ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත ධීවරයෝ විරෝධතාවක

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත ධීවරයෝ විරෝධතාවක

ඉහළ දැමූ ඩීසල් හා භූමිතෙල් මිල පහතට දමන ලෙසට ඉල්ලමින් හලාවත ප්‍රදේශයේ ධීවරයන් 5000ක් පමණ දෙනා ඊයේ (13 දා) මුහුදු යාම වර්ජනය කරමින් හලාවත නගරයේදී විරෝධතාවක නියැලිණි.

ප්‍රදේශයේ ධීවර සංවිධාන 18 ක නියෝජිතයන් එම තීරණය ගත් අතර, ඒ අනුව හැම ධීවරයකුම තම යාත්‍රා ගොඩකරයට ඇද දමා තිබුණි. අනතුරුව එම පිරිස වැල්ල ධීවර ගම්මානයේ සිට සාමකාමීව පා ගමනින් නගරයට පැමිණ කොළඹ, පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ඇරඹූහ.

පාර හරහා කොට දමමින් ටයර් පුළුස්සා දැමීම නිසා මුළු නගරයම කළු දුමාරයෙන් වැසී ගොස් තිබුණි.

හලාවත වෙරළ තීරයේ ගම්මාන ගණනාවක ධීවරයන් එහිදී වාහන ගමනාගමනයට බාධා එල්ල කළහ. රෝගීන්ව රෝහලට රැගෙන යාමට පමණක් විරෝධතාකරුවෝ ඉඩ සැලසූහ.

නගරයේ තැන තැන සවිකර තිබූ මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ඔසවා තැබූ කටවුට් කඩා ගිනි තබනු දැක ගත හැකි විය.

ධීවරයන් භූමිතෙල් සහනාධාරය වෙනුවට තමනට පෙර මිලට භූමිතෙල් ලබා දෙන ලෙස ඉල්ලූ අතර, එය ඉටු නොකරන්නේ නම් අද (14) සිට තම පවුල් සමඟ තමන් යළි විරෝධතා අරඹන බවත් කීහ.

හලාවත පොලිසිය සාමය රැකීමට පියවර ගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා