ශ්‍රී ලාංකේය නිදහස අර්ථවත් කරන ජාතික හා ආගමික සහජීවනය

ශ්‍රී ලාංකේය නිදහස අර්ථවත් කරන ජාතික හා ආගමික සහජීවනය

ශ්‍රී ලංකාව සැබැවින්ම පාරාදීසයක් කළ හැකි සම්පත්වලින් ආඪ්‍ය වූ රටක් බව පැවැසීම අතිශයෝක්තියෙන් තොරය. ස්වභාවික සම්පත්, සෞම්‍ය දේශගුණය, සාරවත් පස, සුන්දර වෙරළ තීරය, මුතු, මැණික්, ඇත්දත්, ස්වභාවික වරායන් ආදිය නිසා ලංකාව අතීතයේ සිටම ලෝකයේ අන් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටි බව සත්‍ය කරුණකි.

පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන්ම පෙනී යන්නේ ලංකාව සශ්‍රීකත්වයෙන් අගතැන්පත් වූ රටක් බවයි. එසේම ලංකාව සතු දියුණු ශිෂ්ටාචාරයක් තිබූ අතර දියුණු වාරිමාර්ග පද්ධතියක් ද තිබිණ. නූතන ඉංජිනේරුවන් පවා පුදුම කරවන අන්දමේ ඉදි කිරීම් අතීත ශ්‍රී ලංකාවේ පැවතිණ. විවිධ ජාතීන්ගෙන් එල්ල වූ විවිධ ආක්‍රමණවලින් පැවසෙන්නේ ලංකාව අත්පත් කරගත යුතු සාරවක් දේශයක් බවයි. එම නිසාම ලංකාව අතීතයේ සිටම විවිධ ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත් වූයේ නිතැතිනි.

පළමුවෙන්ම ලංකාව ඉන්දීය ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසු විය. උදාහරණයක් ලෙස සේන, ගුත්තික ආක්‍රමණය දැක්විය හැකිය. ලංකාවේ දෙමළ ආක්‍රමණ ඇරඹෙන්නේ සේන, ගුත්තික ආක්‍රමණය මගිනි. මොවුන් දකුණු ඉන්දියාවේ සිට පැමිණි අශ්ව වෙළෙන්දන් වූ අතර සූරතිස්ස රජුගේ හමුදාවට බැඳී පසුව රාජ්‍ය පාලනය අත්පත් කර ගත් බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඔවුන්ගේ වසර විසි දෙකක රාජ්‍ය පාලන කාලය තුළ බෞද්ධයන්ගේ වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දමා බෞද්ධ සංස්කෘතියට හානි සිදුකළ බව ඉතිහාස ගත කරුණකි.

ආක්‍රමණ

මුර ගල

ලාංකේය ස්වෛරීභාවයට හානි සිදු කරමින් එල්ල වූ දෙවන ආක්‍රමණය ලෙස සැලකෙන්නේ එළාරගේ ආක්‍රමණයයි. දේවානම්පියතිස්ස රජුගේ බාලම සොයුරා වූ අසේල පරාජය කොට එළාර අනුරාධපුරයෙහි රජ වී පුරා වසර 44 ක් රජ කළ අතර දුටුගැමුණු රජු එළාර මරණයට පත්කොට ලංකාව එක්සේසත් කළ අවස්ථාව ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කළද, පශ්චාත් කාලීනව ආක්‍රමණිකයන්ට නතු වූ ලංකාව විවිධ උවදුරුවලට ලක්විය. පළමුවන සේන රජුගේ (ක්‍රි.ව. 810 – 820) කාලයේදී පාණ්ඩ්‍ය ද්‍රවිඩ ආක්‍රමණිකයෝ ලංකාව ආක්‍රමණය කළහ.

එයින්ද ලංකාවට එරෙහි ආක්‍රමණ නොනැවතුණු අතර ක්‍රි.ව. 1001 – 1005 කාලයේදී සිදු වූ සොළී ආක්‍රමණ නිසා ද ලාංකේය ඉතිහාසය තුළම විනාශකාරී සිදුවීම් සිදුවිය.

මෙහිදී රාජ රාජ නම් සොළී ආක්‍රමණිකයා ලංකාව සිය යටතට පත්කොට ගෙන පොළොන්නරුව “ජනනාථපුරම්” ලෙස නම් කොට හින්දු දේවාල රැසක් ඉදිකළේය. හින්දු ආගම බහුල ලෙස පැතිරවීමට ඔහු ක්‍රියා කළ අතර ඔහු නිසා මෙසේ ලංකාවේ හින්දු ආගම යම්තාක් දුරට ස්ථාපිත විය.

එපමණක් නොව 1215 දී පරාක්‍රම පාණ්ඩ්‍ය රජ කරන සමයෙහි කාලිංග ගෝත්‍රික මාඝ පොළොන්නරුව ආක්‍රමණය කළ අතර වසර විසි එකක් රජ කොට රට විනාශ කළ අතර සිංහල සංස්කෘතිය අවුල් වියවුල් වන්නට මාඝ ඉඩ හැරියේය.

මෙසේ ඉන්දීය ආක්‍රමණිකයන් මගින් ලංකාවේ වරින්වර හින්දු ආගම ස්ථාපිත වූ අතර, හින්දු ධර්මයේ බලපෑම කොතරම් වීද යත් පොළොන්නරු යුගයේ දී සඳකඩ පහනින් ගවයා ඉවත්වීමට පවා එය බලපෑවේය. විහාරස්ථානවල පසෙකින් දේවාල ඇරඹිණ.

ඉන්දීය බිසෝවරුන් නිසා එසේ දේවාල ඉදි වූ බව පැවසේ. ලංකාව තුළ හින්දු ධර්මය එසේ ප්‍රචලිත වූ අතර පශ්චාත් කාලීනව ස්ථාවරත්වයකට පත් වූ හින්දු දහම ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිරිණ.

මේ අතර වෙළෙඳාම් කටයුතු නිසා ලංකාවට පැමිණි මුස්ලිම් වෙළෙඳුන් මෙරට කාන්තාවන් හා විවාහ වී පදිංචි වීම නිසා මෙරට ඉස්ලාම් ධර්මය ද ස්ථාපිත විය. ශීඝ්‍රයෙන් ජනගහනය වැඩිවීමත් සමඟම ඉස්ලාම් දේවස්ථාන ද රට පුරා ඉදි විය. අද වන විට ඉස්ලාම් ධර්මය ශ්‍රී ලංකාව පුරාම පාහේ පැතිර ඇත. ආක්‍රමණයක් නොමැතිවම ආ ධර්මය ලෙස මෙය හැඳින්විය හැකිය.

1505 දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණය නිසා කතෝලික ධර්මය මෙරට නිල වශයෙන් ස්ථාපිත විය. නමුත් විවිධ විද්වතුන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානිය පැවති බවට කරුණු ගෙන හැරපෑවද සාමාන්‍යයෙන් පෘතුගීසින්ගේ ආක්‍රමණය සමඟම කතෝලික ධර්මය ස්ථාපිත වූ බව වඩාත් ප්‍රචලිත ඓතිහාසික මතයයි. පෘතුගීසින් තුවක්කුව සහ බයිබලය රැගෙන පැමිණි බව සමාජයේ ප්‍රචලිත වූයේ මේ නිසාය. එසේවී නමුත් පසු කාලීනව ඉන්දියාවෙන් පැමිණි ජුසේවාස් පියතුමාගේ දැඩි කැපවීම නිසා ශ්‍රී ලංකාව තුළ කතෝලික සභාව ස්ථාවරව පැවතිණි. වසූරිය ආදී වසංගත සමයන්හි ශ්‍රී ලාංකේය ජනතාවට ජුසේවාස් පියතුමා කළ සේවය අත්‍යුත්කෘෂ්ඨය. සිය ජීවිතය ගැන පවා නොතකා ශ්‍රී ලංකාව තුළ ජුසේවාස් පියතුමා කළ සේවයට ලංකාවේ කතෝලික ජනතාව එතුමාට ණය ගැතිය. ලන්දේසි ආක්‍රමණිකයන් ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය හඳුන්වා දුන් අතර කතෝලික සභාවට එල්ල කළේ දැඩි පීඩනයකි. ක්‍රි.ව. 1658 – 1798 දක්වා කාලය අතරතුරදී ඕලන්ද රෙපරමාදු වැනි සභා හඳුන්වා දුන් ලන්දේසීහු සිය ආගම වැළඳගත් ස්වදේශිකයන්ට හොඳින් සලකා ඇති නමුත් ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ වෙළෙඳාමයි. 1602 මැයි 31 වනදා නැව් තුනක් සමඟ පැමිණි ජොරිස් වෑන් ස්පිල් බර්ජන් අද්මිරාල්වරයා 1 වන විමලධර්මසූරිය රජු හමු වී වෙරළබඩ වෙළෙඳාම් කිරීමට අවසර පතා ඇති අතර එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ස්වදේශිකයන් සමඟ වෙළෙඳාම් කිරීමට අවසර ලැබීමෙන් ලන්දේසින්ට මෙරට බලය අල්ලා ගැනීමේ පදනම වැටිණි.

ඉංග්‍රීසීන්ගේ පැමිණීම

ලන්දේසීන්ගෙන් පසු ලංකාවට එල්ල වූ ප්‍රධානතම ආක්‍රමණය ඉංග්‍රීසි ආක්‍රමණයයි. ඉංග්‍රීසි ආක්‍රමණයට පෙර ආක්‍රමණයන්ට වඩා සූක්ෂම වූයේ යැයි නිගමනය කළ හැකිය. 1796 දී මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් පවරාගත් ඉංග්‍රීසීහු 1815.03.02 දින උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම ඉංග්‍රීසින්ගේ පාලනයට යටත්ව පැවති වසර 133 තුළ ශ්‍රී ලංකාව තුළ සමාජ සංස්කෘතිකමය හා ආගමික වශයෙන් විවිධ වෙනස්කම් ඇති විය. එංගලන්ත සභාව (දැන් ලංකා සභාව), මෙතෝදිස්ත සභාව, ගැලවීමේ හමුදාව, බැප්ටිස්ට් සංගමය වැනි ක්‍රිස්තියානි නිකායන් ලංකාව තුළ ස්ථාපිත වූයේ ඉංග්‍රීසි පාලන සමය තුළ දී ය. පෘතුග්‍රීසින් හා ලන්දේසීන් මෙන් නොව ඉංග්‍රීසීහු ආගමික නිදහස අගය කළහ. ඉංග්‍රීසි පාලන සමයෙහි කතෝලිකයන්ට ද නිදහසේ ආගමික කටයුතුවල නිරතවිය හැකිවිය. මේ සමයෙහිදී මිෂනාරි අධ්‍යාපනය වඩ වඩාත් ප්‍රචලිත කරවීමට ක්‍රිස්තියානි සහ කතෝලික සභාවලට හැකි විය.

එසේම ඉංග්‍රීසින් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි වූ ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් බිහි විය. ඔවුන් අතරින්ම මෙරට පුනර්ජීවන ව්‍යාපාරය ඇරඹිණි. මෙකල බිහි වූ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් සර්වාගමික සංකලනයක් යැයි හඳුන්වා දිය හැකිය. ක්‍රි.ව. 1908 දී රටටම පොදු වූ ඉල්ලීම් මාලාවක්, ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කළ ජේම්ස් පීරිස් මහතා ක්‍රිස්තු භක්තිකයෙකි. ජේම්ස් පීරිස් මහතා සකස් කළ සන්දේශය මගින් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ඉංග්‍රීසින්ට දැනුන අතර ඒ අනුව පැවැත්වූ ඡන්දයෙන් 1910 උගත් ලාංකිකයකු ලෙසට ව්‍යවස්ථා සභාවට පත්වූයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ය. පොදුවේ ලංකාව නිදහස් කර ගැනීමේ අරමුණින් ක්‍රියා කළ මොවුහු ආගමික හා ජාතික වශයෙන් නොබෙදී ක්‍රියා කිරීම වැදගත්ය.

තවද බෞද්ධ නායකයෝද විවිධ අවස්ථාවලදී ජාතික ව්‍යාපාරයට ශක්තිය දුන්හ. බ්‍රිතාන්‍ය රජය ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් සුරා සැල් බහුල ලෙස ඇරඹීමේ ප්‍රතිඵලයක් ලෙසට ස්වදේශික නායකත්වයෙන් බිහි වූයේ අමද්‍යප ව්‍යාපාරයයි. මෙහිදී එඩ්මන් හේවාවිතාරණ, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක, සී. ඒ. හේවාවිතාරණ, එෆ්. ආර්. සේනානායක, ආතර් වී දියෙස්, අමදෝරිස් මෙන්ඩිස්, පියදාස සිරිසේන, ඒබ්‍රහම් ද සිල්වා වැනි නායකයන්ගේ භූමිකාව වැදගත් වේ. මෙබඳු සංවිධාන තුළින් ශ්‍රී ලාංකික ජාතිකත්වය, දේශීයත්වය ඔප් නැංවිණ. මෙහිදී ආගම් ජාති භේද පසෙකලා එක අරමුණක් තුළට ඒකරාශීවීම අරමුණ වූ අතර එතුළින් අධිරාජ්‍යවාදයට වැටකඩොලු බැඳීමට හැකි විය.

නමුත් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අඳුරු වළාවන්ද නොතිබුණා නොවේ. 1915 දී ගම්පොළ බෞද්ධ පෙරහරක් සම්බන්ධව සිංහල හා මුස්ලිම් ගැටුමක් ඇති වූ අතර එය විවිධ ප්‍රදේශවලට ද පැතිර ගියේය. මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව කළ අරගලයක් සේ වරදවා වටහාගත් සුදු අධිරාජ්‍යවාදීහු සිංහල නායකයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.

1919 දී බිහි වූ ජාතික ව්‍යාපාරය තුළ මුල්කාලීනව ජාතික සංගමය තුළ ජාතික හා ආගමික සමගිය ඔපවත් වූ බව නොරහසකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පොන්නම්බලම් අරුණාචලම්, ජේම්ස් පීරිස් ආදීන් ක්‍රියා කළේ ජාති ආගම් බේද පසෙකලා පොදු අරමුණකය. ජාතික සමගිය එම ජාතික සංගමය මගින් පිළිගැනීමට ලක්වූවද පශ්චාත් කාලීනව විවිධ ගැටලු හා ගැටුම්වලටද මුහුණ පාන්නට සිදු විය. 1921 පැවැත්වූ මැතිවරණයෙන් සිංහල නියෝජිතයන් 13 කට දමිළ නියෝජිතයන් තිදෙනෙක් පමණක් පත්වීම අරභයා විරසකයක් ඇතිව එසේ ඉවත් වී පොන්නම්බලම් අරුණාචලම් මහතා ද්‍රවිඩ මහජන සභාව ඇතිකර ගත්තේය. මෙකල බොහෝ විට ඇති වූයේ ආගමික සමගියකටත් වඩා ජාතික හා ආගමික පුනරුදයකි.

1860 පමණ කාලයේදී බෞද්ධ හා හින්දු පුනරුදරයේ ආරම්භය සනිටුහන් විය. 1880 ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා පරම විඥානාර්ථ සංගමය පිහිටුවා බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට වෙහෙසී ක්‍රියා කළේය. සරසවි සඳරැස, ද බුඩිස්ට් වැනි පුවත්පත් තුළින් බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය.

එසේම ආරුමුග නාවලර් වැනි දේශපේ‍්‍රමී නායකයන්ද හින්දු ප්‍රබෝධය සඳහා ක්‍රියා කළේය. ක්‍රි.ව. 1897 දී යාපනය වන්නාර් පන්නෙහිදී පාසලක් ඇරඹීම තුළින් හින්දු අධ්‍යාපනය නැංවීමට කැපවී ක්‍රියා කළ ආකාරය කැපී පෙනෙයි.

මෙහිදී පොන්නම්බලම් රාමනාදන් මහතාද ජාතික සමගිය උදෙසා ක්‍රියා කළ නායකයකු ලෙස කැපී පෙනෙයි. 1915 දී මුස්ලිම් ජාතිවාදී කෝලහාල සමයෙහි නඩු විභාගයක් නොමැතිව සිරභාරයට ගත් සිංහල නායකයන් නිදහස් කර ගැනීමට එතුමා සටන් වැදුණේය. තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පරමේෂ්වර විද්‍යාලය සහ රාමනාදන් විද්‍යාලය යන විද්‍යාලයන් ඉදිකොට හින්දු අධ්‍යාපනය නංවාලීය.

ඉස්ලාමීය ජනතාව සමාජයෙන් මුළුගැන් වී සිටියදී මුස්ලිම් ප්‍රබෝධය ඇති කිරීමට සිද්දි ලෙබ්බේ තුමා (1832 – 1898) පුරෝගාමී මෙහෙවරක් කළේය. අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ඉගෙන ගැනීමේ වැදගත්කම ඉස්ලාමීය සමාජයට ඒත්තු ගැන්වූවේය. 1882 මරදාන සහීරා විද්‍යාලය ආරම්භ කිරීම, මහනුවර මුස්ලිම් බාලිකා විද්‍යාලය ආරම්භ කිරීම, මද්රසා නම් වූ මුස්ලිම් දහම් පාසල් ප්‍රතිසංවිධානය කිරීම, මුස්ලිම් නේෂන්, ඥානප්‍රදීපම් ආදී පුවත්පත් ඇරඹීම සිද්දි ලෙබ්බේ තුමාගෙන් ඉටු වූ කාර්යයන් ලෙසට දැක්විය හැකිය. මෙසේ රට තුළ ජාතික හා ආගමික සමගි සන්ධානයකටත් වඩා ඇති වූයේ ආගමික ප්‍රබෝධයක් බව පැවසීම වඩාත් සාධාරණය. එතුළින් රට තුළ නිදහස් චින්තනයට මඟ පෑදිණ. දේශීයත්වය වඩාත් ඉස්මතු වූ අතර මෙසේ එක්ව සිටීම අධිරාජ්‍යවාදය පිටුදැකීමට ප්‍රබල අවියක් විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලෙස නොව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නිදහස පතා සටන් වැදීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස මෙහිදී කැපී පෙනෙයි.

වාසනාවන්ත රටක්

සමාජය තුළ හුදකලාවී සිටිනවාට වඩා බහු ආගමික හා බහු වාර්ගික රටක් තුළ එකමුතුවීම අර්ථවත් ක්‍රියාදාමයකි. සිව්මහ ආගම්වලින් සුපෝෂිත ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මය වූ බුදු දහම තුළ පැවතුණු ආගමික සහනශීලීතාවය නිසාම අන්‍යාගම්වලටද රට තුළ ඉතාමත් පහසුවෙන් ස්ථාපිතවීමට ඉඩකඩ සැලසිණි. ආගම් අරභයා ඇති වූ කුරුස යුද්ධ වැනි යුද කෝලහාල ලංකාව තුළ සිදු නොවූයේ බුදුදහම තුළ තිබූ උපේක්ෂා සහගතභාවය නිසා යැයි නිසැකවම පැවසිය හැකිය.

බොහෝ විට ඇතැම් ආගම් අධිරාජ්‍යවාදය සමඟ පැමිණියද අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට වඩා ආගම් ක්‍රියා කළේ මානව සංහතියේ උන්නතිය උදෙසාය. එබැවින් අධිරාජ්‍යවාදය පිටුදැකීමට ක්‍රියා කළ ද, ආගම්වලට එරෙහි විරෝධී ව්‍යාපාර ඇති නොවිණි. ඇතැම්විට සුළු මත ගැටුම් ඇති වුවද ඒවා පහසුවෙන් විසඳාගත හැකිව තිබිණි. ආගමික නායකයෝ එකල ද සහජීවනයෙන් ක්‍රියා කිරීමට පෙළඹුණු අතර කිතුනු පුජකවරු බුදුදහම ඉගෙනීමට පෙළඹුණහ. සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගනිමින් ලංකාවට අනුගතවීමට ක්‍රියා කළ පූජකවරු භික්ෂුන් වහන්සේලා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් ලක්ෂණයකි. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා මෙහිදී කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එතුමා ඉන්දියාවේ සිට පැමිණ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සිංහල භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව ඉගෙනගෙන, ග්‍රන්ථකරණයෙහි යෙදී වේදකාව්‍ය, දේව වේද පුරාණය, අඥාන ඖෂධය වැනි අගනා ග්‍රන්ථ ක්‍රිස්තියානි සාහිත්‍යයට දායාද කර ඇත. බුදුගුණ අලංකාරයේ කාව්‍ය රීතිය අනුගමනය කරමින් වේද කාව්‍ය රචනා කර ඇති ආකාරය වේදකාව්‍ය හා බුදුගුණ අලංකාරය සැසඳීමේදී පෙනී යයි. පශ්චාත් කාලීනව කිතු දහම පිළිබඳව බෞද්ධ භික්ෂුන් වහන්සේලා උගත් අතර එය බෞද්ධ කිතුනු සංවාදයට වඩාත් පහසුවක් විය. බෞද්ධ කිතුනු සංවාදය ආගමික සහජීවනයෙහිලා වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කළා වූ අය අතර මෙතෝදිස්ත සභාවෙන් ආචාර්ය ලීන් ද සිල්වා දේවගැතිතුමා, කතෝලික සභාවෙන් ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මහාචාර්ය ගරු ඇලෝසියස් පීරිස් පියතුමා ආදීන් හැඳින්විය හැකිය.

ආගමික සබඳතා

ආචාර්ය ලීන් ද සිල්වා දේවගැතිතුමා මෙන්ම ඇලෝසියස් පීරිස් පියතුමා බුද්ධිමය වශයෙන් සංවාදයක් ඇති කළ අතර, මර්සලින් ජයකොඩි පියතුමා කලාව හා සාහිත්‍ය තුළින් ආගමික සබඳතා ගොඩනැංවීය. සංවාදය කොතරම් තදාත්මීය ලෙස බැඳුණේද කිවහොත් “ ඇස යන යන තැන වෙහෙරක් තැනීයන්” යන ප්‍රාර්ථනය කාව්‍යකින් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල විය.

ආගමික සහජීවනය යනු බෞද්ධ කිතුනු සංවාදය පමණක් නොවේ. එය ඉස්ලාම් හා හින්දු ආගම් අතරද පැවතිය යුතුය. විශේෂයෙන්ම බාහිර ලෝකයට විවෘත නොවුණු ඉස්ලාමීය සමාජය සමඟ සබඳතා ගොඩනැඟීම තරමක දුෂ්කර කාර්යයක් වී ඇත. එම දුෂ්කර කාර්ය ජය ගැනීමට නුතනයේ දවටගහ ඉස්ලාම් දේවස්ථානයේ ප්‍රධාන පුජක හසන් මවුලානා පුජකතුමා සහ ජාතික හා ආගමික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා ඉමහත් වෙහෙසක් දරමින් කැපවී සිටිති. ජාතික හා ආගමික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය ද, ජාතික හා ආගමික සමගිය සඳහා වන ළමා පදනම ද මෙරටෙහි ජාතීන් හා ආගම් අතර සහජීවනය තහවුරු කිරීමෙහිලා සද්භාවයෙන් කැපවී සිටින බව දැක්විය යුතුමය. දිවයින පුරා විවිධ ජාතීන් හා ආගම්වල පවතින සංස්කෘතිකාංගයන් එකම වේදිකාවකට ඒකරාශි කරමින් දිග හැරෙන “සාමයේ ගීතය” අන්තර් ආගමික සංස්කෘතික මංගල්‍යය මෙම පදනම්වලින් සංවිධානය කරනු ලබන්නේ මෙරටෙහි දිනූ සාමය වඩ වඩාත් තහවුරු කරනු පිණිසය. තවද “ගමටම නත්තල්” නත්තල් සංස්කෘතික උළෙල අන්‍ය ආගම්වල සහයෝගයෙන් සිදු කිරීමද වැදගත් ලක්ෂණයක් වන අතර, සිංහල අලුත් අවුරුදු සමයෙහිදී “පන්සලයි පල්ලියයි සිංහල හා හින්දු අලුත් අවුරුද්දයි” යන අපූර්වතම සිංහල අලුත් අවුරුදු උත්සවය සියලුම ජාතීන් හා ආගම් සම්බන්ධ කරමින් පවත්වනු ලැබේ. අන්තර් ආගමික සංවාදය ප්‍රායෝගිකව සිදු කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.