අනුරපුර වාරි කර්මාන්තයේ ප්‍රබෝධය

අනුරපුර වාරි කර්මාන්තයේ ප්‍රබෝධය

ලාංකේය අභිමානවත් වංශකතාවේ එදා මෙදා තුර රජරට අනන්‍යතාව තහවුරු කළ දෘඪ සළකුණ වාපී සංස්කෘතියයි. නුවර කලාවිය ගොවි පරපුරේ සේම සියලු මිනිසුන්ගේ ආත්මීය බන්ධනය හා සමාන වූ නිල් දියවර දරා සිටින මේ වැව් සමූහයා සමෘද්ධිමත් දේශයක අභිමානය ලොවට කියාපාන විශ්මිත නිපැයුමකි.

ආදී මුතුන් මිත්තන් මේ මහ පොළොව බිජුවට වපුරා සරුබර කොට ධාන්‍යාගාරය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදි කළ අහස උසට බැමි සහිත මහමුහුදු පරයන වැව් පද්ධති අපේ සැබෑ උරුමය යි. අපේ ඓතිහාසික වෘත්තාන්තය තුළ සේම අපේ දෑස් මානයේ අදත් දිස් වන මේ දිය කඳ එදාටත් වඩා මෙදා ගොවි දෑතට සෙත සදාලයි. බැලූ බැලු තැන්හි දිස්වන කුඹුරු යායන් යල, මහ දෙකන්නය අස්වද්දා ඉන් අටු කොටු පිරෙන්නේ වැව් දියවරට පින් සිදුවන්නට ය.

එදාටත් වඩා අද අපේ ගොවියෝ ගොවිතැනට බද්ධ වීමත් සමඟ වැව් ඇළ අමුණු කොපමණ තිබුණත් නිරපරාදයක් නොවන තරමට ඒවා ජාතියේ ජීවනාලිය රකින මහඟු දායාදයන් බවට පත්ව ඇත. ගොවිතැනත් ජලයත් අතර පවතින සබැඳියාව ශක්තිමත් කර ගොවි බිම තෙමාලීමට අහස් ජලය තව තවත් රැස් කරමින් රජරට වාරි සංස්කෘතිය තුළ ඇති කළ වත්මන් පුනරුදයේ කිරුළ දරන්නේ 2012 දැයට කිරුළ යි. රජරට වැව් පද්ධතිය පුළුල් කිරීම සහ ගොවි ජනතාවට ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මං සැලසීමේ අරමුණින් දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඒ අනුව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම පුළුල් කාර්යයට උර දීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරන ලදී.

වාරිමාර්ග

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ කාර්යාලය සහ මහවැලි අධිකාරියත් ඒ වගේම වනජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතියේ නවමු පුනරුදයක් එක් කිරීමට විවිධ ව්‍යාපෘති හා විවිධ දිශානති ඔස්සේ වැඩ අරඹන ලද්දේ තවත් පරම්පරා ගණනාවකට වැවෙන් ඉටු වන සේවාව වඩ වඩාත් පුළුල් කරමිනි.

දැයට කිරුළ වැඩසටහනට සමගාමීව වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාස විසි දෙකක් ආවරණය වන පරිදි අලුතින් වැව් ඉදි කිරීම, වැව් අලුත්වැඩියා කිරීම, ඇළ මාර්ග ඉදි කිරීම සහ අලුත්වැඩියාව, අමුණු පද්ධති විධිමත්ව සැකසීම, වැව් සහ පෝෂිත ඇළ ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය සහ ගොවි බිම් මාර්ග ප්‍රතිසංස්කරණය යනාදි අංශ රැසක් මෙම ව්‍යාපෘති දාමයට ඇතුළත් කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක් ගමක් පාසාම වැවක් පවතින මුත් ඇතැම් වැව් වසර ගණනාවකින් අලුත්වැඩියා කර නොමැත. එමෙන්ම තවත් සමහර වැව්වලට වැසි ජලය එක් රැස් වන නිරවුල් මාර්ග නැත. තවත් වැව් බොහොමයක් ගොඩ වී ඇති අතර, එම වැව් යටතේ වගා කෙරෙන සරුසාර කෙත්වතු පුරන් වීමට ඉඩ හැර ඇත. තිසා වැව, කලා වැව යන ඓතිහාසික වැව් සේම කුඩා වැවකින් ද ගොවියන්ට වැඩක් ගත හැකි මුත් වැව් ප්‍රතිසංස්කරණය අඩාල වීම නිසා ඊට බාධා පැමිණෙති.

රජරට ග්‍රාමීය පුරාණ වැව් බොහොමයක් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ජලජ ශාක ව්‍යාප්ත වීමයි. බෙරු, සැල්වීනියා, ජපන් ජබර වසා ජලජ ශාක කුඩා වැව් බොහොමයක් වසා ගැනීම නිසා ගොඩ වීමේ තර්ජනයට ද ලක්ව ඇත.

මේ ප්‍රමුඛතම ගැටලු පිළිබඳව මනාව අධ්‍යයනය කර දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් මෙම වැව් සියල්ල ප්‍රමිතිගත කිරීමට වැඩ අරඹන ලදී.

අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ කාර්යාලයට පමණක් දැයට කිරුළ ව්‍යාපෘතියට සමගාමීව ව්‍යාපෘති හතළිස් තුනක් භාරව කටයුතු කෙරුණු අතර මෙම ව්‍යාපෘති හතළිස් තුනට අනුරාධපුර දිසාවේ නිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය සියලුම වැව් අමුණු ඇතුළත් කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන ඝන මහ වැව් එකසිය අටක් පවතින අතර කුඩා වැව් තුන් දහසකට වැඩි ප්‍රමාණයක් පවතී. මෙම සෑම වැවක්ම ගොඩබිම්වලට ජලය සැපයීමේ අරමුණින් ඉදි කළ ඒවායි. දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් හඳුනා ගත් වැව් ප්‍රතිසංස්කරණයේ දී අවැසි ප්‍රමුඛතා වෙනුවෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් මිලියන තිස්හතක් ලබා දෙන ලදී.

පූර්ණ අධීක්‍ෂණය

අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති අතරින් ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටි ඉපැරැණි වැව් පහක් වැඩි දියුණු කිරීම කාගේත් ඇස ගැටුණු සිදුවීමකි. අන්දර වැව, පහළ කරපිංචා වැව, ඉහළ කරපිංචා වැව, උදලාගම වැව සහ ගොවිපොළගම වැව යන වැව් පහ ප්‍රදර්ශන භූමියේ පිහිටි ඒවා අතර ඉකුත් ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් මෙම වැව් මුළුමනින්ම පුරන් තත්ත්වයට පත්ව තිබිණි. හඳුනාගත් මෙම වැව් පද්ධතිවල වැව් බැමි, සොරොව්, ඇළ මාර්ග, පෝෂිත ඇළ මාර්ග, ඇළ වේල්ල, නාන තොටුපොළ ඉදි කිරීම, අලුත්වැඩියාවට අමතරව බෝක්කු පාලම් ඉදි කිරීම ද සිදු කෙරුණු අතර සෑම වැවක්ම අංග සම්පූර්ණ බවට පත් කෙරිණ.

වාරි පද්ධතිය

අපේ වාරිමාර්ග පද්ධතියේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස මහවැලි අධිකාරිය හැඳින්වීමට පුළුවන. මහවැලි ගොවිජන ව්‍යාපාරය ආරම්භ කර ජනතාව ගොවි බිම්වල පදිංචි කර ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් රට බත බුලතින් සශ්‍රීක කිරීම අරමුණ විය. මේ වන විට මහවැලි අධිකාරිය පිහිටුවා දශක තුනක් ඉක්ම ගොස් ඇති අතර ඒ කාලය තුළ මහවැලි ව්‍යාපාරයේ නැඟීම විවිධ උච්ඡාවචනයන්ට ද ලක් විය. මහවැලි ව්‍යාපාරයෙන් නිසි ඵල ලබා ගැනීමට නම් දශක තුනකට පෙර ඉදි කළ සමූහ වාරි පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කළ යුතු වීම කාලයක සිට හඳුනාගත් අවශ්‍යතාවයන් ය. නමුත් මේ සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාවට නොපැමිණීම නිසා මහවැලි ගොවි ජනතාව ද විවිධ දුෂ්කරතාවනට ලක් විය. දැයට කිරුළ ව්‍යාපෘතිය හරහා රජරට වාරි ශිෂ්ටාචාරය යළි ශක්තිමත් කිරීමට ගත් පියවර නිසා මහවැලි ගොවි ජනතාවට නැවුම් බලාපොරොත්තු පොදි බැඳගන්නට සාධාරණ පසුබිමක් සැකසිණි.

දැයට කිරුළ වැඩසටහන යටතේ මහවැලි අධිකාරිය මගින් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන ලදී. ගල්නෑව, නොච්චියාගම, තඹුත්තේගම සහ එප්පාවල යන මහවැලි එච් කලාපය ආවරණය වන පරිදි හඳුනාගත් වැව්වල රොන්මඩ සහ ජලජ ශාක ඉවත් කිරීම, කෘෂි මාර්ග අලුත්වැඩියා කිරීම වගේම මහවැලි ගොවි පරපුරේ වර්තමාන පවුල් මුහුණ පාන දැවැන්ත ප්‍රශ්නයක් වූ ඉඩම් හිඟයට පිළියම් යෙදීම, මහවැලි ඉඩම්වල කාලාන්තරයක් පදිංචිව සිටි මුත් ඉඩම්වල හිමිකාරිත්වය නොලැබුවන්ට ඔප්පු සහ අවසරපත් ලබා දීම යනාදි ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන ලදී.

රොන්මඩ සහ ජලජ ශාක හේතුවෙන් ගොඩ වීමේ තර්ජනයට ලක් වූ වැව් අටක් මහවැලි අධිකාරිය මගින් ගොවි සංවිධානවල දායකත්වය ඇතිව පවිත්‍රකරණයට ලක් කරන ලදී. මත්තණුව පන්සල වැව, පහළ මැටියාව, කරඹෑව, දුනුදඬු වැව, සියඹලාගහ වැව, පනන්කානිය, හිරිගොල්ලේගම, පහළ හල්මිල්ලෑව යන මෙම වැව් අට රොන්මඩ සහ ජලජ ශාක ඉවත් කර පිරිසුදු කරනු ඇත.

ගොවි බිම්වලින් නිසි ඵල ලබා ගැනීමට නම් කෘෂි ප්‍රවේශ මාර්ග වඩාත් විධිමත්ව සකස් කළ යුතුය. ඒ අනුව මහවැලි අධිකාරිය මගින් කෘෂි මාර්ග කිලෝ මීටර් 40 ක් බොරළු දමා සකස් කෙරිණි.

1978 මහවැලි ව්‍යාපාරය යටතේ ගොවි බිම්වල පළමු පවුල් පදිංචි කිරීමෙන් පසු දැන් දෙවැනි තුන්වැනි පරම්පරා දක්වා ජනගහනය වර්ධනය වී ඇත. නමුත් ඉඩම් ප්‍රමාණය පුළුල් නොවීම නිසා දෙවැනි තුන්වැනි පවුල්වල ඔවුන්ගේ දරුවන් දැඩි ඉඩම් හිඟයකට මුහුණ පා සිටිති. මීට පිළියමක් වශයෙන් වසර තිහකට පසු එම වැසියනට තමන්ගේ ම ඉඩමක හිමිකම ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. ඒ දැයට කිරුළ මගිනි.

සංවර්ධන සංග්‍රාමය

උක්ත වැඩසටහනට සමගාමීව නොච්චියාගම, තලාව සහ මිගලෑව ප්‍රදේශ වලින් ඉඩම් කට්ටි 1500 ක් තෝරා ගෙන එක් පවුලකට පර්චස් හතළිහ බැගින් පදිංචිය සහ වගාව සඳහා ලබා දෙන ලදී. ඊට අමතරව තවත් තුන් දහසකට ඔප්පු සහ අවසර පත්‍ර පිරිනමන ලදී.

රජරට ජනගහනයෙන් සියයට අසූවකටත් වඩා ගොවි පවුල් ය. මෙම ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීම පමණක් නොව ඔවුන්ගේ ශ්‍රම සම්පතින් රටේ ආර්ථිකය සවිබල ගැන්වීමට දිගු කාලීන සංවර්ධන පිළිවෙත් පෙරට ආ යුතුය. මෑත භාගයේ ක්‍රියාත්මක වූ එවැනි වැඩසටහන් ඇති මුත් දැයට කිරුළ ව්‍යාපෘතිය අන් සියල්ලටම වඩා සක්‍රීය මැදිහත්වීමක් ලබා දෙන ලදී.

වාපි සංස්කෘතියෙන් විනිර්මුක්ත වූ ආර්ථික සමාජයීය සන්දර්භයක් රජරට දක්නට නොමැත. වාරි ව්‍යාපාරයේ පිබිදීම යනු ගොවි දිවියේ නැඟීම යි. 2012 දැයට කිරුළ සංවර්ධන සංග්‍රාමය එම පිබිදීමත්, නැඟීමත් උදෙසා පදනම සකසද්දී වනජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශය ද ඉන් වැඩ කොටසක් තම උරමතට ගත්තේ ය. ඒ අනුව ගොවිජන සේවා අමාත්‍යාංශය යටතේ පවතින වැව් දෙසීයක් අලුත්වැඩියා කිරීමට දායකත්වය ලබා දුන්නේ රුපියල් මිලියන දෙසීයක් වැය කරමිනි.

මේ අයුරින් රජරට වාපි කර්මාන්තය තුළ නව පෙළහරක් ඇති කරනු වස් සහ වැව හා බැඳුණු ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනු වස් දිගු කාලීන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම දැයට කිරුළ ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාභ යළි රජ රටට ගලා ඒමට පදනම සකස් කරන ලදී.

ඉංජිනේරු තාක්‍ෂණය

ජනතාවට සෙත සදන දිගු කාලීන ව්‍යාපෘති මෙසේ ක්‍රියාවට නැංවෙද්දී ලාංකේය ඉංජිනේරු තාක්‍ෂණයේ කූට ප්‍රාප්තිය වූ වාරි ව්‍යාපාරය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට සියලු දෙනාට දොරටු විවර වීම ද ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය වෙන් වී ඇත. ඒ අනුව වාරිමාර්ග ක්‍ෂේත්‍රයට සහ සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධව “දිශාලු පෙළහර” නමින් වෙන් කළ කුටිය මෙහිලා වැදගත් වෙයි. දින හතක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයේ දී මහවැලි අධිකාරිය වාරි කළමනාකරණය සහ බිමෙන් උපරිම ඵලදායිතාව යන තේමාව පාදක කරගෙන තම අනන්‍යතාව ඉදිරිපත් කරයි. අපේ අතීත ප්‍රෞඪත්වය විදහා පෙන්වන සමාජගත වාරි තාක්‍ෂණය හා ඉන් නිසි ඵල ජනතාවට අත්කර ගත හැකි විධික්‍රම ප්‍රදර්ශන භූමියෙන් ජනතාවට දැක බලා ගැනීමට අවකාශ සැලසෙයි.

අහසින් වැටෙන සෑම දිය බිඳුවක්ම මනුෂ්‍ය සංහතියේ යහපත උදෙසා මේ මහ පොළොව මත රඳවා ගත යුතුය යන ශ්‍රේෂ්ඨ කියමන යථාර්යක් කළේ එදා විසූ ශ්‍රේෂ්ඨ රජ දරුවන් ය, පාලකයන්ගේ ආශීර්වාදයෙන් හා ධෛර්යයෙන් ඉටු කළ මේ ජාතික මෙහෙවරට ණය ගැති වන්නටත් අද ලක් දෙරණ ජල සම්පතින් සුපෝෂිතය, මේ ඓතිහාසික කර්තව්‍යයට සැමදා ණය ගැතිව දත නියවමින් සිටීම නොව නව වාරි පද්ධතියක් බිහි කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගත් ආසන්නතම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යි.

ජනාධිපතිතුමාගේ පූර්ණ ආශීර්වාදය හා උපදේශකත්වය ඇතිව 2012 දැයට කිරුළ ආශ්චර්යයේ සංවර්ධන සංග්‍රාමය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වා දීම ජාතික වාරි ප්‍රබෝධයට රජරට දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට මං විවර විය. ගොවි බිම් තෙමාලමින් ඇළ අමුණු මාවත් දිගේ අහස් දිය ගලා යන අසිරිය අත් විඳින්නටත්, ඉන් ලැබෙන ඵල ප්‍රයෝජනවලින් රටේ හෙට දවස සුරක්‍ෂිත කර ගැනීමටත් සමස්ත ජාතියේ ගොවි දරුවනට දොර කවුළු හැර දීම තරම් ඔවුනට ලබාදිය හැකි තවත් දායාදයක් තිබේ ද?

විශේෂ ස්තුතිය – අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ කාර්යාලයේ ඉංජිනේරු ලසිඳු කොටවිල ආරච්චි, මහවැලි එච් කලාපය භාර නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක සහ නියෝජ්‍ය කළමනාකරු (තාක්‍ෂණ) කේ. ඩී. ජේ. ප්‍රේමලාල් යන මහත්වරුන්ට