රජරට හෙළ රාජ උරුමය

රජරට හෙළ රාජ උරුමය

ක්‍රි. පූ. 367දී රජ පැමිණ පණ්ඩුකාභය යුගයේ සිට 5 වැනි මිහිඳු යුගය දක්වා වසර දහස් ගණනක් දේශයේ අගරජදහන වෙමින් හෙළ දැයේ කිරුළු පලන් රාජ භූමිය වූයේ අනුරාධපුරවරයයි. එහෙත් 1890 ආශි‍්‍රත කාල වකවානුව වන විට මේ බිම දමිළ පොල් අතු වෙළෙඳ සල් කීපයකට සීමා වූ දුෂ්කර බිම්කඩක් විය. මැලේරියා වසංගතයෙන් දැඩි වනගහනයෙන් දැඩි නියගයෙන්, දරිද්‍රතාවයෙන් රිදුම් කෑ අති දුෂ්කර නොදියුණු ප්‍රදේශයක් ලෙස පැවති නුවර කලාවියේ ජනතාව සියලු අතින්ම කොන්වී සිටියහ.

එහෙත් 1818 හා 1848 යුද සරණාගතයන් ලෙසින් නුවරින් මාතලෙන් මෙහි පැමිණි ජනතාව සහ එවකටත් කොටු ගම්මාන තුළ කොටුවී සිටි ජනතාවත් එක්ව ගොඩ නැඟූ නුමුහුන් හෙළ ජන සංස්කෘතියක් මෙහි පැවතියේය.

රජරටින් තුරන්වී ගිය වැවයි, දාගැබයි, ගමයි උරුමවූ හෙළ සංකේතය ප්‍රතිනිර්මාණය කළ මේ උදාර පරපුරේ ඇත්තෝ කිසිදු ඇගැයීමකට ලක් නොවූහ.

නුවර කලාව

නුවර කලාවියේ නම් අඹුඩාපොල්ල ගහගත්හේනේ කුඹුරේ පැලේ පිලේ උරුමය හැර ඔවුන්ට සමාජගතවීමේ මං පෙත් විවෘත නොවුණි. ඔවුන් වැහැරූ බස උපහාසයට ලක්විය. දඩමස් කුට්ටියකට මී පැණි බෝතලයකට හැර නිළමක්කාරයන්ගේ බල පරාක්‍රමය ලිහිල් වූයේ නැත. මේ සියලු පීඩනයන් හමුවේ ගමට එන මංකලවිවෙන් එහා පිහිටි ලෝකය ඔවුන්ට අහිමි විය.

කන්නේ හෝතලා පනවැල්ල පොතු ගෙනේ
බොන්නේ බොරදියයි මඩකඩිති ඉසිමිනේ
උන්නේ උනුපිලා බඩගෙඩි නෙරව ගෙනේ
දන්නේ නැද්ද වන්නියෙ අගනුන්ගෙ ගුනේ

2010 දැයට කිරුළ ප්‍රදර්ශනයේ ඉදිකර තිබූ ගම ගෙදර

මේ අපේ නුවර කලාවියේ ඇත්තන් උපහාසයට ලක්වූ එක් අවස්ථාවකි. එවන් වූ දුක්ඛ දෝමනස්සයන්වලින් බැටකමින් වුවද ඔවුන් මේ කොටු ගම්මානවලින් ඔපවත් කළ අපේකම හා හැදියාව හා මානව ගුණාංග එදා කිසිවකුගෙ ඇගැයීමට ලක් වී නැත. ඔවුන් අපේකම පවුල තුළින්ම ඇරඹූහ.

එදා සිට කොටුගම්මාන තුළ නිහඬ දිවිපෙවෙතක් ගත කළ මේ ගම් වැසියන් ගම තුළින් අපේකම හා එකමුතුකම ඔපමට්ටම් කළාක් මෙන්ම ග්‍රාමීය කලාවක්ද බිහි කළහ.

වී කොටන වංගෙඩියට, විටට හුනු ගන්නා කිල්ලෝටය පවා ඔවුන් මල්කමින් කැටයම් කළහ. පැදුර, වට්ටිය, මල්ල පවා පියුම් රටා, මුරටා වන්ගෙන් විසිතුරු කළහ. එමෙන්ම නුවරකලාවියට ආවේණික වූ ජනකවි, ජනකතා, ජනප්‍රවාද, ඇදහිලි, විශ්වාස ඔස්සේ ප්‍රාදේශීය වශයෙන් නුමුහුන් ජන සාහිත්‍යයක් රටට දායාද කළහ.

එරමිනියා, කරඹ, පලු, වීර, මොර ආදී පලතුරෙන් බර වූ කැලෑව ඔවුන්ට පෝෂණය ලබා දුන් අතර ඔවුන් වන පෙතටද කෘතවේදී වූහ.

කරඹ පලුවීර අඹ මොර දිවුල් කැලේ
ඉදෙන බතට දඩමසක් ලැබෙන කැලේ
වැටෙන අව්ව වැස්සට රැකවලකි කැලේ
සොදින ගම්බාර දෙවි රැක දෙන්න කැලේ

බෞද්ධ දර්ශනයෙන් උරුමව ගමේ පන්සලෙන් ප්‍රගුණ කළ කළගුණ සැලකීම මෙන්ම අවිහිංසාවාදී ගුණය ද රජරට ගැමියා තුළ නොඅඩුව පැවතිනි. මොවුන් සතුන් දඩයම් කළ ද අහර බුදින සතුන් ගැබ්බර සතුන් දිය බොන සතුන් දඩයම් නොකළ අතර දුකක් කරදරයකදී තරහකාරයාට පවා සෘජුවම පිහිටට එන්නෝ වූහ.

ඔවුන් කුඹුරෙන් හේනෙන්, වැවෙන්, පිලෙන්, පැලෙන්, කමතෙන් බිහි කළ ජන කවිය සුන්දර ජනවහරින් ඔප වැටුන අමිසු ජන සාහිත්‍යයකි. තනමත්තේ සිට දනිස්සට රෙදිකඩ ඇඳී කාන්තාවන් හා අමුඩාකාර ගොවිරාළලා අතින් බිහි වූ ජන කවිය නූතන කවිකාරයින් පවා මවිත කරවන කාව්‍ය ලක්‍ෂණයන්ගෙන් අනූනය. එදා කුරහන් අඹරන ගල කරකවමින් ගෙයි මුල්ලේ සිට නූගත් ගොඩේ ගෑනියක් කියූ මේ කවිය ඊට හොඳම උදාහරණයකි.

හඳපායාගන එනකොට ඉඳගත්තා
ඉරපායාගෙන එනකොට පිටි පිස්සා
ඇට කරලා පොතු කරලා අරගත්තා
ඒ කොරලා වත් මගෙ බඩ කොස් පොත්තා

කෘෂි කර්මාන්තය

කෘෂි කර්මාන්තයට පෝෂණයට මෙන්ම බර ඇදීමට ද ඉවහල් වූ ගව සම්පතට බත් දෙන අප්පා කිරිදෙන අම්මා කීමට තරම් කෘතවේදී වූ නුවරකලාවියේ ගමේ ඇත්තන්ට කෘතවේදීත්වය දක්වන්නට මුල් වූ පිරිස අල්පය.

එදා අනුරාධපුරයෙන් කොළඹට ගිය අයෙක් උපන්ගම අනුරාධපුරේ යැයි කීමට පවා මැලි වූයේ මේ “ගොඩේබයි” කතාව තුළින් විඳවීමට බැරි නිසාය. එහෙත් කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපනය තුළින් රොටී පොත්තයි, කූරියන්මාලුවයි රහ බැලූ අතලොස්සක් දිරිය දරුවන් වන්නි වන පෙතට එළියක් දුන්හ. ගල් ලෑලි මල්ල කරේ එල්ලාගන සැතපුම් හත අට පයින්ම ගාටා දහදුක් විඳි වන්නි කොලු කෙල්ලන් රැසක්ම අද අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, කොමසාරිස්වරු, ලේඛකයන්, කවියන්, නළු නිළියන්, කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්ය පදවි දරන්නේ කුරහන් පිට්ටුවේ වැව් මාලු හොද්දේ ආනුභාවයෙනි.

එක් එක් පාලන යුගවල මේ බයි වැට තරමක් දුරට කඩතොලු වුවද ගැමි සුවඳ හඳුනන කුරහන් රොටියක රස දන්නා සැබෑ ගැමියකු විධායක ජනාධිපති වූ පසු අරලියගහ මැදුරෙන් හැමූ කුරහන් සුවඳ රට පුරාම පැතිරයන්නට විය. අකුල් පීරමින්, මංතලව්වල රිංගමින් ගමට ඇදුන අඩිපාර ප්‍රසාරණය වී කොන්ක්‍රීට් හෝ කාපට් මාර්ග බිහි විය. මී තෙල්, පොල් තෙල් පහනින් එළිය ලද ගම ගෙදර විදුලි පහනින් එකාලෝක වෙද්දී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ක්‍ෂේත්‍රගත වූ නැන පහන් ඈත ගම්මානවල මැදි මහ විදුහල් තුළින් ද සිය දහස් ගණන් දැල්වෙමින් පවතී. පිළිසකර වූ වැව් පෙළින් ජල පෝෂිත වූ අලුතෙන් අස්වැද්දා කුඹුරු යායවල් පොහොර සහනාධාරයෙන් නව ජීවනයක් ලබා ඇත. හේනේ පලබරවී රුපියලකට වත් මිල නොවූ කැකිරි අස්වනු රුපියල් තිහට මිල වෙමින් දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවල ලන්සු තැබෙයි.

හේන් ගොවියා

තුට්ටුවකටවත් විකුණා ගත නොහී වැල් පුරා හැදුන පැනිකොමඩුවෙන් පොඩි උන් බෝල ගැසූ යුගය නිමාවී ඇත. අද පැණි කොමඩු කිලෝව රු. 60/=කට මිල වී ඇත. මේ ආශ්චර්යය අර්ථවත් කරමින් ගොවි ගෙදරට ටී. වී. කැසට් විදුලි උපකරණ පරිගණක මෙන්ම යාන වාහන පවා ඇදී එමින් පවතී.

හම්බන්තොට ගිරුවායේ හේන් ගොවියාත් අනුරාධපුර ඔයාමඩුවේ ගොවියාත් දැයට කරන මෙහෙවර මැනවින් හඳුනාගත් ජනාධිපතිතුමන් රටෙන් ගමට යන සංකල්ප කණපිට හරවා ගමෙන් රටට යන සංවර්ධන මාවතේ පෙරළියක් කළේය. සංවර්ධනය නගරයෙන් ගමට තල්ලු කිරීමට වලිකෑ යුගය නිමා කර ගමේ සංවර්ධනය නගරයටත් එතැනින් රටටත් විකාශනය වන නවමු ක්‍රියාවලියක් රටට දායාද කළේය. අද නුවරකලාවියේ කොටු ගම්මානවල සුවහසක් ජනතාව භුක්ති විඳින්නේ එම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභයන් ය. අද ගමේ ගොවියා ධාන්‍ය මලු කරගසාගන නගරයට යන්නේ නැත. නගරයේ වෙළෙන්දා ගොවියා සොයා ගමට ඇදෙන යුගය උදාවී ඇත.

ගමට ඇවුරුනු වැට කඩුලු බිඳ දමා ගමෙන් නැගුණ බුද්ධිමතුන් රටේ මෙහෙවරට දායක කරගනිමින් අද මහින්ද රාජපක්‍ෂ ජනපතිඳුන්ගේ කැබිනට් මණ්ඩලය හොබවන අමාත්‍යංශ කිහිපයකම ලේකම් තනතුරු සහකාර ලේකම් තනතුරු දරන්නේ මේ වන්නි වනපෙතේ උරුමක්කාර දූ පුතුන්ය.

සංවර්ධනය

රජුන්ගේ පාලන යුගයේ පවා නොතිබූ සුවිසල් මාර්ග පද්ධති, විදුලි ව්‍යාපෘති, නව ඉදි කිරීම් මෙන්ම සකල නගරාංගයන්ගෙන් පරිපූර්ණ වන අනුරාධපුරවරය ලෝක උරුමයන් ලෙසින් සිය යශෝරාවය දෙගුණ තෙගුණ කරවමින් විරාජමාන වන්නේය. එදා මහ වන පෙතින් වටව කොටු ගම්මානවල දිවි ගෙවූ අහිංසකයන්ගේ පරපුර අර්ථවත් සමාජ මෙහෙවරකට සෘජු දායකත්වය දෙමින් අනුරපුර අසිරියෙන් ඔදවැඩී නව දියුණූවේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටිති. පිදුරු වහලවල් වෙනුවට උළු මැදුරු බිහි වෙමින් ගමේ ආශ්චර්යය රටට විදහා පාන්නේය.

මේ මිනිසුන්ගේ අස්වනු මෙන්ම ශ්‍රමයට ද ඉහළ වටිනාකම් ලැබෙමින් පවතින අතර අපේ දරුවන්ගේ ක්‍රීඩා අධ්‍යාපන හා කලා කුසලතාවයන් ජාතික තලයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරය පවා නියෝජනය කරමින් සිටී. මේ ආශ්චර්යය රජරටට උරුම කළ ජනපතිඳුන් ගැන ගමේ අය කතා කරන්නේ දැඩි සෙනෙහසකිනි. තිස්වරක් පුරා මරබියෙන් අඹුදරුවන් රකිමින් රාත්‍රී කාලයේ මහ වනයේ අකුල්වල ලැග සිටි රජරට ත්‍රස්ත තර්ජිත ගම් වැසියන් සැබෑ නිදහස භුක්ති විඳිමින් නිදහස උදා කර දුන් ජනපතිදුන්ට ප්‍රනාම පුදකරති.

ක්‍රි. පූ. තුන්වැනි සියවසේ යටාලතිස්ස පරපුරෙන් ඇරඹුන පිහිටි රට හා දක්‍ෂිණ දේශයේ ලේ ඥාතිත්වය අර්ථවත් කළ දුටුගැමුණු යුගයෙන් අනතුරුව රෝහණය හා රජරට සහ සබැදියාව නෑ සුවඳින් අර්ථවත් කළ මේ රෝහණ පුත්‍රයා ගිරුවාපත්තුවට, මොනරාගලට, කතරගමට ලබා දුන් සංවර්ධනයේ දායාදයන් ඔයාමඩුව කේන්ද්‍ර කොටගෙන සමස්ත නුවර කලාවියටම නොමසුරුව දායාද කළේය. සිය දිවි පැවැත්මේ සියලු විජයග්‍රහණයන්ට ආශිර්වාද කළ විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් කෙරේ අචල ශ්‍රද්ධාවක් දක්වන ජනපතිඳුන් ඒ ඔස්සේම රජරට ඥාතීත්වයට නැවුම් අරුතක් එක් කළේය. සියවස් ගණනාවක් නොසලකා හරිමින් තිබූ ජාතික රාජ්‍යත්වයේ තිඹිරිගෙය වූ අනුරාධපුරය ඉලක්ක ගත සංවර්ධන අරමුණක් කරා මෙහෙයවමින් ත්‍රස්ත තර්ජිතව පැවති ඔයාමඩුව ග්‍රාමය එහි කේන්ද්‍රස්ථානය කර ගත්තේය.

ත්‍රස්ත තර්ජනයට පවුරක් වෙමින් විලච්චිය හා තන්තිරිමලේ මිනිස් ලෙයින් තෙමීයද්දී සිය ගම්බිම් අතහැර නොගොස් පිං බිමට රැකවල් කළ උදාර මිනිසුන් සොයා ඇදෙන දිගු පුළුල් මහා මාර්ග කෘතවේදීත්වයේ සංකේතයන් වැන්න. ඉදිවන නව නිවාස පැසෙන කෙත්වතු මෙන්ම කෙරෙන සංවර්ධන ව්‍යාපෘති දැයේ සටනට උර දුන් අපේ ඇත්තන්ට කෙරෙන උපහාර පූජාවෝය. මුල් යුගයේ මහින්ද රාජපක්‍ෂ උන්නැහැ යනුවෙන් ඇමතූ ගමේ ඇත්තෝ පසුව ජනාධිපතිතුමා කියා ඇමතූහ. අද නුවර කලාවියට ජනාධිපතිතුමන් ජනාධිපති උත්තමයා වී අවසන්ය. අපි මේ ලිපියට කරුණු රැස් කරද්දී ගමේ කාව්‍යකාරයකු හිටිවන කවියෙන් ජනපතිතුමන් හැදින්වූයේ මෙසේය.

ගමරට පිළිබඳව බැඳී දෑ අනුරාගේ
ජනපති තුමන් නැත්නම් පිහිට ද කාගේ
උපමාවක් මගේ සිතුවිල්ලට නෑගේ
ජනපති අයියනායක දෙවියන් වාගේ