සැමට නිවහනක්

සැමට නිවහනක්

මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිට නූතන විශ්ව ගම්මාන සංස්කෘතිය දක්වා වූ දිගු ඉතිහාසය තුළ මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ‘නිවහන’ යන්නට ලැබී ඇති සුවිශේෂි වැදගත්කම නොනැසී පවතී. මිනිසා ප්‍රධාන කොට මෙලොව ජීවත් වන සියලු සතුනට දුකින් තොර සැපවත් දිවි පෙවෙතක් ගත කිරීම සඳහා නිවහන අත්‍යාවශ්‍ය වූ සාධකයෙකි. මිනිසා ඇතුළු සියලු සතුන් තමන්ට ඇතිවන විවිධ වූ උපද්‍රවයන් සඳහා ආරක්‍ෂාව නැමැති මූලික පරමාර්ථය ද පෙරදැරිව තමන්ට ම අනුරූප වූ ගෘහයක් තනා දිවි ගෙවීමට හුරු වී සිටිති.

දඩයම් යුගයේ මිනිසා ගල් ගුහා හා විශාල ගස් බෙන ආදී ස්වභාවික පරිසරය තුළින්ම නිර්මාණය වූ ස්ථානයන් තම නිවහන ලෙස තෝරා ගත් අතර වසර දශලක්‍ෂ ගණනක් පුරා මානවයාගේ දැනුම හා බුද්ධිය තුළ වූ විපර්යාසයන්වල ප්‍රතිඵලයක් ලෙස නවීන සමාජයේ මිනිසා තම නිර්මාණාත්මක හැකියාව තුළින් අපූර්වතම නිර්මාණයක් බිහි කිරීමට සමත් විය.

තම පවුලේ දිවි පැවැත්ම පිණිස මිනිසා විසින් ම නිර්මාණිත ‘නිවස’ හෙවත් ‘නිවාසය’ ද දවසින් දවස තම කුටුම්භයේ සාමාජිකයන්ගේ සැප පහසුව පරිදි නිර්මාණය කරනු ලැබීම ද මිනිසා සතු ඒ අපූර්වතම නිර්මාණාත්මක හැකියාවේ ප්‍රතිඵලයකි.

මෙරට ජනාවාස බිහිවීමේ ඉතිහාසය විජය කුමරුගේ ලංකාගමනය තෙක් ඈතට දිව යන්නෙකි. එහිදී විජය කුමරු විසින් එකල තම්මැන්නාව නැමති ප්‍රදේශයේ ප්‍රථම ජනපදය පිහිටුවමින් මෙරට ස්ථිර ජනාවාස පිහිටුවීම ආරම්භ කළ බව මහා වංශයේ සඳහන් වේ.

කෙසේ වුවද බුදුදහම සමඟ මෙරටට දායාද වූ ගෘහ නිර්මාණ ශිල්පයෙන් සුපෝෂිත වූ මෙරට ඉදිකිරීම් කර්මාන්තය සියවස් ගණනක් පුරා විවිධ වූ වර්ධනයන් මෙන්ම නවීන ලොව තාක්‍ෂණික දියුණුවත් සමඟ අනුගත වෙමින් ඉහළ තලයක පසුවෙයි.

යථා තත්ත්වයට

දැයට කිරුළට සමගාමීව ඉදි කෙරෙන නිවාස

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවට, ගත වූ දශක තුනක් පමණ පුරාවට පැවති කුරිරු යුද්ධයෙන් නැති වූ දෑ බොහෝ ය. ඒ අතර දැයට අහිමි වූ මිල කළ නොහැකි ජීවිත හා දේපළ ප්‍රමාණය අතිමහත් ය.

එවන් වූ ජාතියක්, දේශයක් යථා තත්ත්වයට පත් කිරීම ඉතා වෙහෙස කර කටයුත්තකි. යුද්ධය එදා අපට අහිමි කළ සියලු දේම නැතත්, ලබා ගත හැකි දේ ළඟා කර ගන්නට ජාතියට පුනර්ජීවය සලසන සංවර්ධන වැඩසටහන් රාශියක් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ ආශීර්වාදයෙන් වත්මන් රජය රට පුරා ක්‍රියාත්මක කර තිබේ.

මේ අතරින් “දැයට කිරුළ” ජාතික සංවර්ධන වැඩසටහන සුවිශේෂි ස්ථානයක් ගනී. 2012 වසර අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන මේ වැඩසටහන තුළින් මේ වන විටත් දැවැන්ත වූ සංවර්ධන සංග්‍රාමයක් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අතර රජරට ජනතාවගේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සිදුකරනු ලබන කාර්ය භාරය ද ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන් දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර කාර්යාලය මගින් මේ සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටුවේ.

අමාත්‍යාංශය මගින් නිවාස ඉදි කර ගැනීම සඳහා මුල්‍යාධාර මෙන්ම ණය ආධාර ද ලබා දෙමින් විශේෂ ව්‍යාපෘති රාශියක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය පැවැත්වෙන ඔයාමඩුව දක්වා අනුරාධපුර සිට යන මඟ දෙපස, රුපියල් මිලියන පනහක වියදමින් නිවාස 319 ක නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි නිවාසලාභීන් ලෙස අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත හා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරාගෙන තිබේ.

එමෙන්ම ඔයාමඩුව හා ඒ අවට, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් 51 ක් සඳහා තවත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 15 ක් ලබා දී ඇත.

මේ අතර මහින්ද චින්තන ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘ජන සෙවණ නිවාස දස ලක්‍ෂය’ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක ජන සෙවණ ‘විරු සම්මාන’ නිවාස ව්‍යාපෘති වැඩසටහන යටතේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මධ්‍යම පාන්තික පවුල් සඳහා තවත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

රුපියල් මිලියන දොළහක වියදමින් ඉදි වන මෙමගින් ප්‍රදේශයේ නිවාස ගැටලුවට මුහුණපා සිටි සැබෑ නිවාස අවශ්‍යතාවක් ඇති පවුල් 40 ක් වෙනුවෙන් ස්ථිරසාර නිවාස ඉදි කරදීම මෙමගින් සිදු කෙරේ.

නිවාස ඉදි කිරීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවසක් සඳහා ලබා දෙන රුපියල් ලක්‍ෂ තුනක ණය මුදලට අමතරව ප්‍රතිලාභි පවුල් විසින් තම මුල්‍ය හා ශ්‍රම දායකත්වය ද නිවාස ඉදිකිරීම වෙනුවෙන් දායක කිරීම මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි විශේෂත්වයකි.

තිස් වසරක යුද්ධය හේතුවෙන් මෙරට සෑම පුරවැසියෙක් ම අඩු වැඩි වශයෙන් විවිධ වූ පීඩාවන්ට ලක්වූ බව නොරහසකි. යුද්ධය පැවති ප්‍රදේශ අතරින් පදවිය, කැබිතිගොල්ලෑව හා වාහල්කඩ ආදී ප්‍රදේශවල ජනතාව විඳි දුක් කන්දරාව අතිමහත් ය.

ඔවුන්ගේ ඒ සියලු කැපකිරීම්වලට මිලක් නියම කළ නොහැකි වුවද ඔවුනට කිසියම් වූ අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණින් නිවාස අමාත්‍යාංශය පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌරෑව, ඕමාරකඩ, කම්බිලියාව, වෙහෙරවැව මෙන්ම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වාහල්කඩ ඩී හත හා ඩී අට ගම්මානවල ජනතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන නව නිවාස 165 ක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. “ජන සෙවණ ප්‍රණාම” නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන දෙසිය පනහක් වැය කරන අතර මෙය සහනාධාර පදනම මත ක්‍රියාත්මක වන්නකි. එමඟින් ද තමන්ටම කියා ස්ථිර නිවසක් නොමැතිව පැල්පත් තුළ ඉතාමත් දුෂ්කර දිවි පෙවෙතක් ගත කළ පවුල් රාශියකට සෙත සැළසෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මේ වසර තුළ ක්‍රියාත්මක වන දැයට කිරුළ විශේෂ විසිරි ණය යෝජනා ක්‍රමය මගින් නිවාස 125 ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන විස්සක් වැය කෙරේ.

මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මහජන බැංකුව සමඟ ඒකාබද්ධව 2012 දැයට කිරුළ උපහාර ණය යෝජනා ක්‍රමය මගින් රාජ්‍ය සේවකයන් සඳහා නිවාස 400 ක් ඉදි කිරීමට රුපියල් මිලියන සියයක් වෙන්කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු වුවද ස්ථිර නිවසක් නොමැති අයට ලිහිල් ඇප කොන්දේසි මත මෙම උපහාර ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මේ අනුව දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති කීපයක් හරහා 2012 වසරේ නව නිවාස එක්දහස් එකසියයක් (1100) ඉදි කෙරෙන අතර රජය ඒ සඳහා රුපියල් මිලියන දෙසිය විසි දෙකක් (222) වැය කරයි.

නිවාස ව්‍යාපෘති

මීට අමතරව දිස්ත්‍රික්කය පුරා 2011 සිට ක්‍රියාත්මක අනෙකුත් නිවාස ව්‍යාපෘති මගින් නිවාස 715 ක් ඉදිකෙරේ. ඒ සඳහා වැය වන මුදල මිලියන 148 කි. මෙම වැඩසටහන් අතර ජන සෙවණ උපහාර ණය, ජන සෙවණ විසිරි ණය, ජන සෙවණ ශ්‍රම සවිය හා ජන සෙවණ, සසුනෙන් සෙවණ ව්‍යාපෘති මේ අතර වේ.

ලංකාවේ සෑම පවුලකටම නිවසක් හිමි කර දීමේ රජයේ වැඩසටහන සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙමින් තිබේ. මේ එතුමන් ඒ පිළිබඳ අදහස් දක්වා ඇති අයුරුයි. “සියලු රජයන් විසින් නිවාස ඉදි කිරීම සඳහා පසුගිය කාලය පුරාම ගෙන ගිය වැඩසටහන් යටතේ නිවාස අංශයෙන් අපේ රට විශාල ප්‍රගතියක් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ සෑම පවුලක්ම නිවසක් හිමි පවුලක් විය යුතුය” යන්න මගේ ප්‍රතිපත්තියයි. එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වැඩසටහන් රාශියක් පසුගිය වසර හතර තුළ ක්‍රියාවට නංවා ඇත්තෙමි. යුද්ධය නිමාවීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන පිබිදීම මත එම වැඩසටහන් කඩිනම් කිරීමට දැන් අවස්ථාව උදාවී තිබේ. නිවාස අහිමි සැමට ඉදිරි වසර හය තුළ තමන්ගේම නිවසක හිමිකාරිත්වය ලබාදීම සඳහා රජයේ පූර්ණ මැදිහත් වීමෙන් අලුතින් නිවාස ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අවශ්‍ය සැළසුම් දැනටමත් නිම කර ඇත.

සවිබල ගැන්වීම

“සංවර්ධනයේ කේන්ද්‍රය පවුලයි, පවුල යනු සමාජයේ ප්‍රාථමික සංවිධානය යි. සමාජය ගොඩනැංවීමම සංවර්ධනය කිරීම යනු එහි ප්‍රාථමික සංවිධානය වූ පවුල සවිබල ගැන්වීම යි. විධිමත් ජනාවාසයක පවතින නිවස යනු, පවුලේ සංවිධානයේ යහ පැවැත්මේ මූලිකම සාධකය යි. ජන සෙවණ නිවාස දශ ලක්‍ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම එකී සංවර්ධනය අරමුණු කොටගෙන සිදුවන්නකි. සැමට නිවසක් හිමි සමාජයක් යනු යහපත් සංවර්ධිත සමාජයකි.” මෙවන් වූ පුළුල් පරමාර්ථයන් රාශියක් අරමුණු කොට ගෙන නිවාස අමාත්‍යාංශය කටයුතු කිරීම නව වසර තුළ සමස්ත රටේම නිවාස අවශ්‍යතාව සපිරෙන බවට සුබ පෙර නිමිත්තකි.

විශේෂ ස්තුතිය - තොරතුරු ලබා ගැනීමේදී සහාය වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතාට.