අනුරාධපුර නැ‍‍ඟෙනහිර ආසනයේ සංවර්ධනය වේගවත් වූ හැටි

අනුරාධපුර නැ‍‍ඟෙනහිර ආසනයේ සංවර්ධනය වේගවත් වූ හැටි

මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම පරිදි දැයට කිරුළ - ජාතික සවිය - ගම නැඟුම – සමෘද්ධිය - සැමට විදුලිය - විමධ්‍යගත අරමුදල් - දිවිනැඟුම - මඟ නැඟුම ආදී සෑම ක්ෂේත්‍රයකින්ම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අනුරාධපුර ජනතාව වෙනුවෙන් රජයෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහඅටදාහක් පමණ යොදවා කරනු ලබන සංවර්ධන ක්‍රියා පිළිබඳ කතා නොකරම බැරිය.

2011 වසරේ ලබා ගත් එම මුදල් අනුරාධපුර නැඟෙනහිර ආසනයේ ජනතාවගේ යහපත සඳහා යොදවා මේ වන විට විශාල වැඩ කොටස් අවසන් වී ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහ රජයේ උදව් උපකාර සහ මුල්‍යමය ප්‍රතිපාදන ලබාගෙන තිබෙන්නේ ජනතාවට මෙම සේවාවන් ලබාදීමටය.

එම සේවාවන් මතක් කර දීම අප හැමගේ යුතුකම හා වගකීම වන්නේය. ආසියාවේ නැඟී එන මධ්‍ය ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත් වී ඇත. ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ මට්ටමකට ගෙන එමින් අනුරාධපුර ජනතාව ද ශක්තිමත් කර ඇත.

අනුරාධපුර ජනතාවගේ සංවර්ධනයට ශෙහාන් මන්ත්‍රීවරයාගෙන් මුල්‍ය ශක්තිය ලබා දෙන විට අනුරාධපුර නැඟෙනහිර ආසන සංවිධායක එච්.බී. සේමසිංහ මහතාගෙන් ලැබෙන උදව් හා උපදෙස් අගය කළ යුතුයි.

ලැබුණු මුදල් අපතේ යවා නැත. අන් අයගෙන් හෝ කොන්ත්‍රාත්කරුවන්ගෙන් කොමිස් ලබා නොමැති බව ප්‍රදේශයේ බොහෝ දෙනා කෘතවේදීව සිහි කරයි.

ලද සියලු මුදල් නාච්චාදූව - නැඟෙනහිර නුවරගම් පළාත – රඹෑව - මිහින්තලේ මධ්‍යම නුවරගම් පළාත තලාව – ගලෙන්බිඳුණුවැව - කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සඳහා යොදවා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22න් 8ක්ම අනුරාධපුර නැඟෙනහිර ආසනය හා සම්බන්ධ වේ. වසර දහයක්ම අනුරාධපුර නැඟෙනහිර ආසනයට පවතින රජයක මන්ත්‍රීවරයෙක් සිටියේ නැත. පසුගිය මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස ශෙහාන් සේමසිංහ මහතා පත් කර ගත්හ.

ඔවුන් එදා ගමට රටට , පළාතට වැඩ කර ගැනීම අරමුණු කර ගත්හ.

එම ජනතා අභිලාශයන් ඉෂ්ට කරමින් සන්ධාන රජයේ සහ අනුරාධපුරයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් ගමට විශාල සේවාවන් රැසක්ම කර තිබීම තුළින් ජනතාව ලද සේවය උතුම් කොට සලකති. ඒ ජනතා උපහාර කිසිවකුටත් නතර කළ නොහැකිය.

සියලු දෙනාටම සතුටු විය හැකි කරුණකි. නිහඬව වැඩ කරමින් ආසනයේ ජනතාවට කර ඇති සේවාව තුළින් අනුරාධපුර නැඟෙනහිර ආසනය මේ වනවිට විදුලි අවශ්‍යතාවය 95%ක්ම සපුරා ඇත.

විදුලි ට්‍රාන්ස්ෆෝමර අනුරාධපුර ආසනයට තවත් ලබා දීමට නැත. ඇත්තේ විදුලි දීර්ඝ කිරීම් පමණි.

පළාත් අමාත්‍ය සේමසිංහ මහතා අඩු ආදායම්ලාභීන්හට සිමෙන්ති සහිත උර දහය බැගින් ලබා දී ඇත. දැයට කිරුළ යටතේ තම අමාත්‍යාංශයට අනුරාධපුර ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කර ඇත.

ඒ අතර දියර කිරි ප්‍රචලිත කරමින් පාසල් දරුවන් 1385කට කිරි වීදුරුව බැගින් ලබාදීමට කටයුතු කර ඇත. සහල් සැකසුම් මධ්‍යස්ථානයක වැඩ ආරම්භ කර ඇත. අනුරාධපුර සමුපකාර රෝහල සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි වෙමින් පවතී. කෝප් සිටි හතරක් විවෘත කිරීමට නියමිතය.

කුඩා කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ කර්මාන්ත අලෙවි සංකීර්ණයේ පළමු අදියරේ වැඩ අවසන් වෙමින් පවතී. ඔයාමඩුව ඉදි කළ අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පාලනය වූ දැයට කිරුළ ඉන්ධන පිරවුම්හල ආරම්භ කර දින 50ක් ඇතුළත රුපියල් කෝටි දෙකක ආදායමක් උපයා ඇත.

අනුරාධපුර නැඟෙනහිර ආසනය දැයට කිරුළ යටතේ සංවර්ධනය වූ අතර නාච්චාදූව ජනපදයට සිදු වූ සේවාවන් විස්තර කළ නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් ජේ. ඩබ්ලිව්. එස්. කිත්සිරි - අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අප ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයායි. එතුමාගේ උත්සහය හා උනන්දුව මත සහ අනුරාධපුර නැඟෙනහිර ආසන සංවිධායක එච්.බී. සේමසිංහ මහතාගේ යෝජනා සහ උපදෙස් මත ජනතාවගෙන් ලබා ගත් ජනතා උපදෙස් සහ ඔවුනගේ අවශ්‍යතා පෙළ ගැස්වූ සංවර්ධන ක්‍රියා මාර්ගය සඳහා මුදල් යොදවා තිබෙන්නේ මේ අයුරිනි.

ගම නැඟුම ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 190ක්, - දිවි නැඟුම වැඩසටහනෙන් රුපියල් ලක්ෂ 62ක්, ගංවතුරෙන් හානි අය පුනරුත්ථාපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 137ක් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 22ක්, සමෘද්ධි ජීවනෝපාය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 54ක්, ග්‍රාමීය මාර්ග කාපට් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2200ක්, පොල් අතු සෙවිලි කළ නිවාසවලට උළු ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 160ක්, දැයට කිරුළ සංවර්ධනාත්මක වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 400ක්, ප්‍රදේශයේ පාසල් 6කට වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා දීම සඳහා ලබා දුන් මුදලින් මාගේ නිලධාරී මණ්ඩලයේ උත්සාහය හා උනන්දුව මත පාසල් 8කට වැසිකිළි කැසිකිළි ප්‍රශ්නය විසඳීමටද අපට හැකි විය.

මෙම සියලු මුදල් ග්‍රාම සේවා වසම් 19ක ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යොදවා තිබෙන අතර 2011 වසරේ වැඩ නොකර නැවත භාණ්ඩාගාරයට සතයකුදු මුදලක් ආපසු යවා නැත. එය ඉතා සතුටට කරුණකි.

ජනාධිපතිතුමා ඇතුළු රජයට නාච්චාදූව ගොවි ජනපදයේ ජනතාවගේ ස්තුතිය මා පිරිනමනවා. දේශපාලන බලපෑම් නොමැතිව අපගේ රාජකාරි හරියට කිරීමට අවස්ථාව එතුමන්ලා ලබා දීම නිසා මේ සා වැඩ කොටසක් කිරීමට හැකි විය.ඒ පිළිබඳ අපි හැමෝම ආඩම්බර වෙනවා.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොල දැක් වූ අදහස් - ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැයට කිරුළ අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයට ලබා දෙන විට 2011 වසරේ දැයට කිරුළට සමගාමීව අනුරාධපුර නැඟෙනහිර ආසනයෙන් අප ප්‍රාදේශීය ලේකම් කොටසට රුපියල් ලක්ෂ 171ක මුදලක් ලබා දී තිබෙනවා.

ග්‍රාමීය මාර්ග සහ පානීය ජල අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 43.4ක්, සුළු ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 51.1ක්, මාතෘ සායන සඳහා රුපියල් ලක්ෂ 34ක්, පාසල් වැසිකිළි කැසිකිළි සඳහා රුපියල් ලක්ෂ 43.4ක්, පෙර පාසල් නඟාසිටුවීම සඳහා රුපියල් 280000ක් වශයෙන් ලබා දී තිබෙනවා.

නාච්චාදූව, රඹෑව, නැෙඟනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය කමිටුවල සභාපති වශයෙන් ශෙහාන් මහතා කටයුතුª කරනවා. ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට මහත් වෙහෙසක් දරමින් එතුමන්ලා රජයෙන් ලබා දෙන විශාල මුදල් කන්දරාව මිහින්තලා ආසනයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වුණා.

ජාතික සවිය මඟ නැඟුම යටතේ රුපියල් ලක්ෂ 784 පෙර පාසල් සඳහා රුපියල් 1063000, ග්‍රාමීය මාර්ග කුට්ටිගල් ඇල්ලීමට රුපියල් ලක්ෂ 50, ග්‍රාමීය මාර්ග සහ පානීය ජලය සඳහා රුපියල් ලක්ෂ 210, සුළු වාරිමාර්ග සඳහා රුපියල් ලක්ෂ 250 – මාතෘ සායන සඳහා රුපියල් ලක්ෂ 204, පාසල් වැසිකිළි කැසිකිළි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 202, විමධ්‍යගත අරමුදල් සඳහා රුපියල් ලක්ෂ 50, අනුරාධපුර නැඟෙනහිර ආසනයේ මාර්ග කිලෝමීටර් 62ක්, කාපට් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7440, කර්මාන්ත අලෙවි සංකීර්ණය සඳහා රුපියල් ලක්ෂ 300, අනුරාධපුර සමුපකාර ගොඩනැඟිල්ලට රුපියල් ලක්ෂ 70, සහල් සැකසුම් මධ්‍යස්ථානයට රුපියල් ලක්ෂ 50, ග්‍රාම නිලධාරී වසම් 82ක් සඳහා රුපියල් ලක්ෂ 1640 යනාදී වශයෙන් විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට අවසන් වෙමින් පවතී.

දැයට කිරුළ 2012 සංවර්ධන ක්‍රියාවලිය

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ - අනුරාධපුර ජනතාවගේ ගෞරවය රැකෙන පරිදි දැයට කිරුළ ඉදිරිපත් කර තිබෙනවා. දැයට කිරුළ සමඟ ජාතික නිදහස් උළෙල අනුරාධපුරයේ පවත්වමින් අනුරාධපුර ජනතාවට අපේ රජය කර ඇති සංවර්ධනය අතිවිශාලයි. අභියෝග හමුවේ ජයගෙන වැඩ කරන හැටි ජනාධිපතිතුමා මෙවර අපි හැමෝටම කියා දුන්නා.

මෙවර ප්‍රදර්ශනය අවසන් වූවාම විශාලතම වී ගබඩාව එහි ඉදි වෙනවා.

විශාලතම සත්ත්ව ගොවිපල ඉදි වෙනවා. අනුරාධපුර මාර්ග සංවර්ධනය සඳහා රුපියල් කෝටි 2000ක් පමණ යොදවා තිබෙනවා.

වසර 15ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයට කිරීමට තිබූ වැඩ කොටස් 2012 දැයට කිරුළත් සමඟ අවසන් කර ගැනීමට හැකි වුණා. අනුරාධපුර ජනතාව හරිම වාසනාවන්තයි. මම හරිම සතුටු වෙනවා තරුණ මන්ත්‍රීවරයකු ලෙස විශාල සංවර්ධන කටයුත්තක් සමඟ ජනතාවට සේවය කිරීම පිළිබඳව.

දැයට කිරුළ 2012 අනුරාධපුරයට ලැබුණෙ නැත්නම් මෙම සංවර්ධන කටයුතු කර ගැනීම සඳහා තවත් වසර ගණනක් බලා සිටීමට අපට සිදුවෙනවා.