ඉන්ධන සහනාධාරය ඊයේ සිට ක්‍රියාත්මකයි

ඉන්ධන සහනාධාරය ඊයේ සිට ක්‍රියාත්මකයි

මසකට කෝටි 190ක්

සහන අවශ්‍ය සියලු ක්ෂේත්‍රයන් සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය ඊයේ (13) සිට ක්‍රියාත්මක බව රජය අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා හා ධීවර බෝට්ටු හිමිකරුවන් වෙනුවෙන් මේ ඉන්ධන සහනය ලබාදීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මාසිකව වෙන්කරන මුදල රුපියල් කෝට් 190 ක් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ධීවර බෝට්ටු හා විදුලිය නොමැති නිවාස ආදිය වෙනුවෙන් සහනය හිමි වෙයි.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ එකඟතාව මත ඔවුන් දිනකට ධාවනය කරන දුර ප්‍රමාණය ගණනය කර ජාතික ප්‍රවාහන කොමිසමේ නිර්දේශ මත ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා වැඩිවූ ඉන්ධන මිල අදාළ බස් හිමියන්ට ගෙවන බවද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය කියයි.

මේ සහනාධාරය විධිමත්ව ක්‍රියාත්මක කරන තෙක් පෞද්ගලික බස්රථ හිමියන්ගේ බැංකු ගිණුම්වලට විශේෂ අත්තිකාරම් මුදලක් ඊයේ (13) සිට බැර කිරීමට පියවර ගෙන ඇත. එමඟින් බලපත්‍රලාභී බස්රථ හිමියන්ට මේ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක්ද පැන නොනඟිනු ඇත.

මඟී ප්‍රවාහන ත්‍රීරෝද රථ වෙනුවෙන් දිනකට පෙට්‍රල් ලීටර් 3 ක් සඳහා ලීටරයට රුපියල් 10 බැඟින් ඉන්ධන සහනාධාරයක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ.

ඊට අමතරව ධීවර අමාත්‍යාංශයේ නිර්දේශ අනුව බෝට්ටු හිමියන් දෛනිකව භාවිත කරන ඉන්ධන ප්‍රමාණය සළකා වැඩි වූ ඉන්ධන ගාස්තුව මේ සතියේ සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ.

මේ අතර ජාතික ප්‍රවාහන කොමිසමේ හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ ලියාපදිංචිවී ඇති පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඔවුනට ද දිනකට ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය අනුව සහනාධාරය ලබා දෙයි.

ඊට අමතරව විදුලි බලය නොමැති පවුල් වෙත සමෘද්ධි නිලධාරීන්ගේ මාර්ගයෙන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ භූමිතෙල් සහනාධාර මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු යොදා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා