ඉන්දීය පිල කඩුලු 4කින් ශ්‍රී ලංකාව පරදවයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ඉන්දීය පිල කඩුලු 4කින් ශ්‍රී ලංකාව පරදවයි

චන්දිමාල්ගේ අර්ධ ශතකය අපතේ යයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (8) ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දිවාරාත්‍රී ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8කට රැස්කළ ලකුණු 233 හඹාගිය ඉන්දීය පිල ඕවර 46.4 කදී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේය.

ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලකුණු 14 දී බිඳ වැටුණ ද දෙවැනි කඩුල්ලට ලකුණු 75ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සචින් තෙන්ඩුල්කාර් හා විරාත් කෝලි සමත්වූහ. තෙන්ඩුල්කාර් පන්දු 63ක දී හතරේ පහර 5ක් සමග ලකුණු 48ක් රැස් කළේය. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කරනු ලැබුවේ විරාත් කෝලි විසිනි. ඔහු ලකුණු 77ක් ලබාගත්තේය. ඔහුගේ ඉනිමට පන්දු 94ක් වැය වූ අතර හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් විය. ලකුණු 181කට ඉන්දීය පිලේ කඩුලු 6ක් බිඳවැටී තිබූ මොහොතේ රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 53ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය කරා සිය පිල මෙහෙයවූහ. ජඩේජා නොදැවී ලකුණු 24ක් රැස්කළ අතර අශ්වින් නොදැවී ලකුණු 30ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින්ටය.

කඩුලු 8කට ලකුණු 233ක ශ්‍රී ලංකා ඉනිම දිනේෂ් චන්දිමාල්ගේ අර්ධ ශතකය වටා ගොඩනැගිණි. ශ්‍රී ලංකා පිතිහරඹයේ ප්‍රධාන අවිය බවට පත්වූ චන්දිමාල්ගේ ලකුණු 64ක අගනා ඉනිම පන්දු 81කින් වාර්තා විය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් කිහිප දෙනෙකුම සාර්ථක ආරම්භයන් ලබා ගත්හ. ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 48ක්ද, කුමාර් සංගක්කාර ලකුණු 26ක්ද රැස් කළද පිතිකරුවනට හිතකර තණතිල්ලේ ලකුණු 50කට පිවිසීමට සමත්වූයේ 22 හැවිරිදි චන්දිමාල් පමණි.

කෙසේ වෙතත්, ඉනිමේ අවසන් අවස්ථාවලදී ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කරමින් සිටියදී චන්දිමාල් දැවී ගියේය. 44 වැනි ඕවරයේ රවි අශ්වින්ගේ දඟ පන්දුවකට ඔහු පැරදුනු අතර ඔහුව ‘ස්ටම්ප්’ කිරීම එම්.එස්.දෝනි ට එතරම් අපහසු කාර්යයක් නොවීය.

ශ්‍රී ලංකා ඉනිමේ ‘ස්ටම්ප්’ කිරීමේ අවස්ථා දෙකකටම සම්බන්ධ වූ දෝනි හා අශ්වින්, තිසර පෙරේරාද දවාලූයේ ‘ස්ටම්ප්’ කරමිණි.

ඉන්දියා පන්දු යවන්නන් අතුරින් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූයේ අශ්වින්ය. ඔහු, ඔහුගේ ඕවර 10 තුළ ලකුණු 32කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය. සහීර් ඛාන් ලකුණු 44කට කඩුලු 2ක් ලබා ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා