බස්වලට ගල් ගැසූ 46ක් අත්අඩංගුවට

බස්වලට ගල් ගැසූ 46ක් අත්අඩංගුවට

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (13) පැවැත්වූ වැඩ වර්ජනයට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම සිය බස් ධාවන කටයුතු අඛණ්ඩව කරගෙන යාම නිසා කුපිත වූ පිරිස් ධාවනය වූ බස්රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර බස් ධාවනයට බාධා කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් පුද්ගලයන් 46 දෙනකු මාතර, ජාඇළ සහ නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මෙයින් මාතර දී 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගය අවහිර කර ධාවනය වූ බස් රථවලට ප්‍රහාර එල්ල කිරීම නිසාය. ජා-ඇළ දී අත්අඩංගුවට පත් තිදෙනකු ධාවනය වූ බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල කරන මොහොතේම අත්අඩංගුවට ගත් බවත් ඉතිරි සැකකරුවන් 29 දෙනා ධාවනයේ යෙදුනු බස් රථයක සේවකයකුට පහර දීම සහ සාමය කඩවන ලෙස හැසිරීම නිසා නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දිනමිණට පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණ යනු මූලික මිනිස් හිමිකමක් බවත්, ඒ මුවාවෙන් දේපළ හානි කරන්නන්ට එරෙහිව නීතියේ ප්‍රතිපාදන ඇති බවද පොලිස් අධිකාරීවරයා සිහිපත් කළේය. කෙසේ වෙතත් මහමඟ රැදී සිටින මගීීන් හැකි පමණ තම ගමනාන්තය දක්වා රැගෙන යාමට මහමග ගමන් ගන්නා වාහනවල සහාය පොලිසියේ මැදිහත් වීමෙන් ලබා දීමට සෑම පොලිස් නිලධාරියකුම කටයුතු කළ බව ජනතාව කෘතවේදීව සිහිපත් කරන බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

ධාවනයේ යෙදෙන බස් රථවලට මහජනතාවට සහ මහජන දේපොළවලට හානි කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පති ඇන්. කේ. ඉලංගකෝන් මහතා නියෝග කර තිබිණි.

පොලිස්පතිවරයාගේ නියෝගය ඊයේ පෙරවරුවේ දිවයිනේ සියලුම පොලිසිවලට දැනුම් දී ඇත.

කුරුණෑගල, නුගේගොඩ, මහනුවර, ගාල්ල, කෑගල්ල, දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක බස් රථ ධාවනය ඇන හිට තිබුණ ද පහර දීම් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියා වාර්තා වී නොමැත.

සෑම ප්‍රදේශයකම සාමය පවත්වාගෙන යාමට විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙසට ද පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

සිදුවූ පහරදීම් වලින් කිසිවකුටත් බරපතළ තුවාල සිදුවූ බව හෝ වෙනත් හානි වාර්තා වී නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා