නිදහස් දින අධිෂ්ඨානය හා රට ගොඩ නැඟීම

නිදහස් දින අධිෂ්ඨානය හා රට ගොඩ නැඟීම

ලංකාව විදේශ ආධිපත්‍යයෙන් මිදී ඩොමිනියන් තත්ත්වයෙන් නිදහස ලබා එහි හැට හතරවැනි සමරුව මේ වසර තුළ අප සැවොම අභිමානයෙන් සිහිපත් කරන්නෙමු. ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන්ගේ ලංකාගමනයෙන් පසු යටත්විජිතකරණයට ලක් වූ ශ්‍රී ලාංකේය ප්‍රජාව එතැන් සිට ලන්දේසි, ඉංග්‍රීසි වැනි යුරෝපීය ප්‍රබල ජන කණ්ඩායම්වල ආධිපත්‍යයට හා පාලනයට යටත්ව සිය නිදහස යටත්විජිත බලය හමුවේ වැළලෙමින් පැවැති අවධියක දේශීය අනන්‍යතාවය හා පරගැතිබවේ අදීනත්වය හමුවේ නොසැලි ඉදිරියට ආ ජාතික හා ආගමික ව්‍යාපාර මෙන්ම දෑහිතකාමී ගිහි පැවිදි ජන නායකයන් විසින් දහනවවැනි සියවසේ අගභාගයේ සිටම දිගින් දිගට ඉංග්‍රීසි පාලකයන් වෙත කළ ඉල්ලීම්වල හා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙන්ම ඩොනමෝර් හා සෝල්බරි කොමිෂන් සභා නිර්දේශයන් ද සැළකිල්ලට ගනිමින් 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වයක් ලබාදීමට ඉංග්‍රීසි පාලකයන් විසින් කටයුතු කරන ලදී.

විදේශීය පාලකයන්ගේ පාලන ප්‍රතිපත්ති හමුවේ මහත් පීඩනයකට හා අසහනයකට ලක්ව විසූ ශ්‍රී ලාංකේය ජනතාවට එලෙසින් ලබාගත් නිදහස මහත් අස්වැසිල්ලක් වූවාක් මෙන්ම දේශීයව පාලන බලය හිමි කර දෙමින් ප්‍රදානය කළ ඩොමිනියන් තත්ත්වය මහත් නිදහසක් ලෙසින් පිළිගනිමින් භුක්ති විඳීමට ශ්‍රී ලාංකිකයෝ පෙළඹුනහ. එතැන් සිට දේශීය පාලකයන් වෙත පාලන කටයුතු භාර වූ අතර වර්ෂ 1972 මැයි මස 22 වැනි ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් කර ගනිමින් පූර්ණ නිදහසක හිමිකරුවන් බවට පත් වූහ.

එතැන් සිට නිදහස පිළිබඳ උද්දාමයෙන් කථා කළ අතර නිදහස් සැමරුම් වාර්ෂිකව පැවැත්වීමට ද ශ්‍රී ලාංකිකයෝ අමතක නොකළහ. නිදහස යනු කුමක්ද යන්න අප සලකා බැලිය යුතු කරුණකි. සිය අනන්‍යතාවය මත බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට හැකි භෞතික හා මානව බාධාවන්ගේ වියුක්ත වූ පාරිසරිකත්වය රටක නිදහස ලෙසින් සැලකේ. ඒ යටතේ පුද්ගල අනන්‍යතාවයට ගරු කරන සිතීමේ හා කතා කිරීමේ මෙන්ම ක්‍රියා කිරීමේ අයිතිය පුද්ගලයා සතු වේ නම් සිය ආරක්ෂාව මනාව තහවුුරුව පවතී නම් එබඳු රටක පුද්ගල නිදහස මනාව තහවුරුව පවතියි.

මෙලෙසින් නිදහසක් සමරන්නේ ඇයි ද? යන්න විමසා බැලිය යුතු කරුණකි. පහළොස්වැනි සියවසට පෙර දවස අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, කෝට්ටේ හා සෙංකඩගල වැනි අගනගරයන් මුල් කොට ගෙන දේශීය පාලකයන්ගේ මෙහෙයවීම මත පැවැති කේන්ද්‍රීය රාජාණ්ඩු ක්‍රමයක තුළින් සිය දේශයේ අනන්‍යතාවය මතු කළ බෞද්ධාගම මුල්කොටගත් සමාජ සංස්කෘතික පසුබිමක කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය කර ගනිමින් විසූ ලක්දිව වැස්සන් අසීමිත නිදහසක් සිය දේශය තුළ භුක්ති විඳීමින් කල් ගෙවනු ලැබූ බව ඓතිහාසික සාධක විශ්ලේෂණය කරන විට පෙනී යන කරුණකි.

ආක්‍රමණ

එම අවධිය තුළ දකුණු ඉන්දීය ආක්‍රමණියන්ගේ තර්ජන හා දේශය යටත් කර ගැනීම් කීපයක් හමුවේ වුව ද නොසැලී සිය දේශයේ අනන්‍යතාවය හා නිදහස රැක ගනිමින් ඉදිරියට ඒමට ශ්‍රී ලාංකිකයෝ සමත් වූහ. පළමු ආක්‍රමණිකයන් සේ හැඳින්වෙන සේන ගුත්තිකයන් වසර විසිදෙකක් පමණ මෙරට පාලනය කළ ද ඔවුන්ගෙන් දේශය මුදා ගැනීමට අසේල කුමරු සමත් විය. එමෙන්ම වසර හතළිස් හතරක් පමණ දැහැමින් පාලනය ගෙන ගිය පාලකයකු ලෙසින් වංසකථාගත එළාරයන්ගේ පාලන කාලය ද දකුණෙන් බිහි වී පෙරට පැමිණි දිට්ඨගාමිණීගේ යුද ව්‍යාපාරය හමුවේ පරාජිත බවට පත්ව සිය දේශයේ නිදහස සුරැකීමට ක්‍රියා කළ අතර දේශීය නායකත්වයක් අනුරාධපුරය මුල් කොට බිහි කර ගැනීමටත් එවකට ඒ ඒ ප්‍රදේශවල පාලන කටයුතු ගෙන ගිය ප්‍රාදේශීය නායකයන් අතර එක්සත් බවක් ගොඩනඟමින් එක්සත් පාලන රටාවකට දේශීය පාලන තන්ත්‍රය යොමු කිරීමට ද දිට්ඨගාමිණී කුමරු සමත් වූ ආකාරය ඓතිහාසික සම්ප්‍රදායන් එළි දක්වන කරුණු තුළින් මනාව පැහැදිලි වේ.

ක්‍රි.පූ. පළමුවැනි සියවසේ දී පස්දෙනෙකුගෙන් සැදුම් ලද දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර හමුවේ පසුබැසීමකට ලක් වූ දිට්ඨගාමිණී වසර 14කට පසු නැවත භික්ෂූන්ගේ හා මහජනතාවගේ සහාය ද ලබා ගනිමින් අවසන් දමිළ පාලකයා නසා දේශීය නායකත්වය අනුරාධපුරයේ තහවුරු කිරීමට සමත් විය. ධාතුසේනයන් ද දමිළ සේනා නසා දේශීය ජනතාවගේ ස්වාධීනත්වය තහවුරු කළ පාලකයකු ලෙසින් ඉතිහාසගතය. අධිරාජ්‍යයක් ලෙසින් මහත් ඝෝෂකත්වයක් ලබා ලක්දිවට මහත් ප්‍රහාරයක් එල්ල කළ පළමුවැනි රාජරාජ හා රාජේන්ද්‍ර චෝළයන්ගේ සිය අධිරාජ්‍ය බලය ලක්දිවින් ඉවත් කොට දේශයේ නිදහස සුරක්ෂිත කිරීමට පළමුවැනි විජයබාහු රජු සමත් විය.

එමෙන්ම පොළොන්නරු වැනි අගනගරයක අවසානය සනිටුහන් කරමින් ලක්දිවට පැමිණ මහත් ව්‍යසනයක් ඇති කිරීමට දායකත්වය ලබා දුන් කාලිංග මාඝගේ බලය ද තෙවැනි විජයබාහුගේ නායකත්වය හමුවේ අඩාලව ගිය ආකාරය මෙරට ඉතිහාසය අපට මතක් කර දෙයි. මෙලෙසින් ආක්‍රමණයන් එල්ල වුව ද දේශීයයන් භුක්ති වින්ද අසීමිත නිදහස විජාතික බලයනට සම්පූර්ණයෙන්ම අවනත කර ගැනීමට නොහැකි වූ බව කිව යුතු වේ.

එනමුත් වෙළෙඳාම හා ආගම් ප්‍රචාරය මුල් කොට පෙරදිගට පැමිණෙන පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් දකුණු ඉන්දියානුවනට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දේශීය පාලන නායකත්වය මුලා කොට ප්‍රභූ පිරිස් හා ජනතාව භේද කොට සිය අභිමතාර්ථ ඉටු කොට ගැනීමට නිරතුරුව මාන බැලූහ.

පරිහානි සලකුණු

විජාතික හැඟීම් ජන සමාජය තුළ විසුරුවා හැරීමට අදාළ වන පටු වාසියට නතු වූ පරගැති ජන කණ්ඩායම් දේශීයන් අතරින්ම යොදා ගනිමින් දේශීය අනන්‍යතාවයට ප්‍රහාරයන් එල්ල කිරීමට යොදා ගැනීමත් සමඟ එතෙක් දේශීයන් භුක්තිවිඳී නිදහසට පරිහානි සලකුණු වැටෙන්නට වැඩි කල් ගත නොවීය.

පෘතුගීසීනට මෙන්ම ලන්දේසීනට ද මුළු ලක්දිවම සිය පාලන බලයට නතු කර ගැනීමට හැකියාවක් නොමැති වුව ද සිය බලය පිහිටුවාගත් මුහුදුබඩ ප්‍රදේශවල සිය පාලන අණසක පැතිරවීමට ඔවුහු සමත්වූහ. ඒ සමඟම දේශීයන්ගේ නිදහසේ භූමිය බවට කන්ද උඩරට රාජ්‍යය පත්විය. දේශීය නායකත්වය පාලන බලයෙන් ඉවත් කොට ඉංග්‍රීසීන් විසින් 1815 මාර්තු දෙවැනි දින උඩරට ගිවිසුම උඩරට ප්‍රභූන් සමඟ අත්සන් කිරීමත් සමඟ දේශයේ එතෙක් පැවැති නිදහස වැළලී ගොස් ස්වදේශය තුළම දේශීය ජනතාව සිරකරුවන් බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය. එතැන් පටන් විවිධ විදේශීය ප්‍රතිපත්ති ඔස්සේ දේශීයන්ගේ නිදහස සීමා කිරීම්වලට ලක් කිරීමට අදාළ නීතිරීති අණපනත් හා ප්‍රතිපත්තීන් සැකසීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. ඒ සමඟම දේශීයත්වයේ මංසලකුණු ක්‍රමයෙන් වියැකී යාමට පටන් ගත්තේය.

ඊට එරෙහිව නැඟී සිටීම හා දේශීය අනන්‍යතාවය සුරකිමින් දේශීයන්ගේ නිදහස නැවත ස්ථාපිත කරලනු වස් විජාතික පාලනයට හා ප්‍රතිපත්තිවලට එරෙහිව දියත් කිරීමට දේශීය ප්‍රභූ කණ්ඩායම් පෙළ ගැසිනි. ඒ යටතේ 1818 වෙල්ලස්ස අරගලය හා 1848 මාතලේ කැරැල්ල ප්‍රමුඛ නිදහස් අරගල ලෙසින් ක්‍රියාත්මක වූ අතර නිදහස පතා දියත් කළ අනෙකුත් වැඩපිළිවෙළේ ප්‍රතිඵලයන් ලෙසින් ජාතික ව්‍යාපාර හා ආගමික පුනර්ජීවන ව්‍යාපාර වර්ධනය වී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිල නොලත් මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කිරීම, ඩොනමෝර් ක්‍රමය හා රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම, සොල්බරි කොමිසම පත්කොට එවීම හා ඩොමිනියන් තත්ත්වයක් 1948 දී ලබා දීම යන දිගු අරගලයක නිමාවක් ලෙසින් දේශයට අර්ධ ස්වාධීනත්වයක් ලැබිණ.

අපේ අවධානය

නිදහස හා නිදහස නැතිවීම මෙන්ම නැති වූ නිදහස දිනා ගැනීමට ගත් වෙහෙස පිළිබඳව මෙන්ම දිනාගත් නිදහස භුක්තිවීඳීය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ද නූතනයේ අප අවධානය යොමු කළ යුතුය. යටත්විජිත හරණ අවධියක වෙසෙන ශ්‍රී ලංකාව ගෙවී ගිය දශක තුනක පමණ කාලයක් උතුරේ ජාතිවාදී මුහුණුවරින් දියත් වූ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා දිනාගත් නිදහස වැළලි ගොස් ත්‍රාසය හා භීතිය රජයන යුගයක් පසු කළ බව අමතක නොකළ හැකිය. එබැවින් වත්මන්හි වෙසෙන සැමට නිදහසේ ඇති මිහිරියාව කවරක් ද යන්න අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ. ඒ නිසා දේශයේ නිදහස සමරන නිදහසේ කතිකාව දියත් වන මෙවන් අවධියක දිනාගත් නිදහස අප කෙසේ සුරැකිය යුතු ද යන්න හා එම නිදහස තමාගේ මෙන්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කෙසේ භාවිත කළ යුතු ද යන්න පිළිබඳවත් සිතීමට කාලය එළැඹ ඇති බව පුන පුනා මතක් කළ යුතුව තිබේ.

ගැටුණ හා වැටුණ දේශයක දිරිමත්ව නැඟී සිටින අප යට ගියාවෙන් පාඩම් ඉගෙන ගනිමින් රට ඉදිරියට ගෙන යාමට අදාළ මානසිකත්වයක් මෙන්ම ක්‍රියාකාරී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද අද පැන නැගී ඇති බව කිවයුතු වේ. එනිසා අප හමුවේ ඇති අභියෝගය සුළු කොට තැකිය නොහැකිය. ඒ නිසා අපගේ නිදහස් දින අධිෂ්ඨානය පෙරටත් වඩා රටේ අනාගතය වෙනුවෙන් යොමු කළ යුතුව ඇත. ඒ සඳහා ක්‍රමවත් වූ සිතිවිලි සමුදායක් මෙන්ම ක්‍රියාකාරී වැඩපිළිවෙළක් යෝජනා කරනු කැමැත්තෙමු. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් සැමගේ අවධානය යොමු කළ යුතු දිශානතින් කීපයක් ඇත.

නිවැරැදි දැක්මක්

එනම් එක්සත් මානසිකත්වයකින් සියලු ජාතීන් ඒකාවන්ව නැඟ ීසිටීම, පක්ෂ පාට හෝ මායිම් සම්බන්ධ පටු ආකල්පවලින් දුරස්වීම, රට කරවන පාලක පන්තියේ සිට සෑම සිය වගකීම් හා යුතුකම නිසි පරිදි අවබෝධ කොට රට වෙනුවෙන් සිය යුතුකම හා වගකීම ඉටු කිරීම දේශීය ආකල්ප පෝෂණය කිරීම මමත්වයට වඩා පොදු හැඟීම් හා පොදු න්‍යාය පත්‍රයක් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම, සදාචාරය හා සංවරත්වය ඉස්මතු කිරීම හා ඊට ඇති බාධා ඉවත් කිරීම, ප්‍රතිපත්තිමය රාමුවක් ඔස්සේ පාලක පක්ෂය හා ජනතාව දිශානුගත කිරීම, අවංකත්වය හා ක්‍රියාශීලීත්වය, ජාතිකත්වයට වඩා සාමූහිකත්වයත් මානුෂිකත්වයත් පෙරට ගැනීම හා ප්‍රමුඛතාවය පත්කිරීම, මිනිසා විසින් මිනිසා නසන පටු ආකල්පවලට පටුවීම හෝ කොටු නොවීමට අදාළ නීති සම්පාදනය හා නීතිමය රාමුව ඉදිරියේ සැමට සාධාරණත්වය ඉටු කිරීම මෙන්ම විනිවිදභාවයෙන් කටයුතු කිරීම සුදුස්සාට සුදුසු තැන හිමි කර දෙමින් දේශීය නැඹුරුව වර්ණවත් කිරීම යන අධිෂ්ඨානශීලී ගමන් මඟට අවතීර්ණ වේ නම් නිදහසේ සැමරුම් අර්ථය සමීප කර ගැනීමට වැඩි කලක් ගත නොවනු ඇත.

කථාවට හා උත්සව සැමරුමට පමණක් නිදහස යන්න ලඝු කොට කටයුතු කෙරේ නම් මෙම වසර ද නිදහසේ සැමරුමේ තවත් එක් මතක සටහනක් පමණක් වනු ඇත.

මෙලෙසින් අපට අප පිළිබඳව නිවැරැදි දැක්මක් ඇති කොට ගතහැකි වේ නම් අපට අපගේ දේශය ඉදිරි වසර කීපයක් තුළ නඟාලීම අපහසු කරුණක් නොවනු ඇත. එමෙන්ම සංවරත්වයක් ඇති ක්‍රියාශීලී ජාතිමාමක පිරිසකගෙන් සැදුම් ලත් දේශයක නිදහස භුක්ති විඳීමේ වරප්‍රසාදය ද අප සතු බව කිවයුතු වේ.