දකුණු කොරියාවෙන් රැකියා අවස්ථා 565ක්

දකුණු කොරියාවෙන් රැකියා අවස්ථා 565ක්

දකුණු කොරියාවේ රැකියා වෙනුවෙන් නව රැකියා ගිවිසුම් 565 ක් ලැබී තිබෙන බව දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මෙම රැකියා ප්‍රමාණය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර එයින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා බව දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් දිනමිණ ට පැවසුවාය. පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමතුන් සඳහා මෙම රැකියා ප්‍රමාණය ලැබී තිබෙන බවද එම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් මේ වන විට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන බවද එම ප්‍රකාශිකාව සඳහන් කළාය.

පසුගිය වසරේ පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 9998 දෙනෙකු සමත්වූ අතර එයින් ඉහළම ලකුණු ලැබූවන් වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක්ද පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පියවර ගත්තේය.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවන්ට අමතරව ධීවර ක්ෂේත්‍රයේද රැකියා ලැබී තිබෙන බව පෙන්වාදෙන දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමත් සෙසු පිරිසටද ඉදිරියේදී රැකියා අවස්ථා ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා