බස් වර්ජනය අවසන්

බස් වර්ජනය අවසන්

බස් ගාස්තුව 20%කින් ඉහළට

අවම ගාස්තුව රුපියල් 9යි

පෞද්ගලික බස් රථ හිමියන් විසින් පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ බස් රථ වර්ජනය ඊයේ (13) රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට බස් රථ සංගම් තීරණය කර තිබේ.

ජාතික ප්‍රවාහන කොමිසම සහ බස් රථ සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළඹ ඇති අතර සියලු පෞද්ගලික බස් රථ අද සුපුරුදු පරිදි ධාවනය කිරීමට සංගම් එකඟතාවට පැමිණි බව එම කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා දිනමිණට පැවැසීය.

බස් ගාස්තු සියයට විස්සකින් ඉහළ දැමීමටත් අවම ගාස්තුව රුපියල් නවය දක්වා වැඩි කිරීමටත් මේ සාකච්ඡාවේදී එකඟතාව පළ කෙරී තිබේ.

නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක අතර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහාද ගාස්තු වැඩි වීම අදාළ වේ. 2013 පෙබරවාරි 14 වැනි දින දක්වා මේ නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන අතර ඩීසල් මිල සියයට 10 කින් වැඩි නොවුණහොත් මේ කාලය තුළ යළිත් බස් ගාස්තු ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

ඉන්ධන මිල සංශෝධනය නිසා සිදුවන අපහසුතා මඟ හරවා ගැනීමට පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ ඉන්ධන සහනාධාරය සහ සෑම වසරකම ජූනි මාසයේ සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය මේ වසරේ සිදු නොකෙරෙන බවත් හෙතෙම පැවසීය.

ජාතික ප්‍රවාහන කොමිසම සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ අතර සියයට විස්සකින් බස් ගාස්තු ඉහළ දැමීමට එකඟතාව පළ කෙරුණු නිසා වර්ජනයෙන් ඉවත්වීමට සිය සංගමය තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා