සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ධීවරයන් මුදාගන්න පියවර ගන්නවා

සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ධීවරයන් මුදාගන්න පියවර ගන්නවා

ධීවර ඇමැති මැතිසබේ දී කියයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවී සිටින ශ්‍රී ලාංකික ධීවර පිරිස බේරා ගැනීම සඳහා මැදිහත්කරුවන් මාර්ගයෙන් කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.

මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් මුහුදු කොල්ලකරුවන් සිටින ස්ථාන නිශ්චිතව හඳුනාගත නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව සිටින මේ ධීවර පිරිස මුදාගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විවිධ උත්සාහයන් දරා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 23 – 2 යටතේ මතුකළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහතා සඳහන් කළේ සෝමාලියාව ෂී ෂෙල්ස්, මැඩගස්කරය ඇතුළු රටවල් පහකට දන්වා ඇති බවයි. එමෙන්ම මේ වසරේ ජනවාරි දහවැනිදා ඉන්දියාවේ ක්වාලාලම්පූර්වල පිහිටි තානාපති කාර්යාලය හරහා සෝමාලියානු රජයද දැනුවත් කළ බවයි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්නයට මැදිහත් වීම අපහසු බව සෝමාලියානු රජය දැනුම්දී ඇති බැවින් මේ ධීවර පිරිස මුදාගැනීම සඳහා මැදිහත්කරුවන් මාර්ගයෙන් කටයුතු කරන බවයි.

ගතවූ 2011 වසරේදීත් මෙවැනිම සිද්ධියක් සිදුවූ අතර සෝමාලියානු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වූ එම ධීවර පිරිස මුදාගැනීම සඳහා මැදිහත්කරුවන් මාර්ගයෙන් කටයුතු කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් ධීවර ක්ෂේත්‍රයට අහිමි වන බවද ඇමැතිවරයා පැවසීය. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කල්ලි ගණනාවකට කැඩී බිඳී වෙන්ව ඇති බැවින් මෙම ගැටලුව තවත් උග්‍ර වී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම තමන් ධීවර ඇමැතිවරයා ලෙස වැඩ භාර ගන්නා විට ඉන්දියාවෙහි අත්අඩංගුවට ධීවරයන් 779 ක් පත්ව සිටි බවත් අද වන විට එම පිරිස හය දක්වා අඩු කර ගැනීමට හැකිවී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,

ජාත්‍යන්තර සාගර නීතිය අනුව අපි කටයුතු කරනවා. නමුත් සමහර රටවල් එලෙස කටයුතු කරන්නෙ නැහැ. ජාත්‍යන්තර සාගර නීතිය අනුව අත්අඩංගුවට ගත හැකියි. නමුත් දඩුවම් කරන්නට බැහැ. ඒ වගේම ඉන්දියාවේ මධ්‍යම රජය හා විවිධ ප්‍රාන්ත වල අත්අඩංගුවට පත්වන ධීවරයන් වෙනුවෙන් අනුගමනය කරන්නෙ, දඬුවම් කරන්නෙ විවිධ ක්‍රමවේද වලට. මේ නිසා මම ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා අත්අඩංගුවට පත්වන අපගේ ධීවරයන් වෙනුවෙන් එක් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසට. ඒ අනුව එකම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ වගේම මුහුදු යන ධීවරයින් රක්‍ෂණය විය යුතුයි. නමුත් බහුතරයක් රක්‍ෂණය වෙන්නෙ නැහැ. ඒ නිසා තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රක්‍ෂණය විය යුතුයි. රක්‍ෂණයේ දී ආපදාවට පත්වන ධීවරයෙකුගේ පවුලක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ගෙවනවා.

පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා - අපගේ ධීවරයන් පිරිසක් මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. එම පිරිස මුදා ගැනීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර මොනව ද?

අපේ රටේ ජාතික නිෂ්පාදනයට ධීවරයන් සුවිශේෂි දායකත්වයක් සපයනවා. ඔවුන් එය ඉටු කරන්නෙ බොහෝ දුෂ්කරතාවලට හා අභියෝගවලට මැදිවයි. ඒ නිසා සෝමාලියානු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව සිටින පිරිස බේරා ගැනීමට රජය වහා මැදිහත් විය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා