දැවැන්ත සංවර්ධනයක පෙරගමන්කරු

දැවැන්ත සංවර්ධනයක පෙරගමන්කරු

අ නුරාධපුර දිස්ත්‍රික්කයේ අති දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීම උදෙසා දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමිව රජය රුපියල් මිලියන විසි එක් දහසක් වැය කිරිම ඇත්ත වශයෙන්ම විශ්මිත සිද්ධියකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිවි ගෙවන අට ලක්‍ෂය ඉක්ම වූ ජනතාවගේ ජීවන හා ආර්ථික සංවර්ධන උදෙසා ‘දැයට කිරුළ’ තුළින් අත ගසා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. ජනාධිපති ලේකම්තුමාය. අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍ය ලේකම්තුමාය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාය.

අමාත්‍යවරු පනස් හත් දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරු පනස් හත් දෙනෙකි. එයිනුදු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමා අනුරාධපුර දැයට කිරුළ ජාතික සංවර්ධනයට උර දී සිටී. දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටු සභාපති විදුලි සංදේශ හා තාක්‍ෂණික අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා දවස ගත කරනු ලබන්නේ අනුරාධපුර සංවර්ධන ව්‍යාපෘති අතරය.

දහසකුත් එකක් භාර දූර රාජකාරිවලට කොටු වී සිටින ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාගේ පුත් නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නිරන්තරයෙන් ම අනුරාධපුර සංවර්ධන කටයුතු අධීක්‍ෂණය කරමින් සිටී.

කොටින්ම කියතොත් මුළු මහත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය දේශපාලන අධිකාරියෙන් ලොකු කුඩා සියලු රාජ්‍ය නිලධාරිනුන් කැප වී සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා සංවර්ධන ක්‍රියාදාමය සාර්ථක කැර ගැනීම උදෙසාය. ඇත්තෙන්ම මෙය විශ්මිත සිද්ධියක් නොවේද?...

මෙලොව ජීවත් වූ ‘ප්ලේටෝ’ නැමැති මහා දාර්ශනිකයා පවසා ඇත්තේ පාලකයා දාර්ශනිකයකු විය යුතුය. දාර්ශනිකයා පාලකයකු විය යුතු බවය.

ශ්‍රී ලංකාව පාලනය කළ “අපේ” රජවරු ජනතාවගේ “සතුට” වෙනුවෙන් රට සශ්‍රීක කළහ. අපේ පාලනය නැති වී ගොස් විදේශීය පාලකයන් රැසක් බලයට පත්වීමෙන් පසු වසර දහස් ගණනක සෞභාග්‍යය අකා මකා දැමීම උදෙසා රටේ ආර්ථිකය ගොඩනැඟූ ජනතාවගේ හදවත් බඳු වූ මහා වැව් අමුණු වාපි කර්මාන්ත විනාශ කර දැමීය. ඒ සමඟම වැවයි - දාගැබයි ජීවන රටාව තුළ බෞද්ධ සංස්කෘතියෙන් ඔප් නැගී දීප්තිමත් වූ සංස්කෘතිය විනාශ කැර දැමීය.

ලොව කිසිදු ජාතියකට අත නොපා මනා පෞඪත්වයකින් අභීතව මහා අභිමානයකින් යුතුව අදීනව ජීවත් වූ ශ්‍රී ලාංකිකයා දීනයකු බවට පත් කළහ. මිනිසාට ජීවත්වීමට අවශ්‍ය සියලු සම්පත්වලින් ආඪ්‍යව තිබූ ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව හිඟන රටක් බවට පත් කළේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රේෂ්ඨ ජීවන වෘත්තිය වූ කෘෂිකර්මාන්තයත් දේශීය කර්මාන්තත් සංස්කෘතියත් අකා මකා දැමීය.

දැයට කිරුළ යනු ජනතාව ප්‍රයෝගයෙන් මුලා කිරීම උදෙසා පවත්වනු ලබන තවත් සර්ව පිත්තල සංදර්ශයක් නොවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන දෙදහස් හත්සිය දහසයේ දිවි ගෙවන හැම මිනිසකුටම දැනෙන මහා සංවර්ධන වැඩ සටහනකි.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ රටට සශ්‍රීකත්වය උදා වූයේ දේශපාලන ස්ථාවරත්වය විධිමත් රාජ්‍ය පරිපාලනය හා දේශීය සම්පත් සංවර්ධනය උදෙසා යෙදවීමෙනි. ඒ තුළ රටේ පවුල් සංස්ථාව අදීන විය. දැහැමි විය. ආගම ධර්මයට ගරු කරමින් සදාචාරය සභ්‍යත්වය සුරක්ෂිත කරමින් ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කීය.

මහින්ද චින්තනය නැමැති ශ්‍රේෂ්ඨ දර්ශනය තුළ විධිමත් රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කැර ඇත. පවුල් ඒකකය තුළින් නැති බැරිකම පලවා හැරීමේ තිර අදිටනින් කටයුතු කරයි. ශ්‍රේෂ්ඨ ආගමික සංස්කෘතිය තුළ දැහැමි ස්ථාවර අදීන ස්වයංපෝෂිත පැරණි ශ්‍රී විභූතියෙන් යුතු රටක් නිර්මාණය කරමින් සිටී.

හෙක්ටයාර් හත් ලක්‍ෂ හත් දහස් නවසියයක් විශාල අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම උදෙසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රුපියල් මිලියන විසි එක් දහසක් වැය කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිවි ගෙවන අට ලක්‍ෂය ඉක්ම වූ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම උදෙසාය. මෙහි ඉපදෙන අනාගත පරපුට සෞභාග්‍යමත් දිස්ත්‍රික්කයක් දායාද කිරීම උදෙසාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික සශ්‍රීකත්වය උදෙසා ආවේනික කෘෂිකර්මාන්තයෙන් ජන ජීවිතය නඟා සිටුවීම අරභයා රජරටින් ඇරඹි ‘වාපි’ කර්මාන්තය හා ‘වාපි’ සංස්කෘතිය යළි ස්ථාපිත කිරීම වැව් අමුණු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් දැයට කිරුළ අරඹා තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව නීරෝගී පරපුරක් බවට පත් කිරීම උදෙසා දේශීය හා බටහිර වෛද්‍ය සේවාව පුළුල් කිරීමේ අති දැවැන්ත සෞඛ්‍ය සංවර්ධනයක් මුළුමහත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළම ක්‍රියාත්මක වෙමින් පවතී. නවීන ලෝකය හා ඒකාබද්ධ වී රජරට පැල්පතේ ඉපදී හේනේ කුඹුරේ හැදෙන වැඩෙන දරුවා පාසල තුළින් නව තාක්‍ෂණික ලොවට කැඳවා ගෙන යෑම සඳහා මහා අධ්‍යාපනික විප්ලවයක් දැයට කිරුළ තුළින් අක් මුල් නෑර සිදු වෙමින් පවතී.

මානව සම්පත් සංවර්ධනය උදෙසා විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන වෘත්තිය අධ්‍යාපන ආයතන, කාර්මික විද්‍යාල ආදිය තුළින් රටේ නිෂ්පාදනයට සෘජුවම දායක විය හැකි උගත් නව පරපුරක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතිය ද මෙතුළින් අරඹා ඇත. ආගමික පුනර්ජීවනය සංස්කෘතිය සභ්‍යත්වය තුළින් සෞන්දර්යාත්මක පරපුරක් බිහි කිරීම උදෙසා කලා කෞශල්‍යය ජනතාව තුළ ඔප් නැංවීම උදෙසා මනා මුදල් කන්දරාවක් දැයට කිරුළ තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වපුරමින් සිටී.

අනුරාධපුර දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව රුපියල් මිලියන විසි එක් දහසක් වැය කරනු ලබන්නේ ප්‍රදේශයේ දේශපාලඥයන්ට රාජ්‍ය නිලධාරින්ට හෝ බලපුළුවන්කාරයන්ට අවශ්‍ය ආකාරයට නොව මෙම මහා මුදල් සම්භාරයෙන් ‘සෘජු ප්‍රතිඵල’ ලබන ගමේ ගැමි ජනතාවගේ අදහස් උදහස් හා යෝජනා අනුවය.