|
||
ඇෆ්ගන් සරණාගතයන්ට සීත සෘතුවත් හරස් වෙයි
|
නේටෝ බෝම්බ ප්‍රහාරයන් හා තලේබාන් බියගැන්වීම් හේතුකොටගෙන පලා ගොස් සරණාගත කඳවුරු ගතව සිටින ඇෆ්ගන් සරණාගතයන් දහස්ගණනකට දැන් අලුත් සතුරකුට මුහුණ දීමට සිදුව ඇතැයි පැවසේ. මේ සතුරා අනෙකෙකු නොව ඔවුන්ගේ දරුවන් පවා බිලිගන්නා අසාමාන්‍ය ශීත සෘතුවයි.
දැනට වසර 4කට පෙර නේටෝ බෝම්බ ප්‍රහාරවලින් බේරීමට සිය ගම්මානය අත්හැර දමා ආ ගොවියකු පවසා ඇත්තේ පසුගිය සතියයේ අධික ශීත නිසා සිය තෙහැවිරිදි හා දෙහැවිරිදි දරුවන් දෙදෙනා මියගිය බවය.උදෑසන ඔහු පිබිදෙන විට නිදි පැදුරේම දරුවන් මිය ගොස් සිට ඇත. මේ කඳවුරු ජීවිතය බෙහෙවින්දුෂ්කර බවත් ඉතිරිව සිටින දරුවා සම්බන්ධයෙන් බියෙන් පසුවන බවත් ඔහු කියා තිබේ. තලේබාන් පාලනය පෙරළීමෙන් පසු ඩොලර් බිලියන ගණනින් ඇෆ්ගනිස්තානයට ආධාර ලැබුණ ද තවමත් එරට ලෝකයේ දිළිඳුම රටක් ලෙස සැළකී ඇත.
විදේශ හමුදාවන්ට ඔත්තු සැපයූ බවට චෝදනා කරමින් සිය මාමණ්ඩියක තලේබානුවන් මරා දැමීමෙන් පසු වසර ගණනාවක් තිස්සේ සරණාගත කඳවුරක වසන පුද්ගලයකු පවසා ඇත්තේ ශීත සෘතුව ඇරඹීමෙන් පසු අධි ශීතය දරා ගත නොහී දරුවන් රාශියක් මිය ගොස් ඇති බවය. කාබුල් නගරයේ පමණක් එවන් කඳවුරු 40ක් පමණ තිබෙන බවත් පසුගිය මාසයේ පමණක් දරුවන් 15දෙනකු පවත්නා කාලගුණ තත්ත්වය යටතේ මිය ගොස් ඇති බවත් බලධාරීහු පවසති.