ආර්ථික නිදහස අප ජය ගත්තාද

ආර්ථික නිදහස අප ජය ගත්තාද

64 වැනි නිදහස් සමරුවට අපි දැන් අවතීර්ණ වී සිටිමු. නිදහස ලබා හැටහතර වසරක් ගෙවී යාම වූ කලී මිනිස් දිවියක පැවැත්මෙන් නම් ඉතාම දිගු කාල පරිච්ඡේදයකි. මේ දිගු කාලයේදී අප ලත් නිදහසෙන් උපරිම ඵල නෙළා ගත්තාද යන්න සම්බන්ධයෙන් අප අවලෝකන කළයුතු ඉසව්වට පැමිණ ඇත.

දේශාපලන නිදහස අතින් අප කිසියම් ඵල ප්‍රයෝජන ලබා ගත්තාද ? ආර්ථික වශයෙන් අපට පූර්ණ නිදහසක් ඇද්ද යන්න සොයා බැලීම වටී. ගෙවී ගිය හැට හතර වසර කාලයේදී ආර්ථික නිදහස ලබා ගන්නට අපකැපවී ක්‍රියා කළේද යන්න අප අපගෙන්ම විමසා බැලිය යුතුය.

දේශපාලන නිදහස කොතරම් තිබුණත් ආර්ථික නිදහස නැත්නම් එම දේශපාලන නිදහසෙන් කිසිදු ඵලක් නොමැත. තවමත් අපි අන් රටවලට අත පා ජීවත් වීමට පුරුදු වී සිටිමු. මෙය කොතරම් අර්ථදායී කරුණක්ද යන්න විමර්ශනයට බඳුන් කළ යුතුය. අප නිදහස ලබා ගත්තාට පසුව නිදහස ලැබූ රටවල් අපට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇයිද යන්න ගැනත් විමර්ශනයට යොමු කළ යුතු කරුණකි.

අපේ ආර්ථික ක්ෂේත්‍රය දෙසට නෙත් - සිත් යොමු කරන විට නිදහස ලබන්නට පෙරාතුව අපේ ආර්ථික රටාවත් නිදහසෙන් පසු ආර්ථික රටාවත් සසදා බැලිය යුතුය.

නිදහස යන වචනයේ අර්ථය අප යථාර්ථවාදී ලෙස පසක් කොට ගත්තාද, මෙම නිදහස සුරැකෙන්නට නම් ආර්ථික නිදහසට ප්‍රමුඛත්වය දිය යුතුය. ආර්ථික නිදහස හා දේශපාලන නිදහස යන දෙඅංශය එකසේ සපුරා ගන්නට නුපුළුවන. ආර්ථික නිදහස ඇති වීමෙන් දේශපාලන නිදහස නැතිවන්නට පුළුවන. එමෙන්ම දේශපාලන නිදහස ඇති තැන ආර්ථික නිදහස නැතිවන්නට ද පුළුවන. මේ දෙඅංශයම සමබර තත්ත්වයක් ඇති රටක් සොයා ගැනීම කළුනික සෙවීම වැනි දෙයකි.

ලැබූ නිදහස සමඟ ගමන් කොට අප එයට නිසි ප්‍රතිචාර දක්වා ඉදිරියට ගොස් අභිමානයක් ඇති කර ගත හැකිද යන්න සම්බන්ධයෙන්ද කරුණු කාරණා සොයා බැලිය යුතුය.

බීරළු කර්මාන්තයේ යෙදෙන කාන්තාවක්

ආර්ථික නිදහස භාව පූර්ණ නොව අර්ථ පූර්ණ විය යුතුය. භාව පූර්ණ වශයෙන් නම් අපට උද්දාමයට පත්විය හැකිය. එහෙත් අර්ථ පූර්ණ වශයෙන් අපට උද්දාමයට පත්වන්නට පුළුවන්ද.

ආර්ථික නිදහස ලබා ගැනීම එක් පුද්ගලයකුට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. එමෙන්ම පාලක කොටසට පමණක් කළ හැකිද කාර්යයක් නොවේ.

පාලිතයන් හා පාලකයන් එකට අත් වැල් බැඳගෙන හැඟීමෙන් යුතුව කටයුතු කළ යුතුය. පක්ෂ - විපක්ෂ වශයෙන් පිල් බෙදීමෙන් අපට ආර්ථික නිදහස ලබන්නට නුපුළුවන. අපේ ආර්ථික නිදහස පසුබෑමකට පත් වූයේ පිල් බෙදීම නිසාය යන්න කීවොත් එය එතරම්ම නිවැරැදිය.

