ජනතාව උසිගන්වන්නෝ ජීවිතවලට වගකිවයුතුයි

ජනතාව උසිගන්වන්නෝ ජීවිතවලට වගකිවයුතුයි

අනුර පි‍්‍රයදර්ශන යාපා
පරිසර ඇමැති

න්ධන මිල සංශෝධනය හා ඒ සම්බන්ධයෙන් උද්ගත වී ඇති වාතාවරණය හා උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම ඇතුළු වර්තමාන කතාබහට ලක් වී ඇති කරුණු සම්බන්ධයෙන් පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා සමඟ කෙරුණු සාකච්ඡාවකි මේ.

* තෙල් මිල ඉහළ දැමීම මේ දිනවල කතාබහට ලක් වී ඇති ප්‍රධානතම කාරණයයි. තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළේ ඇයි?

තෙල් මිල ඉහළ දැමීමේ ප්‍රධාන හේතුවක් වෙන්නේ ඉරානය හා බටහිර රටවල් අතර ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උද්ගත වී අර්බුදය. ඉරානය ලෝකයේ පස්වැනි විශාලතම තෙල් සපයන්නා. මේ වන විටත් යුරෝපා සංගමය ඉරානයට සම්බාධක පනවා තිබෙනවා. තවත් රටවල් ඉරානයට සම්බාධක පැනවීමට සූදානම් වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වහනවා කියලා ඉරානය තරජනය කරලා තියනවා. මේ වාතාවරණය ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්න අපටත් සිදු වුණා. අපි ඒ වන විටත් ඉන්ධනය සහනාධාරය ලබා දෙමින් සිටියේ. ඩීසල්වලට රුපියල් 26ක හා භූමි තෙල්වලට රුපියල් 38ක සහනාධාරයක් ලබා දුන්නා. ඒත් ලෝක වෙළෙඳ පොළේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව තවදුරටත් සහන ලබා දෙන්න අපට නොහැකි වුණා. කිසිදු ලාබයක් තබා නොගෙන අකමැත්තෙන් වුවත් ඉන්ධන මිල සංශෝධනය කරන්න අපට සිදු වුණා.

* ඉන්ධන මිල ඉහළ නොදමා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණේ නැද්ද?

මීට පෙර සිටි රජයන් ද මෙවැනි මිල සංශෝධන කරලා තිබෙනවා. අපේ රජයත් කරලා තිබෙනවා. ඒ වගේ ම ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටුණු අවස්ථාවල අපිත් මිල පහළ දමලා තියනවා. රජය තෙල් මිල ඉහළ දැම්මේ කැමැත්තකින් නෙමෙයි. මේ සංශෝධනය තාවකාලික තීරණයක් විතරයි. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ වැටුණු විගස අපිත් මිල පහළ දමනවා. රජය මේ වන විට ඉතා ඉහළ සුබ සාධන සේවාවක් පවත්වාගෙන යනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සේවාවන්ද සමෘද්ධි හා පොහොර සහනාධාර ද ඒ අතරින් ප්‍රධානයි. අපිට මේ සියල්ල කපාහරින්න බැරි නිසා ඉන්ධන මිල වැඩි කරන්න සිදු වුණා.

* ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වීමක් සිදු වී නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිබුණා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ බැහැලා කියලා. මම එතුමාට කියන්න කැමතියි අන්තර්ජාලයට ගිහන් තෙල් මිල පහළ බැහැල ද ඉහළ ගිහින් ද කියලා හොදින් පරීක්ෂා කරලා බලන්න කියලා. දේශපාලනඥයන් සමහර විට බොරු කියනවා මම දැකලා තියනවා. ඒත් මෙහෙම බොරු කීමක් මම ජීවිතෙට දැකලා නෑ. පසුගිය වසරේ දෙසැම්බර් වන විට ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90යි. පසුගිය ජනවාරි වන විට එය අමෙරිකානු ඩොලර් 107 දක්වා ඉහළ ගිහින් තිබුණා. පසුගිය 15 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් 119ක් වුණා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තිබුණා අපි ඉරානය බදාගෙන හිටියා වැඩියි කියලා. අපි ඉරානයෙන් තෙල් මිල දී ගන්නවා තමයි. මේක අද ඊයේ සිදු වුණු දෙයක් නෙමෙයි. ෂා රජතුමාගේ කාලෙත් අපි ඉරානයෙන් තෙල් මිල දී ගත්තා. අදත් එහෙමයි. අපි පිරිපහදු කරන්නේ ඉරානයෙන් මිල දී ගන්නා තෙල්. දැන් අපි පිරිපහදුවට ලක් කරන්නේ සියයට 35ක පමණ ප්‍රමාණයක්. අනෙක් තෙල් අපි මිලදී ගන්නේ ලෝක වෙළෙඳ පොළෙන්. තවත් පැත්තකින් අපේ බැංකුවලට පීඩනයක් එල්ල වෙලා තියනවා. මේක තමයි පවතින ආර්ථික යථාර්ථය. අපි එය ජනතාවට පැහැදිලි කරනවා. ජනතාව එය පිළිගන්නවා.

