ආසියාවේ ආශ්චර්යය සිහිනයක් නොවන්නට නම්...

ආසියාවේ ආශ්චර්යය සිහිනයක් නොවන්නට නම්...

1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් ආරම්භ වූයේ සාමය සෞභාග්‍ය හා ජාතීන් අතර එකමුතුකම ඇති වීමේ පරිසරයක් සකස් වීමෙනි. ජාතියේ පියා ලෙස සැළකෙන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ වදනින් ප්‍රකාශ කළහොත් ‘කථා කිරීමේ නිදහස හා නැමදීමේ නිදහස අපගේ ජීවන මාර්ගයේ සමෝධානිත විශේෂ ලක්ෂණ වේ. මෙයින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. අප ලැබූ නිදහස උද්දීපනය කිරීම සඳහා අපි ඉතාමත් කැපවීමෙන්, ඉවසීමෙන් හා විශ්වාසවන්තව වැඩ කළ යුතු වේ. අපට මිල කළ නොහැකි නිදහසක් ලැබී ඇත. එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන අපි අපේ රට පෘතුවියේ ඉතාමත් වාසනාවන්ත ස්ථානයක් බවට පත් කළ යුත්තේ ය.’

මේ අදහස පෙරදැරි කරගෙන රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් මෙන්ම ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මැතිතුමන්ද විශාල වෙහෙසක් දරණ ලදී.

ශ්‍රී ලංකාව පාලන අධිකාරින් කිහිපයක් පසු කරමින්, විවිධ සිත් ඇද ගන්නා සුළු නම්වලින් හඳුන්වන ලදී.

ටොලමි - ටැප්රොබේන්, රෝමවරු - තම්බපන්නි, අරාබි වෙළෙඳුන් - සෙරන්ඩිබ්, පෘතුගීසින් - සෙයිලාවෝ, ලන්දේසීන් - සෙයිලෝන්, ඉංගී‍්‍රසින් - සිලෝන්, එහෙත් අප හට එය ශ්‍රී ලංකාවම විය.

1948 සිට බලයට පත් වූ විවිධ රාජ්‍යයන්, දේශපාලන , ආර්ථික , සමාජ හා සංස්කෘතික සංවර්ධනය සඳහා විවිධ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවූහ.

1956 අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයේ මූලික අරමුණ වූයේ දුප්පත්කම තුරන් කිරීමයි. ආර්ථික වශයෙන් රට නිදහස් කිරීමට හා ජීවන තත්ත්වය නඟා සිටුවා ලංකාව විශිෂ්ටත්වයට පත් කිරීමයි.

එතුමාගේ මැතිවරණ පොරොන්දු සම්පූර්ණ කිරීම සඳහා රජයේ භාෂාව සිංහල භාෂාව බවට පත් කරන ලද අතර ජනයාගේ සංස්කෘතික උරුමය නඟා සිටුවීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශයක් වෙනම පිහිටුවන ලදී.

1972 මැයි 22 ලංකාවේ ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ලංකාව “ශ්‍රී ලංකාව“ ලෙස නැවත නම් කරන ලදී. එදින අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ කථාවේදී අවධාරණය කළේ

‘අපි අපේ රට සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යානුරාගයෙන් හා විනය ගරුකව ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ඉදිරි පරම්පරාව සඳහා පී‍්‍රතිමත් හා සෞභාග්‍යමත් දේශයක් ලබා දිය යුතු බවත්ය’

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අපගේ ආනයන සීමාකරණය හා විදේශ විනිමය අඩුපාඩු සඳහා නිමාවන් කරන ලදී. එසේම අපගේ අපනයන ආදායම වැඩි දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස වෙළෙඳ, ප්‍රවාහනය, කෘෂිකර්මය, කර්මාන්ත සංචාරක ව්‍යාපාරය ආදිය රක්ෂා උත්පාදනය සඳහා නව මාවත් විවෘත කරන ලදී.

2010 දැයට කිරුළ ප්‍රදර්ශනයේ ආරක්ෂක අංශ නියෝජනය කළ දර්ශන

ආර්ථික සංවර්ධනයේදී රජයේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් මූලිකව අරඹන ලදී. මහවැලි ව්‍යාපාරය, උදාගම් ව්‍යාපාරය හා නගර සංවර්ධනය හා නිදහස් වෙළෙඳ කලාපය තිරසාර සංවර්ධනය සඳහා මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා අඩිතාලම දමන ලදී.

මෙවන් පසුබිමක් තුළ අපට තිබූ විශාලම අභියෝගය වූයේ ත්‍රස්තවාදය පරාජය කොට නියම නිදහස නැවත රට තුළ ස්ථාපිත කිරීමයි. මේ සඳහා උදාර නිර්භීත නොසැලෙන නායකත්වයක් අප රටට පහළ විය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ය. එතුමාගේ දූරදර්ශී නායකත්වය නිසා වසර 30 ක ත්‍රස්තවාදය 2009 මැයි 18 වන දින අවසන් කිරීමෙන් අපට නියම නිදහස උදා විය.

අද සමරන නිදහස සැබෑ නිදහස ලෙස සඳහන් කිරීම නිවැරැදි ය. වසර 30 ක ත්‍රස්තවාදය මධ්‍යයෙහි සැබෑ නිදහසේ සුවඳ ආග්‍රහණය කිරීමට සමස්ත ජාතිය පෙළඹී ඇත. ආලෝකමත් වු හදවත් හා දිරිමත් වූ මනසින් යුත් අපගේ ජාතිය ඉන්දියන් සාගරයේ ඉතා කුඩා දූපතක ප්‍රෞඪ ජාතියක් ලෙස නැවතත් සාක්ෂි දැරීමට හැකි වී ඇත්තේ අපගේ උදාර නායකත්වය නිසාවෙනි. අපගේ නියම වේලාව පැමිණ ඇත. ජාතිය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ට මෙම නිදහස් දිනයේ අපගේ ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුව ඇත. ජාතියේ සෞභාග්‍ය සඳහා අපගේ ආර්ථිකය ගොඩනැංවීමේ කාලය එළැඹ ඇත.

එහෙත් අප රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ ලෝකයේ ආර්ථික අර්බුදය සමඟ ගමන් කිරීමට අපගේ ආර්ථිකය ගොඩනැඟීමයි. මේ ආර්ථිකයන් බලන කළ සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය හැම අංශයක්ම වැදගත් තැනක් ගනියි. ආර්ථික සංවර්ධනයේදී ඉතාමත් කාර්යක්ෂමව භාවිතා කළ හැකි මෙවලමකි. සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය 2009 ජාතික නිදහස් දින උළෙලේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කථාවේදී සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා එතුමාගේ කැපවීම හා වැයවීම මොනවට ප්‍රදර්ශනය විය.

ඒ හේතුවෙන් 2010 වර්ෂය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංගී‍්‍රසි වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළේ ය. දැන් අප ඉදිරියේ ඇති ප්‍රශ්නය නම් මෙම අභියෝගය ජය ගැනීමට අප ජාතියක් ලෙස කොතරම් දුරට සූදානම් ද යන්නයි. යුද්ධය ජයගත්තා සේම අප ආර්ථිකයද ජයගත යුත්තේ ය. මේ ආර්ථිකයන් බැලූ කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආර්ථිකය ජය ගැනීමට ඉතාමත් ඥානාන්විත උපක්‍රම වේ.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා කෙටි කාලයකින් ළඟා විය හැකි ඉතාමත් සුදුසු මාර්ගය තෝරාගෙන ඇත. අප තෝරාගත් මාර්ග ඔස්සේ නිවැරැදිව කැපවීමෙන් ගමන් කිරීමෙන් රට සමෘද්ධිය කරා ළඟා කළහොත් ආසියාවේ ආශ්චර්ය අපට සිහිනයක් නොවනු ඇත.

‘අප සැමට සුභ අනාගතයක්’