බල අරගලය අපේ ආර්ථික නිදහස පසු බෑමට මූලික හේතුවක් විය. බලයලත් අයට බලය නොලැබී ගිය අයගෙන් රටේ සංවර්ධනයට බලපෑමක් ඇති වූයේ ද යන්න ගැනත් සොයා බැලිය යුතුය.

මෙතෙක් පැමිණි ගමන් මඟ හේතු කොට ගෙන විපක්ෂය ආර්ථික ප්‍රගතිය උදෙසා අනුබලයක් නොවීය. ආර්ථික ක්ෂේත්‍රයේ පවත්නා යම් යම් දෑ ඉස්මතු කොට විවේචනය කිරීම හැරුණු විට ආර්ථික සංවර්ධනය අරභයා ඒ අයගෙන් පූර්ණ සහායක් ලැබුණේ නැත.

රටේ ආර්ථික නිදහස ශක්තිමත් වුවහොත් පමණි පක්ෂ – විපක්ෂ කාටත් රට පාලනය කළ හැක්කේ.

මගේ රට යන හැඟීම

මේ යථාර්ථය ද අප තේරුම් බේරුම් කර ගත යුතුය. මේ අපේ රටය.

අපට මතු පරපුරක් සිටින්නේය. එම පරපුරට අප අතින් විශාල මෙහෙවරක් සිදු කළ යුතුය යනුවෙන් කටයුතු කළමනාය. සමාජ ප්‍රගමනයට බලපාන හේතු සාධක සොයා බලා ජන සමාජයේ ප්‍රගතියට ඉවහල් වන අන්දමට කටයුතු කිරීම අපේ වගකීම හා යුතුකමයි.

මගේ රට යන හැඟීම අප සියල්ලන් කෙරෙහිම රැඳී - බැඳී – සැදී - පැහැදී යන ආකල්ප ඇති විය යුතුය. ආර්ථික ප්‍රවර්ධනය උදෙසා යන ගමනේදී න්‍යායන් පසෙකට තල්ලු කොට ප්‍රායෝගික තලයකට කේන්ද්‍ර විය යුතුය. අප මෙතෙක් කල් පැමිණි ගමන් මඟ අනුව ප්‍රමුඛතාව දෙන ලද්දේ ප්‍රායෝගිකත්වයට නොව න්‍යායන්ටය. අපේ ආර්ථිකය මන්දගාමී වූ යේ මේ න්‍යායන් පදනම් කොටගත් නිසාය.

ආර්ථික ප්‍රගතියක් නැතැයි නිතරම අවලාද නැඟීම නොවෙයි සිදු විය යුත්තේ. අවංක ලෙසම කටයුතු කොට රට ගොඩ ගන්නට ශ්‍රමය වැය කිරීමට වග බලා ගැනීමය.

මූල්‍ය සම්පත සමඟම ශ්‍රම සම්පත ද ඉතාම අවශ්‍ය දෙයකි. මුදල් කොතරම් තිබුණත් ශ්‍රමය නැත්නම් අපට ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම කියන දෙයක් තමයි මූල්‍ය සම්පතකට ශ්‍රම සම්පතත් තිබිය යුතුය යන්නයි’

දහඩිය වැගුරූ තරමටයි, අපට ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැක්කේ. ගොවි ජනතාව ශ්‍රමය වගුරන තරමට සෙසු අයත් ශ්‍රමය වැය කරන්නේද, රටේ එක්තරා කොටසක් වැය කරන ශ්‍රමයෙන් සෙස්සන් ජීවත් වන්නට මාන බලන්නේ නම් එය අතිශය ඛේදයකට කරුණකි.

අන්තය සහ සීමාන්තය

සාමූහික ප්‍රයත්නයක අග්‍ර ඵලයකි ආර්ථික නිදහස වේලාව - අවේලාව නොබලා, අව්ව - වැස්ස ගැන නොසිතා, දිවා රෑ නොතකා අප සියලු දෙනාම වැඩ කළහොත් අපට ආර්ථික නිදහස ලබන්නට පුළුවන. තමන්ට අයත් නියමිත පැය ගණනට අපේ ශ්‍රමය සීමා කළහොත් එතැන ආර්ථික සංවර්ධනයක් ඇති නොවේ.

අන්තය හා සීමාන්තය යන අන්ත දෙක ගැන ද අපට පූර්ණ අවබෝධයක් තිබිය යුතුය. අන්තය නොදැන ගියොත් අප මංමුළාවේ.අතරමං වේ. සීමාන්තය දැනගෙන ගියොත් අපට කිසියම් ගොඩ ඒමක් ඇත.

අප කෙරෙහි පවත්නා අසීමිත දේශපාලන නිදහස හේතු කොට පෙළපාළි, උද්ඝෝෂණ, වැඩවර්ජන, පිකටින් ආදිය අපේ සමාජ රටාවේ නිතරම දක්නට ලැබෙන දෙයකි.

සීමාන්තය නොදැන අනන්තයට යෑමේ ඵලයකි එය. අන්තගාමී තත්ත්වය අප නිරන්තරයෙන්ම බැහැර කළ යුතුය. මේ සියල්ලම ආර්ථික නිදහස සඳහා උපයෝගී කොට ගන්නා ඒවා නොවේ. ආර්ථික නිදහස අඩාල කරන්නට හේතු සාධක වන ඒවාය.

අයිතිය – යුතුකම හා වගකීම යන ත්‍රිකය අප හමුවේ පවත්නා ප්‍රධාන සාධකයන්ය. අයිතිය අරභයා සටන් කළ යුතුය. එය අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. අයිතිය උදෙසා සටන් කරන්නට පෙරාතුව සිය වගකීම හා යුතුකම ඉටු කළේද යන්න ගැන විමසිය යුතුය.

තමන්ගේ අයිතිය හා වගකීම නිසි අයුරින් ඉටු කළේ නම් අයිතිය නිරන්තරයෙන්ම සුරැකේ. අප මෙතෙක් කල් කළේ වගකීම් හා යුතුකම් බැහැර කොට අයිතියට පමණක් ප්‍රමුඛතාව දීමයි. අපේ ආර්ථික නිදහස ආපස්සට යන්නට මෙයද අතිශයින්ම බලපාන ලදී.

ආකල්පවල වෙනසක්

අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ සංවර්ධනය වන මංමාවත්

සමාජ රටාව සංකීර්ණ තත්ත්වයක් උසුලනු ලැබේ. මේ සංකීර්ණ තත්ත්වය හේතු කොට ගෙන අපේ ආකල්පවල ද වෙනසක් ඇති කර ගත යුතුය.

ගතානුගතික, යල් පැන ගිය ආකල්ප කරපින්නාගෙන අපට ආර්ථික ප්‍රවර්ධනයක් ඇති කර ගත නොහැකිය.

සමාජය, ලෝකය වෙනස්වීම අනුව අපේ අකාල්ප ද වෙනසකට බඳුන් කොට ආර්ථික රටාව වෙනස් කොට සැලසුම් සහගත ව්‍යුහයක ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවයයි.

ප්‍රථමයෙන්ම ලෝකය දෙසට අප නැඹුරු විය යුතුය. ආර්ථික වශයෙන් ප්‍රවර්ධනයක් කරා යන රටවල ආර්ථික ව්‍යුහය දෙසට අප නැඹුරු විය යුතුය. ඒවායින් 100% ක්ම අපට අනුගත නොවන්නට පුළුවන. එහෙත් ඒවායේ කිසියම් හරයක් ඇත්නම් ඒවා උකහා ගත්තාට වරදක් නොමැත.

අපේ ආර්ථික සැලසුම් භූගෝලීය ව්‍යුහයට අනුගතව සකස් කිරීමට වග බලා ගත යුතුය. ඒ ඒ රටවල ආර්ථික ප්‍රවර්ධනයක් ඇති වී තිබෙන්නේ ඒ ඒ රටවල භූගෝලීය ව්‍යුහයට අනුගතවය. එබැවින් දේශීය රටාවට ප්‍රමුඛතාව දී ආර්ථික සංවර්ධන රටාව ඉදිරියට රැගෙන යා යුතුය. මෙතෙක් පැමිණි ගමන් මඟම තවදුරටත් රැගෙන ගියහොත් අපට ආර්ථික වශයෙන් නැඟී සිටින්නට හැකි වේ යැයි සිතීම මහත්ම මුලාවකි. මිථ්‍යාවකි, මායාවකි. මේ සංකල්පවලින් බැහැරව නව සංකල්ප කරපින්නා ගැනීමට හිතට ගත යුතුය.

සමාජාශ්‍රිත හා පුද්ගලශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කොට ආර්ථික ගමන් මඟ ප්‍රබල කරගත යුතුය.

ආර්ථික නිදහස යනු තමන් උපයන මුදල නිසියාකාරව පරිහරණය කරන්නට හැකියාවක් තිබීමයි. එසේ නොමැතිව ණය වී ජීවත් වන්නට සිදුවන්නේ නම් එතැන ආර්ථික නිදහසක් ඇති නොවේ.

පරාර්ථකාමී වීම

ජීවන රටාවේ වෙනස්කම් රාශියක් දිනෙන් දිනම ඇති විය යුතුය. වෙනසකට ආර්ථික ව්‍යුහය පාත්‍ර නොවන්නේ නම් ආර්ථික නිදහස මන්දගාමී ස්වරූපයක් ගනු ලැබේ.

ආත්මාර්ථකාමීත්වය පසෙකට ඇද දමා පරාර්ථකාමීත්වයට මූලිකත්වය දිය යුතුය. අපේ සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ආත්මාර්ථකාමීත්වයයි.

තමන්ගේ මල්ල පමණක් පුරවා ගන්නට,තමන් පමණක් ජීවත් වන්නට යන ආකල්පය මූලෝත්පාටනය කොට පරාර්ථකාමීත්වයට මූලිකත්වය දී තමන්සේ සෙස්සන්ද ජීවත්වනවාය යන සිතුවිල්ල අපට නිරන්තරයෙන්ම ඇති විය යුතුය. අප අපේක්ෂා කරන ආර්ථික නිදහස සපුරා ගන්නට හැකි වන්නේ එවිටය.

ආර්ථික නිදහස

මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ බුද්ධිගලනයයි. අපේ රටේ සාරයෙන් විශේෂඥයන් වී පසුව රට හැර ගොස් විදෙස් රටවලට ඒ ඥානය ලබාදීමත් අපට අතිශය අවාසිදායකය. ආර්ථික නිදහස අපට නොලැබී යන්නට තවත් හේතුවකි. මෙම තත්ත්වය.

බුද්ධිය ගලා යාම නතර කරන්නටද අපේ පාලකයන් වග බලා ගත යුතුය. උපරිම වශයෙන් වරප්‍රසාද ලබාදී එම බුද්ධිගලනය මෙහිම රඳවා ගැනීමට කටයුතු කළ යුතුය.

එසේ නොකළහොත් තව දුරටත් අසීරුතාවන්ට අපට මුහුණ දෙන්නට සිදුවේ.

ආර්ථික ප්‍රවර්ධනයට පැලැස්තර විසඳුම් නොව දිගු කාලීන හා ක්‍රමවත් සැලසුම් සකස් කිරීමට අපේ වගකිව යුත්තන් වග බලා ගත යුතුය. ඒ සඳහා පාලක පක්ෂයට ඇත්තේ සුවිශාල වගකීමකි.

මන්දගාමීත්වයට තුඩු දෙන ක්‍රමවේද බැහැර කොට ශීඝ්‍රගාමී ක්‍රමවේදවලට අප අවතීර්ණ විය යුතුය.

සාම්ප්‍රදායිකව නිදහස් උළෙලක් සමරා විසිර යාම නොවේ කළ යුත්තේ, එම විසිර යාමත් සමඟම අප සියලු දෙනා කෙරෙහි දැඩි අදිටනක් ඇති කර ගත යුතුය.

ඒ අදිටන කුමක්ද? දේශපාලන නිදහසට සමගාමීව ආර්ථික නිදහසක් උදා කර ගැනීමට අප සියලු දෙනාම සිතට ගතහොත් 2013 වසරේ 65 වන නිදහස් සමරු උළෙල පවත්වන මොහොතේදී අපට අතිශය සතුටට, ආනන්දයට, ආස්වාදයට පත්විය හැකි වුණහොත් ආර්ථික නිදහස සම්බන්ධයෙන් එක්තරා අන්දමකට සෑහීමකට පත්විය හැකිය.