තෙලට බේත වර්ජනේ ද?

තෙලට බේත වර්ජනේ ද?

ඉ න්ධන මිල ඉහළ ගිය බව රහසක් නො වේ. තෙල් නිපදවන රටවල පවත්නා දේශපාලන අර්බුද, ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම, යුරෝපයේ ශීතකාලය තුළ තෙල් ගබඩා කිරීම ඔපෙක් සංවිධානයේ තීන්දු හා තීරණ යනුවෙන් සාධක රැසක් තෙල් මිල ඉහළ යෑමට බලපා තිබේ. ඇතැම්විට ඉදිරි කාලය තුළ තවදුරටත් මේ මිල ඉහළ යා හැකි ය. එම යථාර්ථයට මුහුණදීමට අපට සිදු ව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ ම තෙල් අලෙවිය සිදු කර ඇත්තේ ඊට යම් සහනයක් එකතු කරමින් ය. එය ආදායම් පිළිබඳ විසමතාවකින් තොර ව කාටත් පොදු වේ ලැබිණි.

මේ සහනය නිසා ආණ්ඩුව දිගින් දිගට ම පාඩු ලැබී ය. ඩීසල්, භූමිතෙල්, පැට්රල් යන සියලුම ඉන්ධන වර්ග අලෙවියෙන් ආණ්ඩුවට යම් පාඩුවක් විඳින්නට සිදු විය. දැන් තෙල් මිල සංශෝධනය කර ඇතත් පාඩුවක් විඳින්නට සිදු වනු ඇත. එය අව ම කර ගැනීමේ අපේක්‍ෂාව මත අත්‍යවශ්‍ය සේවාවලට පමණක් තෙල් සහනය ලබාදීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව බස් රථ, ත්‍රි රෝද රථ, පාසල් වෑන් රථ හා ධීවර බෝට්ටු සඳහා තෙල් සහනය ලැබේ. එම වැඩසටහන ඊයේ සිට ම ක්‍රියාත්මක ය. මේ තීන්දුව නරක නැත. සුඛෝපභෝගී මොන්ටේරෝ රථයක ගමන් කරන පොහොසතකුට තෙල් සහන ලබාදීම අසාධාරණයකි.

කුමන ආණ්ඩුවක් පැවතියේ වුව; එහි නායකයා කවුරුන් වුව ඉන්ධන මිල පහත හෙළීමට බැරි වනු ඇත. ඉන්ධන මිල සම්බන්ධයෙන් කරනු ලබන විවේචන සත්‍ය – හේතුමත පදනම් නො වන ව්‍යාජ විවේචන ලෙස බැහැර කරන්නට සිදු වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විවේචනය වන්නේ ආණ්ඩුවේ වංචා හා දූෂණ පියවා ගැනීම සඳහා ඉන්ධන මිල ඉහළ දමා ඇති බව ය. ඔවුන් ලෝක වෙළෙඳ පොළහි තත්ත්වයන් නිරීක්‍ෂණය නො කිරීම අවාසනාවන්ත තත්ත්වයෙකි. මෙබඳු අවස්ථාවක සියලු පක්ෂ යථාර්ථය වටහාගෙන ඊට මුහුණදීම සඳහා පෙළගැසීම වඩා වැදගත් ය.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලකයා සියලු දේ දකින්නේ දේශපාලන පාට කන්නාඩියෙන් ය. ශ්‍රී ලංකාවේ රජය ගෙන යන මහජන සහන ඔවුන්ගේ විමර්ශනයට හසු නො වේ. ශ්‍රී ලංකාවේ රජය නොමිලේ අධ්‍යාපනය ලබා දේ. නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දේ. සමෘද්ධි සහනාධාරය හා පොහොර සහනාධාරය ලබා දේ. රටේ සංවර්ධනය සඳහා විශාල ධනයක් යට කරනු ලැබේ. මේවාට අවශ්‍ය මූලධනය සපයා ගනු ලබන්නේ බදු, චක්‍ර බදු හා ෂ;ද්ශ ණය මඟිනි. මේ හැරෙන්නට ආණ්ඩුව බිස්නස් කරන්නේ තැත. බදු කපාහැරිය යුතු යැයි කිසිවකු තර්ක කරත් ද එය මෝඩ තර්කයක් වනු ඇත.

රජය ලබාදෙන සහනවල යම්බදු වෙනසක් ඇතිකිරීම සාධාරණ ය. මන්ද යත්; මේ වන විට සහන නොලැබිය යුතු පිරිස් ද සහන ලබාගන්නා නිසා ය. සුඛෝපභෝගී වාහන භාවිත කරන සුපිරි ගණයේ පොහොසතුනට, ව්‍යාපාරිකයනට ඉන්ධන සහනය ලබා දිය යුතු නැත. එයින් සිදු වන්නේ සහන කොල්ලකෑමකි. ආණ්ඩුව තෙල් සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව නිවැරැදි යැයි අප කියනුයේ ඉහත තර්කය මත ය. මීට විරුද්ධ වන අය රටේ ආර්ථිකය ගැන සාධාරණ ලෙස කල්පනා කරන්නේ යැයි අපි නො පිළිගනිමු.

ශ්‍රී ලංකාවට බොර තෙල් හා ගෑස් පිළිබඳ සිහිනයක් ඇති’මුත් තව ම එය යථාර්ථයක් වී නැත. ඒ අනුව තවත් වසර ගණනාවක් යනතුරු ඉන්ධන ආනයනය කිරීමට සිදු වේ. ඉන්ධන ආනයනය සඳහා කැප කළ යුතු මුදල මුළු ආනයන වියදමෙන් 25% ක් පමණ බව කියැ වේ. මුළු අපනයන ආදායමෙන් 80% ක් පමණ ඒ සඳහා වැය කළ යුතු බව ද කියැ වේ. ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය කරන රටක් නොවන බැවින් දිගට ම මේ ප්‍රශ්නය පවතිනු ඇත. දැන් සිදුවිය යුත්තේ අරපිරිමැස්මෙන් බලශක්තිය පාවිච්චි කිරීම ය. අමතක නො කළ යුතු කරුණ නම්; විදුලිය නිෂ්පාදනය සඳහා ද තෙල් වැය කරන බව ය.

ඉන්ධන මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙය නො වේ. ආසන්න අත්දැකීමක් ගතහොත් 2008 දී ලෝක තෙල් අර්බුදයක් මතුවිය. ශ්‍රී ලංකාව ඊට සාර්ථකව මුහුණ දුන් බව අපට මතක ය. එදා ඉරාන රාජ්‍යයේ සහාය ද අපට ලැබිණි. අද එම රාජ්‍යය පවතින්නේ අර්බුදයක ය. ඉරාන රජය අපට ලබාදුන් සහන හා ආධාර ඉදිරියට අපේක්ෂා කළ නො හැකි ය.එම යථාර්ථයට ද මුහුණ දෙමින් තෙල් අර්බුදයට විසදුමක් සොයා ගත යුතු ව තිබේ. ඇතැම් වියදම් කපාහැරීමට සිදුවනු ඇත. සත්‍ය ලෙස ම සහන ලැබිය යුතු පිරිස ද නිවැරැදිව තෝරාගැනීමට සිදු වනු ඇත.

රටක ආර්ථිකය යම් දුෂ්කර අඩියකට පත් වු කල සියලු දෙනා සාමුහික ව ඊට මුහුණ දිය යුතු ය. එසේ නො මැති ව බොර දියෙහි මාළු බාන්නට ගියහොත් අපගේ අනාගතය අඳුරු වනු ඇත. ආණ්ඩුව ඉතා සාධනීය ආර්ථික පියවර රැසක් ගෙන ඒවා ක්‍රියාත්මක කරමින් සිටී. නිදසුනක් ගතහොත් මේ වන විට රට තුළ දහතුන් ලක්ෂයක් පමණ රාජ්‍ය සේවකයෝ සිටිති. සෑම නිවෙස් එකොළහකට ම එක් රාජ්‍ය සේවකයකු හෝ ඇති බව ගණන් බලා තිබේ. මේ රාජ්‍ය සේවකයන් ආණ්ඩුව විසින් නඩත්තු කළ යුතුව තිබේ. ඒ සමඟ ම රාජ්‍යා’යතන පාඩු නො ලබන තත්ත්වයකට පත්කළ යුතුව තිබේ.

ආණ්ඩුවක් ගෙන යෑම හා රටක ආර්ථිකයක් හැසිරවීම දුෂ්කර හා සංකීර්ණ රාජකාරියෙකි. ව්‍යාපාරයක් පවත්වාගැනීම, පොල් මෝලක් නඩත්තු කිරීම වැනි සරල කටයුත්තක් ලෙස එය විවේචනය කළ යුතු නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා