වේගවත් මාර්ග සංවර්ධනය

වේගවත් මාර්ග සංවර්ධනය

ඕනෑම රටක සමාජීය හා ආර්ථික සංවර්ධනයට හොඳ මාර්ග පද්ධතියක් ඉතාම වැදගත් වේ. ගමත් නගරයත් යා කෙරෙන මුලිකම සාධකය වන්නේ මාර්ග පද්ධතියයි. සන්නිවේදන කටයුතු මෙන් ම වෙළෙඳ සම්බන්ධතා ඇති වන්නේ මාර්ග පද්ධතිය තුළිනි. පෙර රජ සමයේ ද රට පුරා හොඳ මාර්ග පද්ධති තිබූ බවට සමහර සාක්ෂි අදටත් ඉතිරිව ඇත.

ඈත අතීතයේ දී භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගංඟා ඇළ දොළ යොදා ගෙන ඇත. ජලය ආශ්‍රිත ප්‍රවාහන කටයුතුවලදී ලී පහුරු, උණ බම්බු පහුරු යොදාගෙන ඇත. නමුත් කඳුකර ප්‍රදේශවලදී ජලය මගින් ප්‍රවාහන කටයුතු සිදු කිරීම අපහසුය. ඊට හේතුව දිය ඇළි පිහිටා තිබීමයි. කඳුකරයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත්තේ තවලම් ක්‍රමයයි. ගවයන් හා බූරුවන් මෙම තවලම් සඳහා යොදාගෙන ඇත. අද වුවද සමහර දුෂ්කර ගම්මානවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා තවලම් භාවිතා කරති. ලන්දේසි හා ඉංග්‍රීසි යුගවලදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇළ මාර්ග සාදා ගත් බවට සාක්ෂි ඇත. කොළඹ ආශ්‍රිතව ඇති හැමිල්ටන් ඇළ එක් නිදසුනකි. දකුණු පළාතේ කුරුඳු හා දැව ප්‍රවාහනයට ගංඟා යොදාගෙන ඇත.

නටබුන්

අනුරාධපුර ලංකාවේ රාජධානිවල අග නගරය වී පැවැති සමයේ ප්‍රධාන මාර්ග 3 ක් පිළිබඳව සඳහන් වේ. උතුරේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට එක් ප්‍රධාන මාර්ගයක් තිබූ බැව් සඳහන් වේ. අනුරාධපුර ගල් පාලම ස්ථානයේ පිහිටි පැරණි ගල් පාලම එම මාර්ගයට අයත් වුවක් සේ සැලකේ.

අද ඇති ඒ-9 මාර්ගය මෙන් එකල මෙම මාර්ගය තිබෙන්නට ඇත. දන්ත කුමරු හා හේමමාලි කුමරිය දළදා වහන්සේ රැගෙන ඉන්දියාවේ සිට දඹකොළ පටුනට පැමිණ එතැන් සිට අනුරාධපුරයට පැමිණෙන්නේ මෙම මාර්ගය දිගේ බැව් සඳහන් වේ. නැඟෙනහිර ගෝකන්න (ත්‍රිකුණාමලය) සිට ප්‍රධාන මාර්ගයක් තිබූ බවද පොත්පත්වල සඳහන් වේ.

දැනට මිහින්තලේ මහකනදරාවේ ඇති ගල් පාලම එම මාර්ගයට අයත් පාලමක් යැයි සැලකේ. දකුණේ රුහුණු රට සිට අනුරාධපුරයට තවත් ප්‍රධාන මාර්ගයකි. රුහුණු රට සිට මහියංගනයට පැමිණ හෙනානිගල හරහා ඉන්පසු මහවැලි ගඟ දිගේ පොළොන්නරුව හරහා අනුරාධපුරයට මෙම මාර්ගය සැකසී ඇත.

අනුරාධපුර යුගයේ පැරැණි ගල් පාලම

දුටුගැමුණු රජතුමා රුහුණු රට සිට සිය හමුදාව සමඟ අනුරාධපුරයට පැමිණියේ මෙම මාර්ගය දිගේ විය හැකිය. තවද අනුරාධපුර අවටින් විනාශ වී ගිය කුඩා ප්‍රමාණයේ ගල් පාලම් රාශියක් නටබුන් අදද දැකිය හැකිය. ඒවා අනුරාධපුරයේ සිට අවට ප්‍රධාන නගරවලට තිබූ මාර්ගවල පාලම් විය හැකිය. පොළොන්නරුව යුගයේ මහා පරාක්‍රමබාහු රජ දවස ත්‍රිකුණාමලයේ සිට පොළොන්නරුවට නැව් මාර්ගයක් තිබූ බැව් සඳහන් වේ. ඒ කාලිංග ඇළ විය යුතුය.

කෝට්ටේ යුගයේදී කෝට්ටේ සිට කන්ද උඩරට මහනුවරට මාර්ගයක් තිබී ඇත. එය හන්වැල්ල, රුවන්වැල්ල, හෙට්ටිමුල්ල, ගනේතැන්න, බලන හරහා මහනුවර දක්වා තිබී ඇත. රජවරුන්, රජ පවුලේ අය, වෙළෙඳුන් හා වන්දනාකරුවන් මෙම මාර්ගය නිතරම භාවිතා කොට ඇත. බෙලිහුල්ඔය සිට රත්නපුරයට මාර්ගයක් තිබූ බව ද එම මාර්ගය ඔස්සේ බෙලිහුල්ඔය සිට රත්නපුරයට පැමිණීමට දින තුනක් පමණ ගත වු බවද මා කිය වු පොතක තිබුණා මට මතකය.

පෘතුගීසි සමයේදී කැලණි ගඟ හරහා මල්වානේ දී ඉදි කළ ලී පාලමක ඉතිරිව ඇති කොටස් අද ද දැකිය හැකිය. එම යුගයේ ප්‍රසිද්ධ මාර්ගයක් ඒ හරහා තිබෙන්නට ඇත. රජ සමයේ ඉදි කළ පරාක්‍රම සමුද්‍රය, කලා වැව, මහකනදරාව වැව වැනි විශාල වැව්වල වැව් බැමි මතින් දිවෙන මාර්ග දුටු විට එකල හොඳ තත්ත්වයේ පස්වලින් සෑදු මාර්ග තිබී ඇති බැව් සිතිය හැකිය.

අනුරාධපුර යුගයේදී ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය හා මිහින්තලය පුදබිම දක්වා දැකුම්කළු මාර්ග පද්ධතියක් තිබෙන්නට ඇත. මාර්ග බසවක්කුලමට, අභය වැව, තිසා වැව, නුවර වැව ආදී වැව්වල බැමි මතින් විහිදෙන්නට ඇතැයි මට සිතේ.

දුම්රිය මාර්ග පද්ධතිය

සිංහල රජ සමයෙන් පසු බ්‍රිතාන්‍ය පාලන සමයේදී මාර්ග පද්ධතිය පුළුල් විය. 1860 වර්ෂයේ තේ වගාව ආරම්භ වීමත් සමඟ පළමු දුම්රිය මාර්ගය කොළඹ සිට මහනුවරට ඉදි විය. 1871 වර්ෂයේදී කි.මී. 119ක් වූ දුම්රිය මාර්ග පද්ධතිය ක්‍රි.ව. 1890 වනවිට කි.මී. 309 දක්වා දික් විය.

ඉන්පසු 1929 වර්ෂය වන විට මුළු රට පුරා තිබූ දුම්රිය මාර්ගවල දිග කි.මී. 1530 ක් විය. ඒ සියල්ල ඉදි කළේ ඉංග්‍රීසින් විසිනි.

මෑත යුගයේ මාර්ග පද්ධතිවල විශාල පෙරළියක් ඇති වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වු පසුවය. එතුමා මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වීමට ප්‍රථම කි.මී.11,700 ක් වූ ජාතික මාර්ග පද්ධතියෙන් සංවර්ධනය කර තිබුණේ කි.මී.2000 කටත් අඩු ප්‍රමාණයකි. නමුත් තත්ත්වය අද වෙනස්ය.

සංවර්ධන කටයුතු

අද වන විට උතුරු නැඟෙනහිර ද ඇතුළුව ජාතික මාර්ග පද්ධතියෙන් 90% ක පමණ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත. විශාල මාර්ග ප්‍රමාණයක සංවර්ධන කටයුතු අවසන් කර ඇත. ප්‍රධාන මාර්ගවලින් වැඩි ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කර ඇත. සෑම ගමකම වාගේ කොන්ක්‍රීට් ඇතිරූ ග්‍රාමීය මාර්ග පද්ධති වැඩි දියුණු වෙමින් පවතී. ලංකාවේ කොතැනක ගිය ද මාර්ග සංවර්ධනය ශීඝ්‍රයෙන් සිදුවන බැව් ඕනෑම අයකුට දැකගත හැකිය. කොළඹ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය ඉවත්කිරීම සඳහා ගුවන් පාලම් ඉදි වෙමින් පවතී. දැනටමත් කිරිබත්ගොඩ, නුගේගොඩ, දෙහිවල, දෙමටගොඩ යන ස්ථානවල ගුවන් පාලම් ඉදිවී ඇති අතර, එම මාර්ගවල ගමන් කරන අයට ඒ නිසා ඇති වූ යහපත දැකගත හැකිය. කි.මී. 16,500 ක් වන පළාත් මාර්ග පද්ධතිය ද කඩිනමින් සංවර්ධනය වෙමින් පවතී. තවත් අවුරුදු දෙක තුනක් ඇතුළත මෙම මාර්ග පද්ධතිය ද සම්පූර්ණයෙන්ම සංවර්ධනය වනු ඇත.

අධිවේගී මාර්ග අපගේ මාර්ග පද්ධතියට අලුතින් එක්වූ ආඩම්බරයයි. එදා කොළඹ සිට ගාල්ලට යාමට පැය 3 කට අධික කාලයක් ගත වූව ද අද ගත වන්නේ පැයකට අඩු කාලයකි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ද ඉදි වෙමින් පවතී. අද වන විට කටුනායක සිට කොළඹට පැමිණීමට පැයකට අධික කාලයක් ගත වූව ද තව නොබෝ දිනකින් ගත වන්නේ විනාඩි දහයකට අඩු කාලයකි.

උතුරුමැද පළාතේ වෙසෙන අපි විශේෂයෙන් උතුරුමැද පළාත ගැන කතා කළ යුතුව ඇත. උතුරු මැද පළාතේ ප්‍රධාන නගරය වන අනුරාධපුරයට කොළඹ අග නගරයේ සිට පැමිණීමට ප්‍රධාන මාර්ග තුනක් ඇත.

කොළඹ, මීගමුව, පුත්තලම, නොච්චියාගම හරහා අනුරාධපුරයට එක් මාර්ගයකි. කැලණිය, නිට්ටඹුව, අඹේපුස්ස, කුරුණෑගල, දඹුල්ල හරහා තවත් මාර්ගයකි. කඳාන, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, වාරියපොළ, පාදෙණිය, අඹන්වෙල, තඹුත්තේගම හරහා තෙවන මාර්ගයයි.

ගමනාගමනය

මෙම මාර්ග සියල්ලම අද වන විට කාපට් ඇතිරූ මාර්ග ලෙස පරිවර්තනය වෙමින් පවතී. පුත්තලම අනුරාධපුර කි.මී.74 වන මාර්ගය දැන් ලහි ලහියේ සංවර්ධනය වෙමින් පවතී.

මීගමුව, පුත්තලම, සාලියවැව, කරුවලගස්වැව හා නොච්චියාගම වැනි ප්‍රදේශවල අයට ඉතා අඩු කාලයකදී ඓතිහාසික අනුරාධපුර නගරයට පැමිණිය හැක. පාදෙණිය – අනුරාධපුර මාර්ගය කි.මී. 84.5 කි. මෙම මාර්ගය ද දැන් කඩිනමින් සංවර්ධනය වෙමින් පවතී. මෙම මාර්ගය සංවර්ධනය වූ පසු ගිරිඋල්ල, පාදෙණිය, දළදාගම, යාපහුව, මීරිගම, අඹන්වෙල හා තඹුත්තේගම යන ප්‍රදේශවල අයට අනුරාධපුර දක්වා ගමනාගමනය ඉතා පහසු කරවයි.

දඹුල්ල – අනුරාධපුර මාර්ගය ද කඩිනමින් සංවර්ධනය වෙමින් පවතී. මෙම මාර්ගයේ දිග කි.මී. 66 කි. ඒ අනුව කුරුණෑගල, ඉබ්බාගමුව, ගලේවෙල, දඹුල්ල හා කැකිරාව යන ප්‍රදේශවල අයට ඉතා පහසුවෙන් අනුරාධපුරයට පැමිණිය හැකිය. ත්‍රිකුණාමලය – අනුරාධපුරය මාර්ගය ද, වව්නියාව - අනුරාධපුරය මාර්ගය ද කඩිනමින් සංවර්ධනය වෙමින් පවතී. වව්නියාව - අනුරාධපුර මාර්ගය යාපනය දක්වා සංවර්ධනය වේ. එසේ සංවර්ධනය වන්නේ අනුරාධපුරයට ළඟාවන ජාතික මාර්ග පද්ධතියයි. මාගේ ලිපියේ අරමුණ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයත් සමඟ සංවර්ධනය වන අනුරාධපුර මාර්ග පද්ධතියයි.

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නිසා සංවර්ධනය වන ජාතික මාර්ග පද්ධතියේ ඉදි කිරීම් කටයුතු වේගවත් කර ඇත. 2012 වර්ෂයේ ජනවාරි අග භාගය වන විට කොළඹ සිට පැය 3 1/2 ගමනකින් අනුරාධපුරයට ළඟාවීමට හැකිවනු ඇත. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට පින් සිදුවන්නටය.

අනුරාධපුර නගරය ඇතුළත සියලු මාර්ග අද වන විට මනා ලෙස සංවර්ධනය වෙමින් පවතී. දුටුගැමුණු මහ රජතුමාගේ කාලයේ සංවර්ධිතව තිබු අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය මට මැවී පෙනේ. ඊටත් වඩා හොඳින් අද මාර්ග පද්ධතිය නවීකරණය වෙමින් පවතින බැව් මට හැඟේ. අටමස්ථානය යා කෙරෙන වටරවුම් පාර ඊට එකතු වන අනුරාධපුර නගරයේ සියලු මාර්ග මනා ලෙස සකස් වෙමින් පවතී.

අතිදුෂ්කර ප්‍රදේශ

අනුරාධපුර තන්තිරිමලය හරහා සෙට්ටිකුලම මාර්ගය සංවර්ධනය වන තවත් මාර්ගයකි. මෙම මාර්ගයේ මුළු දිග කි.මී. 31 කි. සෙට්ටිකුලම පිහිටා ඇත්තේ මැදවච්චිය – මන්නාරම මාර්ගයේ ය. මන්නාරම ප්‍රදේශයේ ජීවත්වන අය හට මෙම මාර්ගය ඔස්සේ දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. තන්තිරිමලය වැනි අතිදුෂ්කර ප්‍රදේශ මෙම මාර්ගය නිසා කඩිනමින් සංවර්ධනය වනු ඇත.

දුටුගැමුණු මහ රජතුමාගේ පුත් සාලිය කුමරු ගොඩ නැඟුවා යැයි සැලකෙන තන්තිරිමලය පුදබිම පහසුවෙන් වැඳ පුදා ගැනීමට හැකිවනු ඇත. ඉදිරියේදී තන්තිරිමලය පුදබිම ආශ්‍රිත ප්‍රදේශය කඩිනමින් සංවර්ධනය වනු ඇත.

කිලෝමීටර් 11 ක දිගින් යුත් ඇලයාපත්තුව - උළුක්කුලම මාර්ගය සංවර්ධනය වන තවත් මාර්ගයකි. ගොඩ ගොවිතැනින් හා ගඩොල් කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන මෙහි වෙසෙන ජනයාගේ ආදායම් තත්ත්වය මෙම මාර්ගයේ සංවර්ධනයත් සමඟම ඉහළ යනු ඇත. සිංහාරගම - රනෝරාව - නිකවැව මාර්ගය ද කඩිනමින් සංවර්ධනය කෙරේ.

සිංහාරගම, මහදිවුල්වැව, බෝගස්වැව, පොකුන්නෑව, නැබටගස්දිගිලිය, දුනුමඩලෑව හා ඔයාමඩුව යන ප්‍රදේශවල ජීවත්වන දහස් සංඛ්‍යාත ගොවි පවුල්වලට මෙම මාර්ගය නිසා සෙත සැලසේ. හොඳ මාර්ග පද්ධතිය නිසා වෙළෙඳ වාහන ගම්වලට යනු ඇත.

උපන්දා සිට දිළිඳුකමින් මිරිකී සිටි දුප්පත් ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලැබී ඔවුනගේ ජන ජීවිතය ඉහළ යනු ඇත.

කොළඹ සිට තන්තිරිමලය පුදබිමට පැමිණෙන අයකුට වෙනදාට වඩා කිලෝමීටර් 30 ක දුරක් අඩුවෙන් මෙම මාර්ගයේ යා හැකිය. කොළඹ සිට දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට ඇති කෙටිම මාර්ගය ද මෙම මාර්ගයයි.

ඔයාමඩුව - පේමඩුව මාර්ගය ද කඩිනමින් සංවර්ධනය වන තවත් මාර්ගයකි. මෙම මාර්ගය මහවිලච්චිය සිට මන්නාරම හන්දිය දක්වා විහිදේ. මහවිලච්චිය ඉපැරණි ගොවි ගම්මානයකි. මෙම මාර්ගයේ සංවර්ධනයත් සමඟ මහවිලච්චිය ගොවි ගම්මානයට නව එළියක් වැටෙනු ඇත.

අද අනුරාධපුරයට පැමිණෙන ඕනෑම අයකුට මාර්ග පද්ධතියේ විශාල පෙරළියක් වනවා දැක ගත හැකිය.

දැයට කිරුළ ප්‍රදර්ශනය ආරම්භ වන පෙබරවාරි මුල සතිය වන විට සියලු මාර්ග ව්‍යාපෘතීන්වල ඉදිකිරීම් අවසන් වනු ඇත. ඉතා උසස් තත්ත්වයේ මාර්ගවලින් යුතු නව අනුරාධපුරයක් අපට දැකබලා ගත හැකිවනු ඇත.

දැයට කිරුළ මහා සංවර්ධන ප්‍රදර්ශනය 2012 අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර එය ලබාගත් උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මැතිතුමාට උතුරුමැද පළාත් ජනතාවගේ කෘතඥතාවය හිමිවිය යුතු බැව් ද මා සිහිපත් කරමි.