වැල්ලවත්තේ මහල් නිවසක ගින්නෙන් පිරිමියෙක් හා කාන්තාවක් මිය යති

වැල්ලවත්තේ මහල් නිවසක ගින්නෙන් පිරිමියෙක් හා කාන්තාවක් මිය යති

සියදිවි නසාගැනීමක්දැයි සැක

පිළිස්සී මියගිය බවට සැකකරන පිරිමියකුගේ හා කාන්තාවකගේ මළසිරුරු වැල්ලවත්ත 37 වන පටුමගේ ටොරෙන්ටො ස්ක්වේයා මහල් නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ නිවසකින් ඊයේ (8) පෙරවරුවේ සොයා ගැනිණි. නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් කොළඹ ගිනි නිවීමේ ඒකකයට හා වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ අලුයම 2 ට පමණ ගොස් සොයා බැලීමේදී ගිනි ගනිමින් තිබූ කාමරයේ තිබූ පිළිස්සී ගිය මේ මළ සිරුරු සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසීය.

ගින්න හටගත් මහල් නිවස

මියගිය තැනැත්තා වසර 3කට ආසන්න කාලයක් තිස්සේ සේවිකාව ලෙස හඳුන්වා දී ඇති තරුණ කාන්තාවක් සමඟ මේ නිවසේ ජීවත්ව සිට ඇති අතර ගින්නෙන් ඇයද මියගොස් ඇතැයි පොලිසිය පැවසීය. මොවුන් දෙදෙනා මියගිය කාමරයේ කඹයක්ද තිබී සොයාගෙන ඇති අතර එය කාන්තාවගේ ගෙලට තදවී තිබූ බවත් දෙදෙනාම සියදිවි හානි කරගැනීමට උත්සාහ ගත්තේද යන්න සැකසහිත බවත් පොලිසිය පවසයි.

නිවස තුල තිබී එල් පී ගෑස් සිලින්ඩර 3ක් හිස් කෑන් කිහිපයක්ද හමුවී ඇත. මෙම ගොඩනැඟිල්ල මහල් 9කින් සමන්විත වන අතර ඉහළම මහලේ ජලතටාකාංගණයක්ද වේ. නිවාස රාශියක මිනිසුන් පදිංචිව සිටින අතර වැඩි ප්‍රමාණයක් ද්‍රවිඩ ජාතිකයන් බව පොලිසිය කියයි. මිය ගිය තැනැත්තා 69 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි. කොළඹ පදිංචිව සිටි මොහු ඇමෙරිකානු පුරවැසියකු බවත් ඇමරිකානු හැදුනුම්පත් හා ගුවන් ගමන් බලපත්‍රයක්ද හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.

කාන්තාව කිලිනොච්චියේ පදිංචිකාරියක් බවත් 33 හැවිරිදි වියේ පසුවූ ඇය වසර කිහිපයක් තිස්සේ මෙම නිවසේ ජීවත්ව සිට ඇති බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. මේ වන විට මළ සිරුරු කලුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. රණවීර මහතාගේ අධීක්ෂණය මත වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති සමරකෝන් බණ්ඩා මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා