ස්වයං පෝෂිත දේශයක සැබෑ උරුමය

ස්වයං පෝෂිත දේශයක සැබෑ උරුමය

උපන් දේශය අවදි කිරීමට ජාතිය පෝෂණය කරන්නා වූ ගාමක බලවේගය මෙහෙය වන නියමුවා ගොවියායි. මතු පරපුරේ හෙට දවස උදෙසා අද දවසේ තම දහදිය කදුළින් මේ මිහිමත තෙමා සරුසාර මහපොළොව අස්සද්දවා අටුකොටු පුරවන අපේ ගොවි පරපුරෙන් රටට පිදෙන මහර්ඝතම සම්පත කෘෂිකර්මාන්තයයි.

ගොවිතැන වනාහි ගමේ ගොවියා තම කුඹුර අස්වද්දා ලැබෙන අස්වැන්නෙන් තම අටු කොටු පුරවා ගැනීම පමණක් නොවේ. සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන පසු කර ගොවිතැන කර්මාන්තයක් දක්වා රැගෙන ආ අපි දැන් කෘෂිකර්මාන්තය ආර්ථික මර්මස්ථානයක් ලෙස හසුරුවන යාන්ත්‍රණයක් කරා එළැඹ සිටින්නෙමු. එහිලා කුඹුරින් හේනෙන් ලැබෙන අස්වැන්නට මිලක්, ප්‍රමිතියක් රක්‍ෂණයක් සේම තරගකාරි ඉල්ලුමක් සහිත සක්‍රීය වෙළෙඳ පොළක්ද අවශ්‍යය. මේ සියලු පාර්ශ්වයන්ගෙන් කෘෂිකර්මාන්තය ශක්තිමත් වන විට රජරට ගොවිතැන නඟා සිටුවීම සඳහා අවශ්‍ය කරන දිශානති කෙරෙහි දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් අවධානය යොමු කර තිබීම වැදගත් සංසිද්ධියකි.

රජරට ගොවියා

ගොවිතැන යනු වී වගාව පමණක්ම නොවේ. රජරට ගොවියා මඩ ගොවිතැනට සේම ගොඩ ගොවිතැනටද එකසේ සමීපය. මුං, කවුපි, උඳු, මෑ, කුරහන් වැනි ධන ධාන්‍යයද එළවළු , පළතුරු ද තම හේනේ වගා කර පවුලේ අවශ්‍යතාවටත්, අමතර ආදායමක් සඳහා වෙළෙඳ පොළට යැවීමටත් රජරට ගොවියෝ එදා පටන් කටයුතු කරති. මේ නිසා වී ගොවිතැන සහ ගොඩ ගොවිතැනටද ජනතාව තවතවත් සමීප කරවීමටද දැයට කිරුළ අත්තිවාරමක් සපයනු ලැබිණි.

දේශීය කෘෂිකර්මාන්තයේ වැඩිම වගකීමක් දරන කෘෂිකර්ම අමාත්‍යාංශය සේම වනජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ද්විත්වය ද මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැයට කිරුළ කෘෂිකර්ම ව්‍යාපෘති දාමය හා අත්වැල් බැඳ ගෙන සිටී. රජරට කෘෂිකර්මාන්තය ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘති මෙම අමාත්‍යංශ හරහා සිදු කෙරෙන අතරම වී අලෙවි මණ්ඩලය, පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්‍ෂණ ආයතනය, ඉෆාඩ් ආයතනය, හදබිම අධිකාරිය, අපනයන කෘෂිභෝග දෙපාර්තමේන්තුව, මහඉලුප්පල්ලම කෘෂිභෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ආදි ආයතන රැසක් ජාලයක් ලෙස එක්ව දැයට කිරුළ මගින් රජරට කෘෂිකර්මාන්තයේ නඟා සිටුවීමට තම දායකත්වය ලබා දෙයි.

2012 දැයට කිරුළ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය හා බද්ධව සිදු කෙරෙන දිගු කාලීන ව්‍යාපෘති සියල්ලෙහිම මැදිහත්වීම, අධීක්‍ෂණය හා පසු විපරම සිදු කරන්නේ උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගිනි.

රජරට කෘෂිකර්මාන්තයට නවමු මුහුණුවරක් ලබාදීමේදී අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ග්‍රාමීය ගොවියාත්, ඉපැරැණි ගොවි ගම්මානත් උසස් තත්ත්වයට ගෙන ඒමයි. ගොවියා තම නිෂ්පාදනවලින් ඉහළ ආදායමක් ලැබුවද ඉන් ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ මට්ටමකට පැමිණෙන්නේ යැයි හෝ ජාතික ආර්ථිකය ශක්තිමත් වේ යැයි හෝ උපකල්පනය කිරීම උගහටය.

මේ නිසා ගොවියා කේන්ද්‍ර කරගත් සමස්ත ගොවි සමාජයට දියුණු ආර්ථික සමාජයීය, තාක්‍ෂණික පරිසරයකට අනුගත කළ යුතුය. කෘෂි ආදර්ශ ගම්මාන විසි එකක් පිහිටුවීමේ වැඩසටහන දැයට කිරුළ මගින් දියත් වූයේ මෙම කාලීන අවශ්‍යතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙමිනි.

උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශය ආදර්ශ කෘෂි ගම්මාන ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි. ඒ අනුව පැවති සාම්ප්‍රදායික තත්ත්වයෙන් බැහැරව දියුණු වූත් විද්‍යාත්මක වූත් කෘෂිකර්මාන්තයක් සඳහා දායකත්වයක් ලබා දියහැකි ගොවි සමාජයක් මෙනයින් බිහි කිරීම මුඛ්‍ය අරමුණයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසි එකම ආවරණය වන පරිදි මෙම ආදර්ශ කෘෂි ගම්මාන විසිි එක තෝරා ගන්නා ලදී. දැයට කිරුළට සමගාමීව රේඛීය අමාත්‍යාංශය මගින් එක් ගමකට රුපියල් මිලියනය බැගින් මේ සඳහා ප්‍රතිපාදන ද ලබා දෙන ලදී.

කෘෂිකර්මාන්තයෙහි නියැළෙන ගොවියා සමඟ සමීපවම බද්ධ වූ ආයතනය ගොවිජන සේවා මධ්‍යස්ථානයයි. ගොවියාගේ වී ටික විකුණා ගැනීමට පොහොර ටික ලබා ගැනීමට, බීජ වී ටික ලබා ගැනීමට අවශ්‍ය කාර්ය නොපමාව සකසා දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයයි. කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට සහ ජාතික ආර්ථිකය වෙනුවෙන් ගොවියා කරන කාර්ය විධිමත් කිරීමට මෙම ආයතන පද්ධතිය පණ ගැන්විය යුතුය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන හතළිස් එකක් පිහිටුවා ඇති අතර දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් තවත් ගොවිජන මධ්‍යස්ථාන තුනක් අලුතින් ඉදි කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව සාලියපුර, මිහින්තලේ සහ කලංකුට්ටිය සඳහා මෙම නව මධ්‍යස්ථාන ලබාදීමට කටයුතු කරන ලදී.

වනජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශය හරහා දැයට කිරුළ මගින් එක් මධ්‍යස්ථානයකට රුපියල් මිලියන අට බැගින් වෙන් කෙරිණි.

මහින්ද චින්තන ප්‍රතිපත්ති

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ගොවියාට පොහොර සහනාධාරය ලබා දීමට ජාතික වැඩපිළිවෙළක් සැකසීමත් සමඟ පොහොර හිඟයට පිළියම් සෙවීම සහ පොහොර ගබඩා අලුතින් ඉදි කිරීමට රජයේ අවධානය යොමු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම බිම් ප්‍රමාණයක් වී වගාව සඳහා යොදවන බැවින් පොහොර ගබඩා සංකීර්ණවල අවශ්‍යාව ද වැඩියි. මේ නිසා දැයට කිරුළ ජාතික ව්‍යාපෘතිය මගින් නව පොහොර ගබඩා සංකීර්ණ හතරක් යෝජිත විය.

එම යෝජනාව යථාර්ථයක් කරමින් ඇලයාපත්තුව , එප්පාවල , කපුගොල්ලෑව සහ තන්තිරිමලේ ප්‍රදේශ සඳහා එම පොහොර ගබඩා ලබා දෙන ලදි. ඒ සඳහා රුපියල් මිලියන දෙකක් වැය කෙරිණි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය

ඉකුත් වසර කිහිපය තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඇති වූයේ කැපී පෙනෙන පුනරුදයකි. මෙම පුනරුදය වනාහි වාර්තාගත වී අස්වැන්නකින් අපේ ධාන්‍යාගාරය පොහොසත් වීමයි. රජරට ගොවියා ද මෙම නවමු පුනරුදයට ඉහළින්ම දායකත්වය ලබා දෙන ලදි. රජය වී මිල ස්ථාවර තත්ත්වයට පත් කරමින් ගොවියා ආරක්‍ෂා කර ගැනීමට ඉදිරිපත් වීමත් සමඟ රජයේ වී ගබඩා ශක්තිමත් විය. අලුතින් වී ගබඩා ඇති කිරීමටත්, පවතින ඒවා අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමටත් රජය වහා ක්‍රියා කරන ලදී.

රජරට ජනතාවගේ අස්වනු නිසි කලට මිලදී ගැනීමටත් රජය සතුව සුරක්‍ෂිත වී සංචිතයක් පවත්වා ගැනීමටත් ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ උපරිම දායකත්වය ලබා ගැනීමට දැයට කිරුළ ව්‍යාපෘතිය ශක්තිමත් පදනමක් දමන ලදි. ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ භාරකාරත්වයෙන් අලුතින් වී මෙට්‍රික් ටොන් 3500ක් ද ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධික්‍ෂණයෙන් තවත් වර්ග අඩි එක්ලක්‍ෂ විසිපන්දහසක විශාලත්වයෙන් යුත් ගබඩා සංකීර්ණයක් ඉදි කර ඇත.

ඒ අනුව ඔයාමඩුව ප්‍රදර්ශන භූමියේ මෙම දැවැන්ත වී ගබඩා සංකිර්ණය ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලයන 250ක් යෙදවිණි. සෙසු ගබඩා දෙක රුපියල් මිලියන විසිපහක වියදමින් ඔයාමඩුව සහ රුපියල් මිලියන පහක වියදමින් කලාවැව ප්‍රදේශයේත් ඉදි කෙරිණි.

දැයට කිරුළ ව්‍යාපෘතිය

මීට අමතරව වී අලෙවි මණ්ඩලය මගින් දැයට කිරුළ ව්‍යාපෘතියට සමගාමීව ගබඩා අටක් අලුත් -වැඩියා කරන ලදී. තලාව, රාජාංගණය, තඹුත්තේගම,බුල්නෑව , කටියාව , රඹෑව සහ නොච්චියාගම මෙට්‍රික්ටොන් දහසේ ගබඩා දෙකක් බැගින් අලුත්වැඩියා කරන ලද්දේ රුපියල් මිලයන දොළහක වියදමිනි.

දැයට කිරුළ ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දීමෙන් පසු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ප්‍රබෝධයක් ඇතිවනු දැකීම මේ බිමට ආදරය කරන රජරට ගොවීන්ගේ එකම ප්‍රාර්ථනය විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ වගකීම් දරන සියලු ආයතන ඒකාබද්ධ වී රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර පණගැන්වීමට ලබා දුන් කැපවීම වඩාත් ප්‍රශංසනීයය.

මේ අතර මහඉලුප්පල්ලම කෘෂිභෝග පර්යේෂණ ආයතනය මගින් බහු ආර්ථික භෝග සඳහා ක්ෂේත්‍ර ජාන සම්පත් බැංකුවක් පිහිටුවනු ලැබිණි. එමෙන්ම ප්‍රදේශයට ආවේණික බීජ නිෂ්පාදනය සඳහා තාක්‍ෂණය වැඩි දියුණු කිරීම, ගොවීන්ට ක්ෂේත්‍ර දැනුම ලබාදීමද සිදු කෙරිණි. මෙම සියලු කාර්යයන්ගේ ප්‍රතිලාභ රජරට ගොවි ජනතාවට ලැබීමෙන් ලාංකේය ගොවි පරපුරේ රජරට අනන්‍යතාව ශක්තිමත් වීමට මං විවර විණි.

පැරැණි රජරට ගොවි ගම්මානය සියලු දෙයින් සමෘද්ධිමත්ය. ධනධාන්‍යයෙන් පමණක් නොව ක්‍ෂීර සම්පතින්ද පොහොසත්ය. ගොවි බිමට අවශ්‍ය පොහොර ටිකත්, පවුලේ පෝෂණය සඳහා කිරි ටිකත් ලැබුණේ තමන් සතු ගව පට්ටියෙනි. යන්ත්‍ර සූත්‍ර, යාන වාහන වැනි තාක්‍ෂණයේ අධිවේගි නිපැයුම් ගම ආක්‍රමණය කරද්දී ගොවියාගේ පණ නළ බඳු ගවයාගේ ප්‍රයෝජනය සීමා සහිත බැව් සමාජයට ආරෝපණය වූ ඝෘණාත්මක ආකල්පයයි.

නමුත් මේ පසුගාමි අදහස් සමාජයෙන් මුලිනුපුටා දැමීමට පශු සම්පත් අංශය පෙරට ආවේ රජයෙන් ලබාදුන් උත්ප්‍රේරණය නිසාය.

සංවර්ධනයේ යාන්ත්‍රණය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටට හඳුන්වා දුන් සංවර්ධනයේ යාන්ත්‍රණය අතීතය බැහැර කර වර්තමානයට පමණක් ආවඩන එකක් නොවේ. අතීතයේ පටන් සමෘද්ධිමත් දේශයක්ව පැවති අපේ රටට ඉපැරැණි ආර්ථික සමාජයීය භාවිතයන්ගෙන් ලබා ගත හැකි පන්නරය වචනයෙන් ප්‍රකාශ කිරීම උගහටය.

2012 දැයට කිරුළ ව්‍යාපෘතිය ඓතිහාසික අනුරාධපුර ජනතාවට හඳුන්වා දුන්නේ මහපොළොවටත් ජනතාවටත් දැරිය නොහැකි තාක්‍ෂණික සංග්‍රාමයක් ඇති කිරීම සඳහා නොවේ. දැයට කිරුළින් පණ ගැන්වූ කිරි ගම්මාන වැඩසටහන මීට හොදම උදාහරණයකි.

ආදර්ශ කෘෂි ගම්මාන ව්‍යාපෘතියට සමගාමී දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ කිරි ගම්මාන විසිි එකක්ද ස්ථාපිත කරන ලදී.

රජරට කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති රැසක් මේ අයුරින් ක්‍රියාවට නැංවෙද්දී දැයට කිරුළ ප්‍රදර්ශනය කෘෂිකාර්මික ක්ෂේත්‍රය නව මුහුණුවරකින් ඉදිරිපත් වෙයි. එහිදී “ ගොවි බිම් නිපැයුම් “ තේමාව යටතේ කෘෂි ක්ෂේත්‍රයට බද්ධ වූ සියලු ආයතන හිමෝධාන ගොවිපොළ ලෙස එක්ව කටයුතු කරනු ඇත. ගොවිතැනට අදාළ සකලවිධ දැනුමින්, ප්‍රායෝගිකව ලබාගත හැකි ශිල්පීය වටිනාකම් රැසක් ලබා ගැනීමට මෙහිදී ඉඩහසර සළසා දී ඇත. කෘෂි කර්මාන්තය නැමැති පුළුල් අත්පොත වගාව පරිශීලනය කළ හැකි සජිවි අත්දැකීමක් අත්විදීමට “ ගොවිබිම් නිපැයුම්” කුටිය ඔබට වැදගත් වනු ඇත.

ලොව ඇතැම් රටවල් ආර්ථික අතින් කඩා වැටෙද්දි මිනිස්සු සියගණන් සා පිපාසාවෙන් පීඩා විඳිති. එයිනිදු නොනැවතී ඇතිවන ස්වභාවික විපත් හේතුවෙන්ද පීඩාව දැනෙන්නේ ඔවුන්ගේ කුසටමය. මේ සෑම බලපෑමක්ම ඔවුන්ට ඔරොත්තු නොදෙන්නේ ඒ ඒ රටවල ආර්ථික ශක්තීන්ගේ හීන වීම හා කළමනාකරණයේ දුර්වලතායි.

රටක් පොදුවේ මුහුණපාන ඕනෑම ප්‍රශ්නයකට නොබියව මුහුණදෙනු වස් වඩාත් ශක්තිමත්ව පැවතිය යුත්තේ කෘෂිකර්මාන්තයයි. දැයට කිරුළ මගින් රජරට කෘෂිකර්මාන්තයේ ඇති කළ අරුණලෝකය ජාතියේ බඩවියත රකින ගොවි දූ පුතුන්ට පෙරළා රිදී රේඛාවක් වනු ඇත.

විශේෂ ස්තූතිය

උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම් (සැලසුම්) එන්. බී. ක්‍රිශාන්ත කුමාර මහඉලුප්පල්ලම කෘෂි භෝග පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ආචාර්ය ඩබ්. එම්. ඩබ්. වීරකෝන්, පසු අස්වනු ආයතනයේ පර්යේෂණ නිලධාරිනි චමින්දි දිසානායක යන මහත්ම මහත්මීන්ට