සවිමත් කිරීම උදෙසා දැයට කිරුළ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් දෙසීයක් ප්‍රතිසංස්කරණ කටයුතු නිම වෙමින් පවතී. මහාමාර්ග ද, ගම්මාන මාර්ග ද, අනුරාධපුර නගරයේ මාර්ග ද නවීකරණය කර පුළුල් කර කාපට් කිරීමේ කටයුතු ලහි ලහියේ සිදු කෙරේ. පැරණි වැව් ද, අබලන් වාරි පද්ධති ද ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. හැම ගම්මානයකටම විදුලි බලය ලබා දේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන දෙදහස් හත්සිය දහසයේම සංවර්ධන ව්‍යාපෘති සඳහා දැයට කිරුළ මගින් අඩුම වශයෙන් රුපියල් දසලක්‍ෂය බැගින් ලබා දී තිබේ.

පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ගොවිජන සේවා මධ්‍යස්ථාන, තැපැල් කාර්යාල, පානීය ජල යෝජනා ක්‍රම, බස් ඩිපෝ, බස් නැවතුම්පොළවල්, විදුලි සංදේශ කාර්යාල ආදී කී නොකී සියලු රාජ්‍ය ආයතන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව අලුත්වැඩියා වෙමින් පවතී.

වැව් බැඳි රාජ්‍යයේ ජන ජීවිතය ගොඩනැංවීම උදෙසා ද තිස් වසරක ත්‍රස්ත ශාපයෙන් ජනතාව අත්මුදා දියුණුවේ හිනිපෙත්තට ජනතාව මෙහෙයවීම සඳහා ද ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ උපත ලැබූ වැවයි – දාගැබයි සංස්කෘතිය රටට හා ලොවට හඳුන්වා දුන් නුවර කලාවියේ වේගවත් සංවර්ධනය උදෙසා දැයට කිරුළ මගින් විමධ්‍යගත අය-වැය පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන විදේශ ආධාර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වසරකදී වැය කරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදල් කන්දරාවට අමතරව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරන ලද දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන විසිදහසක මුදලක් වැය කරයි.

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 04 දින ඇරඹී 09 වෙනි දින අවසන් වුවත් දැයට කිරුළට සමගාමීව සිදු කරන යෝධ සංවර්ධන වැඩපිළිවෙළ මෙම මුළු වසර පුරාම සිදු කෙරෙනු ඇත.