අනුරපුරේ ශ්‍රී විභූතිය

අනුරපුරේ ශ්‍රී විභූතිය

ශ්‍රීලංකාවේ ප්‍රථම රාජධානිය ලෙස වසර එක්දහස් පන්සියයක පමණ අඛණ්ඩ ඉතිහාසයක් ඇති අනුරාධපුරය සිංහල සංස්කෘතියේ ජීවනාලිය බඳු ය. ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුනේ දී පමණ සිදු වූ බව කියන ආර්ය සංක්‍රමණය ඒ සමඟම අනුරාධපුර ශිෂ්ටාචාරය ගොඩ නැඟීමට මුල්ම අඩිතාලම දැමිණි.

විජය කුමරුගේ ඇමැතිවරයකු වූ අනුරාධ විසින් අනුරාධ ගම පිහිටු වූ බව මහාවංශ තොරතුරුවල සඳහන් වේ. පඩුවස්දෙවු රජුගේ හා භද්දකච්චායනා කුමරියගේ දුහිතෘ වූ චිත්‍රා කුමරිය හා දීඝගාමිණී කුමරු එක්වීමෙන් ලැබුණු පණ්ඩුකාභය කුමරු රජ බවට පත්වීමෙන් අනුරාධපුරයෙහි නගරයක් පිහිට වී ය. මුටසීව රජුගෙන් පසු අනුරාධපුර රාජ්‍යත්වයට පත් වූයේ ඓතිහාසික යුගය ආරම්භ වනුයේ මේ රජු රාජ්‍යත්වයට පත්වීමත් සමඟ ය.

මිහිඳු හිමියන් විසින් බුදු දහම මෙරටට ගෙනෙන ලද්දේ ද දේවානම්පියතිස්ස මහරජතුමාගේ රාජ්‍යය සමයේ දීය. බුදුදහම මෙරටට ගෙන ඒමෙන් පසුව අනුරාධපුර රාජධානියේ ආගමික සමාජයීය හා සංස්කෘතික පෙරළියක් ඇති විය. ලංකාවේ ප්‍රථම ස්තූපය සේ සැළකෙන ථූපාරාමය ඉදි කිරීමෙන් පසුව මහා චේතිය ගොඩ නැඟීමට සිංහල රජවරුන් පෙළඹිණි.

සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු මෙරට භික්‍ෂු භික්‍ෂුනී ශාසනය පිහිට විණි. දේවානම්පියතිස්ස මහරජතුමා ශාසනය නඟා සිටුවීම සඳහා විහාරාරාම ඉදි කළේය. එමෙන් ම මෙරටෙහි කෘෂි කර්මාන්තය දියුණු කිරීමෙන් ද රටෙහි අභිවෘද්ධිය ඇති කළේය.

ඉන්දියානු ආක්‍රමණ

අනුරාධපුර රාජධානියේ නැඟීම ක්‍රමයෙන් සිදු වෙද්දී දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙකකට මුහුණ දීමට සිංහල රජවරුන්ට සිදු විය. සුරතිස්ස රජුගේ සමයේ පළමු වැනි ද්‍රවිඩ ආක්‍රමණය සිදු විය. එම ආක්‍රමණය සිදු කළේ සේන ගුත්තික නැමැති අස්නැවියන් දෙදෙනා විසිනි. මොවුහු අනුරාධපුර රාජ්‍යය විසි දෙවර්ෂයක් පාලනය කළහ. ඉන් අනතුරුව සුරතිස්ස රජුගේ නවවැනි සොහොයුරු වූ අසේල කුමරා ද්‍රවිඩ සතුරන් පලවා හැරියේ ය. ඔහු දස වර්ෂයක් අනුරාධපුර රාජ්‍යය පාලනය කළේ ය. ඒ අතරතුරදී දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි එළාර නම් ද්‍රවිඩ කුමරු අසේල රජු මරා රාජ්‍යය පැහැර ගත්තේ ය. ඔහු හතළිස් හතර අවුරුද්දක් අනුරාධපුරයේ රාජ්‍යය කළේය.

මේ අවදියේ දී රුහුණු රාජ්‍යය උතුරු ප්‍රදේශය එළාර රජුගේ පාලනය යටතේ පැවතිණි. මේ කාලයේ දී සිංහල ජාතියේ මහා වීරයාණන් ලෙස සැලකෙන දුටුගැමුණු කුමරු රුහුණෙන් සේනා සන්නද්ධව පැමිණ එළාර රජු මරා මුළු උතුරු ප්‍රදේශයම සොලීන් ගෙන් නිදහස් කර ගත්තේ ය. ලංකා රාජ්‍යය ප්‍රථම වරට එක සේසත් කිරීමේ ගෞරවය හිමි වන්නේ දුටුගැමුණු මහරජතුමාට ය. ඔහු මේ රටේ ආගමික හා කෘෂිකාර්මික දියුණුව උදෙසා මහ මෙහෙයක් ඉටු කළ බව වංශ කතාවල සඳහන් වේ.

ජාතියේ මා ස්තූපය ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ලෝවාමහාපාය ඇතුළු වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් ජාතියට දායාද කෙරුණේ දුටුගැමුණු මහරජතුමන් අතිනි.

ක්‍රි.පූ. 103 – 89 අතර කාලයේ නැවතත් දකුණු ඉන්දියානු ආක්‍රමණයන්ට අනුරාධපුර රාජධානිය ගොදුරු විය. මේ අවදියේ දී අනුරාධපුර රාජධානිය සොලී ආක්‍රමණයන් ගෙන් බේරා ගනු ලැබුවේ වළගම්බා රජුය. ලංකා රාජ්‍යය දෙවන වරට පරසතුරන් ගෙන් මුදවාගෙන එක්සේසත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ද මේ රජුට ය. අභයගිරි විහාරය ඇතුළු ආරාම ගණනාවක් ම මෙතුමන් අතින් නිර්මාණය කෙරිණි.

අනුරාධපුර රාජධානි සමයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය මහ වැව් ඉදි කිරීම ඇරඹුණේ වසභ රජුගේ පාලන සමයේ දී ය. එතැන් පටන් කලා ශිල්ප හා ගෘහ නිර්මාණ සම්ප්‍රදායන්හි මහත් දියුණුවක් අනුරාධපුර රාජධානිය තුළ වැඩෙමින් පැවතිණ.

කීර්තිධර පාලකයන්

අනුරාධපුර යුගයෙහි කීර්තිධර පාලකයන් මෙන් ම මහා විද්වතුන් ද සිටි බව ඉතිහාසය පිරික්සීමෙන් පැහැදිලි වෙයි. පස්වැනි කාශ්‍යප රජු මහා පඬිවරයකු බව ඉතිහාස ගත තොරතුරු පිරික්සීමේ දී හෙළි වෙයි. ඔහුගේ අතිවිශිෂ්ට පාණ්ඩිත්‍යය හෙළිදරව් වන්නේ ‘ධම්පියාඅටුවා ගැට පදය’ නම් මහා කෘතිය තුළිනි. අභයගිරි සෙල් ලිපිය ද ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. පළමු වැනි සේන රජතුමා ද සංස්කෘත හා සිංහල බස එකසේ හදාළ වියත් පඬිවරයකු ලෙස ප්‍රකට ය. හෙළ බසෙහි මහත් ඌනතාවයක් මෙතුමන් නිසා සම්පූර්ණ කෙරිණ. ‘සියබස් ලකර’ නම් අලංකාර විචාර ග්‍රන්ථයේ කතුවරයා ලෙස හඳුන්වන්නේ ද පළමු වැනි සේන රජු ය.

මහසෙන් රජු ද මේ රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා මහ වැව් ඉදි කරමින් අනුපමේය මෙහෙයක් ඉටු කළ බව මහා වංශයේ සඳහන් වේ. මෙකල සිංහල වාරි තාක්ෂණයේ අද්විතීය නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි බිසෝ කොටුව සොයා ගැනීමට සිංහල ඉංජිනේරුවෝ සමත් වූහ. එය සිංහල ඉංජිනේරුවන්ගේ ම අනභිබවනීය සොයා ගැනීමත් සේ හැඳින්විය හැකි ය. ලෝකයේ කිසිදු රටක වාරි ඉංජිනේරුවන් මේ තාක්ෂණ ක්‍රමය සොයා ගෙන නොතිබිණි. ඉන්දියාවේ විශාල ප්‍රමාණයේ වැව් තැනීම සඳහා සිංහල ඉංජිනේරුවන්ගේ සහය ලබා ගත් බව රාජතරංගනියේ සඳහන් වේ.

සිංහල සංස්කෘතියේ පදනම ගලය. ගලපිට නැංවුණු යමක් බිදවැටිය හැකි වුණත් ගිලා බැසිය හැකි නොවේ. සිංහල සංස්කෘතියේ අතීතයට ගියාම වර්තමානයේ ඉතිරි කර ඇත්තේ ද සෙල් ලිපි හා මැටි ලිපිවලිනි. සෙල් ලිපි නමින් හැඳින්වෙන මේ පුරාවස්තු සිංහල සාහිත්‍යය, වාරි කර්මාන්තය හා රාජ්‍ය පාලනය පිළිබඳව අතීතයට ගියාම හෙළි දරව් කරයි.

අක්ෂර පරිණාමය

මේ සෙල් ලිපි සිංහල සාහිත්‍යය පිළිබඳව ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙයි. සිංහල භාෂාවේ අක්ෂර පරිණාමය විදහා පායි. පැරණි පුවත් විශ්වාස කිරීමට ගලම අදහන විද්වතුනට සෙල් ලිපි මහෝපකාරී වෙයි.

ශ්‍රී ලංකාවේ පැරැණි වෙදහල් පිළිබඳව ද කරුණු විමර්ශනයේ දී මුලින් ම හමු වන්නේ ක්‍රි. පූ. සිව්වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජතුමන් අනුරාධපුරයේ කර වු සිවිකා ශාලාව, විජායනඝරය හෙවත් තිඹිරි ගෙය යි. බුද්ධදාස රජුගේ වැඩිමහලු පුතකු වූ උපතිස්සගේ රාජ්‍ය සමයේ ද පුසූතියට ආසන්න ස්ත්‍රීන් උදෙසා “පසවන්නීනං” රෝහලක් තිබුණු බව මහා වංශයේ සඳහන් වේ.

සෙල් ලිපි

මධ්‍ය කාලීන සෙල් ලිපි කීපයකට මේ ආකාරයේ තිඹිරි ගෙවල් පිළිබඳව තොරතුරු ඇතුළත් ය. බුද්ධදාස රජතුමාගේ සමයේ මිනිසුන්ට පමණක් නොව ඇත් අස් ආදී සතුන් සඳහා ද රෝහල් පිහිට වූ බව අතීත මූලාශ්‍රයන් ගෙන් හෙළි වෙයි. අනුරාධපුර රාජධානිය මෙතෙක් ලෝකයේ ගොඩ නැඟුණු රාජධානී අතරින් අග්‍රස්ථානයෙහිලා සැළකීමට තරම් දියුණු මට්ටමක පැවති බව අතීත මූලාශ්‍රවලින් තහවුරු වේ.

අනුරාධපුර රාජධානි සමයෙහි අපරාධ නීතිය ක්‍රියාවෙහි යෙදීම සම්බන්ධව ලිඛිත තොරතුරු අපට සපය යි. ඒ හතර වන මහින්ද රජුගේ කාලයට අයත් යැයි සැළකෙන වේවැල්කැටිය පුවරු ලිපියෙනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයා ගෙන ඇති සෙල් ලිපි අතුරින් සුවිශේෂ ගණයේ අභිලේඛනයක් ලෙස මෙය පුරා විද්‍යාඥයෝ හඳුන්වති. මිනී මැරුම් සොරකම් වැනි අපරාධ කළ අය හා හරකුන් මැරුවන්ට දඬුවම් නියම කළ අයුරු මේ ලිපියෙහි දැක්වේ.

රාජ්‍ය සභාවේ ඇමැතිවරුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද නීති ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සභාවලට බලය තිබුණු බව ශිලා ලිපියෙහි දැක්වේ. වර්තමානයේ බලය බෙදීම පිළිබඳව මේ රටේ විද්වත්හු විවිධ මත පළ කරති. දස වන හා එකළොස් වන ශත වර්ෂවලදී ග්‍රාමීය සභාවලට බලය බෙදාහැර රට පාලනය කළ බව මේ මඟින් කරුණු අනාවරණය කර ගත හැකිය.

උදාහරණයක් වශයෙන් මිනීමැරුම් හා සොරකම් නඩු විභාග කිරීමටත් වරදකරුවන්ට නියමිත දඩ ගැසීමටත් සමහර අවස්ථාවල දී මරණීය දණ්ඩනය පවා නියම කිරීමටත් මේ පුවරු ලිපියේ සඳහන් ග්‍රාමීය සභාවලට බලය තිබුණු බව හෙළි වෙයි.

ශිලා ලිපියේ 15 – 19 – 35 – 37 පේළිවල දැක්වෙන පරිදි සීමිත කාලයක් තුළදී වැරැදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව දසගම වාසීන්ට තිබුණු සාමුහික වගකීමක් ගැන ද සඳහන් වේ. මේ රජුගේ පාලන සමයේ දී ක්‍රියාත්මක කළ අපරාධ නීතිය වර්තමානයට පවා උචිතය. අනුරාධපුර රාජ්‍ය සමයේ ශ්‍රේෂ්ඨත්වය මෙයින් මනාව සනාථ වේ.

රජවරු එකසිය නව දෙනෙකු රාජ්‍යය කළ අනුරාධපුර රාජධානියේ අවනතිය සිදු වූයේ පළමු වන සේන රජු දවස පාණ්ඩය රජුගේ ආක්‍රමණයෙනි. එතැන් පටන් අනුරාධපුරයේ සිටි රජවරු පොළොන්නරුව සිය වාසස්ථානය කර ගත්හ. අන්තිම ප්‍රහාරය රාජ රාජ නැමැති චෝල අධිරාජ්‍යයාගෙන් එල්ල විය. ඔවුහු සිංහල රාජ්‍යත්වය යටත් කර ගෙන අනුරාධපුර රාජධානියේ විහාරාරාම මාලිගා ආදිය විනාශ කළහ.

මහත් පරිශ්‍රමයක්

පළමු වැනි විජයබාහු මහ රජු අනුරාධපුරය නැවත ද්‍රවිඩයන්ගෙන් මුදවා ගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි. සිය ඔටුණු පැළදවීමේ මංගල්‍ය සඳහා අනුරාධපුරයේ මාලිගාවක් ද මේ රජු ඉදි කළේ ය.

එහෙත් විජයබාහු මහ රජතුමන් අනුරාධපුර රාජධානිය වශයෙන් තෝරා නොගත්තේ ය. ඔහු පොළොන්නරුවේ සිට අනුරාධපුරය පාලනය කළේ ය. පළමු වැනි විජයබාහු මහ රජුගෙන් පසු පොළොන්නරු රාජධානියට ද සොලී ආක්‍රමණ ගණනාවක් ම එල්ල විය. පරාක්‍රමබාහු මහ රජතුමන් සොලී බලය මුළු රටින් ම තුරන් කළේ ය. පොළොන්නරුව පමණක් නොව මුළු රටේම කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ රජු අනුපමේය මෙහෙයක් ඉටු කළ බව මහාවංශ තොරතුරුවල සඳහන් වේ. කාලිංග මාඝ නැමැති දකුණු ඉන්දියානු අක්‍රමණිකයා පොළොන්නරුව රාජ්‍යයට ප්‍රහාර එල්ල කරමින් එම රාජ්‍යය පැහැර ගෙන අනුරාධපුරය ද පාලනය කළ බවද ඉතිහාසගත තොරතුරුවල සඳහන් වේ.

මහා පරාක්‍රමබාහු මහ රජතුමා ගෙන් පසු යළි කිසි දිනෙකවත් ශ්‍රී ලංකාව එක සේසත් කිරීමට නොහැකි විය. එදා සිට ශත වර්ෂ ගණනක් තිස්සේ සිංහල රාජ්‍යයට විවිධ වූ සතුරු ආක්‍රමණයක් එල්ල විය.

ශත වර්ෂ ගණනකට පසුව යළි ශ්‍රී ලංකාව එක සේසත් කිරීමේ ගෞරවය නිතැතින්ම හිමි වනුයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ය. තිස් වසරක් තිස්සේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මහා සන්නද්ධ අරගලයක් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් සමුල ඝාතනය කර උතුරේ ද්‍රවිඩ ජනතාව ද ත්‍රස්තවාදීන් ගෙන් මුදවා ගනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ය.

මේ ඓතිහාසික ජයග්‍රහණය සිංහල වංශ කතාවේ නව පිටුවක් සනිටුහන් කරනු ඇත.