|
||
පාකිස්තාන අගමැතිට නඩු පැවැරේ
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති යුසුෆ් රාසා ගිලානිට එරෙහිව නඩුවිභාගයක් පැවැත්වෙන බව ඊයේ ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කෙරිණ. එහෙත් ඔහුට එරෙහි චෝදනාවන්ට තමා වරද කරු නොවන බව ඔහු ප්‍රකාශකර තිබේ. මේ නඩු විභාගයෙන් ඔහු වරදකරු වූවොත් සිය ධුරය අහිමිවීමට අමතරව හය මසක සිරදඬුවමක් විඳීමටද ඔහුට සිදුවන්නේය පාකිස්තාන ජනාධිපති වරයාට එරෙහි දූෂණ චෝදනා විමර්ශනයට අධිකරණ නියමය පරිද්දෙන් ස්විස් බලධාරීන් යොමු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම පිණිස ඊයේ උදේ අගමැතිවරයා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබුණු අතර අගමැති ධුරය හොබවද්දී එම අධිකරණය විසින් චෝදනාවට ලක්කළ පාකිස්තානයේ පළමු අගමැතිවරයා බවට ඔහු පත්වන්නේය. මේඅනුව ඊයේ අධිකරණයට කැඳවනු ලැබූ ගිලානි එහි පැමිණ සුළු වේලාවකින් පසුව චෝදනාවට ලක් කෙරිණ. චෝදනාව කියවනු ලැබූ විනිසුරු නසීර් උල් මුල්ක් එම චෝදනා ඇසුනේදැයි ඔහු ගෙන් විමසුවේය. “ඔව් “යනුවෙන් ගිලානි පිළිතුරු දුන්නේය. “ඔබ වරද පිළින්ගන්නේද?” විනිසුරු ඇසීය . “නැහැ “ ගිලානි කීවේය . ඒ අනුව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයාට අධිකරණ ය නියම කැරුණි . ඒ සමඟම විත්තියට අදාල ලිපි ලේඛන ඉදිරිපත්කිරීමට විත්තියට පෙබරවාරි 27 තෙක් කල් ලබා දෙන ලදී. එම ලේඛන 28 දා අධිකරණයේ වාර්තාවීමෙන් පසු නඩුවිභාගය සඳහා දින නියම කරන බව පැවසී තිබේ. මුල පටන්ම ගිලානි කියා තිබුණේ ජනාධිපතිවරයා ට ධුරයෙන් ම මුක්තියක් හිමි ව තිබෙන බවය. මෙය දේශපාලන අරමුණු සපුරා ගැන්මට දැරෙන ප්‍රයත්නයක් බව ට ඔහු චෝදනා කරයි . |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |