දැයට කිරුළ වෙනුවෙන් රු. මිලියන 615ක්

දැයට කිරුළ වෙනුවෙන් රු. මිලියන 615ක්

‘දැ යට කිරුළ” ජාතික සංවර්ධන ප්‍රදර්ශනය හුදෙක්ම සැණකෙළියක්ම නොව ජාතික සංවර්ධන ප්‍රදර්ශනයක් ද වේ. එහි වඩාත්ම වැදගත් කාර්ය වනුයේ දැයට කිරුළ තුළින් ප්‍රදේශයේ ඇතිවන සංවර්ධන ප්‍රබෝධයයි.

“දැයට කිරුළ” සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එම ප්‍රදේශයේ සිදු කරනු ලබන සංවර්ධන කාර්ය භාරය ද අතිවිශාලය.

2012 “දැයට කිරුළ” වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 615ක් වටිනා ව්‍යාපෘති සමූහයක් ක්‍රියාවට නංවා ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සෘජු අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

ඒ අනුව වහලක් නොමැති නිවාස 50,000ක් හඳුනාගෙන එක නිවසක් වෙනුවෙන් උළු කැට දහස (1000) බැගින් ලබාදීමේ වැඩ සටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරමින් පවතී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන 702ක් සඳහා එක් ගමකට අත්‍යාවශ්‍ය ප්‍රජා පාදක ව්‍යාපෘති එක බැගින් ක්‍රියාත්මක කෙරේ. “ගම නැඟුම” වැඩ සටහන පුළුල් කරමින් මේ සඳහා එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් විසි ලක්‍ෂය බැගින් ලබාදී ඇත.

ග්‍රාමීය මාතෘ සායන මධ්‍යස්ථාන 173ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන අතර මින් ව්‍යාපෘති 150ක වැඩ දැනටමත් අවසන් කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රතිසංස්කරණය කළ යුතු සුළු වාරිමාර්ග ව්‍යාපෘති 117ක් සඳහා රු: මිලියන 145ක ප්‍රතිලාභ ලබාදී ඇති අතර 2011/12/31 වන විට වැව් 44ක වැඩ කටයුතු නිම කර අනෙක් ව්‍යාපෘතිවල ද වැඩ අවසන් වීමට ආසන්නව පවතී.

“ගම නැඟුම” වැඩ සටහන යටතේ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනට සමගාමීව හඳුනාගත් ප්‍රතිසංස්කරණය කළ යුතු ව්‍යාපෘති 119ක් සඳහා රුපියල් මිලියන 200ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත. මේ වන විට ව්‍යාපෘති 100ක වැඩ අවසන් කර තිබේ.

“දිවි නැඟුම” ජාතික වැඩ සටහන ද මීට සමගාමීව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ගෘහ ආශි‍්‍රත පොල් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පොල් පැල 137693ක් ජනතාව අතර බෙදාදී ඇත. ගෙවතු බීජ කට්ටල 168745ක් ගෙවතු අතර බෙදා දී ඇති අතර පලතුරු හා වෙනත් ස්ථිර පැල වර්ග 261320ක් මේ වන විට බෙදා දී ඇත.

පශු සම්පත් සංවර්ධනය සඳහා ගෘහ ආශි‍්‍රතව කිකිළි පැටවුන් 65,000ක් පවුල් 6446ක් අතර බෙදා දී ඇත. මීට අමතරව කිරි එළදෙනුන් 392ක්, එළුවන් 863ක් හා ඌරන් 42ක් ලබාදීමට අපේක්ෂිතය.

මීට අමතරව ධීවර ව්‍යාපෘතීන් 20870ක් හා පැල තවාන් 83ක් ද ක්‍රියාත්මකය. මී මැසි පාලනයට අවශ්‍ය පෙට්ටි 4440ක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

“දැයට කිරුළ” ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉටුවන සංවර්ධන කාර්ය භාරය තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩිනම් සංවර්ධනයක් සිදු කරනු ලබන බව අපගේ විශ්වාසයයි.

සටහන :

බන්ධුල ගුණසේකර සමඟ

ධම්මිකා වෙලේගොඩ