* හලාවත ධීවර උද්ඝෝෂණයේ දී ධීවරයෙක් මිය ගොස් තිබෙනවා. මෙවන් තත්ත්වයක් උද්ගතවීමට බලපෑ හේතු මොනවද?

මේ උද්ඝෝෂණය උසි ගැන්වීමක ප්‍රතිඵලයක්. අපි ධීවර බෝට්ටුවලට ඉන්ධන සහනාධාරය ලබා දෙන්න ධීවර සමිති සමඟ සාකච්ඡා කළා. සහනාධාරයේ ප්‍රමාණය සම්බන්ධයෙන් තීරණයකට එන්න අපට හැකි වුණා. ධීවර සමිති අපිත් සමඟ එකඟ වුණා. එසේ තිබියදීත් එක් ප්‍රදේශයකින් මෙවැනි උද්ඝෝෂණයක් පැන නැඟෙන්න හේතුව මෙහිදී කවරෙක් හෝ ධීවරයන් මෙහෙයවනවා. ඒකෙන් සිදු වුණේ අහිංසක ධීවරයෙක් මිය යාම විතරයි. රජය ඒ ගැන කනගාටු වෙනවා. මේ උද්ඝෝෂණය පසු පස සිටින, මිනිසුන් උසිගැන්වූ අය ඒ සඳහා වගකියන්න ඕන.

* උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා මානව හිමිකම් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ ප්‍රකාශ කරන්නේ කුමක්ද?

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළේ ආණ්ඩුව. ඒ වගේ ම මේ කොමිසමට ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩ දුන්නා. කොමිසමේ වාර්තාවෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. මෙමගින් විවිධාකාර යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපතිට ලැබෙන වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වුණත් රජය මේ වාර්තාව ප්‍රසිද්ධ කළා. මේ වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කරන්න අමාත්‍යංශ හා ඒ යටතේ ඇති විවිධ ආයතන මේ වන විට පියවර ගෙන තිබෙනවා. අපි මේ වන විට විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. අවතැන් වූ ජනතාව පදිංචි කළා. ඒක දැවැන්ත කාර්යයක්. ඒ වගේ ම යටිතල පහසුකම් ලබා දී තිබෙනවා. පාසල්, සෞඛ්‍ය පහසුකම් ලබා දී තිබෙවා. වෙනත් කිසිම රටක් නොකළ විදිහට සාමාන්‍ය ජනතාව ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න අප කටයුතු කර තිබෙනවා. අපි මානව හිමිකම් කමිටුවට සහභාගි වෙනවා. එහිදී අපට හොඳීන් කරුණු ප්‍රකාශ කරන්න පුළුවන්.

* ආර්ථිකය හා පරිසරය අතර ගැටුමක් පවතින වත්මන් තත්ත්වය තුළ ඒ සඳහා මුහුණදීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන්නේ කොහොමද?

මුළු ලෝකයම ධනවාදී පාරිභොගිකවාදී ආර්ථික රටාවක ගමන් කරමින් සිටිනවා. ඒත් මේ රටාව කඩා වැටෙමින් තිබෙනවා. මොකද මුළු ලෝකයම ස්වාභාවික සම්පත් අධික ලෙස ගිල දමමින් සිටිනවා. තෙල් ආදී ස්වාභාවික සම්පත්වල මිල ඉහළ යන්න මෙය හේතුවක් වී තිබෙනවා. සෑම දෙයක් ම වානිජකරණය වීම තුළ විශාල පීඩනයක් ඇති වී තිබෙනවා. එහෙම වුණත් අපේ රටේ ප්‍රධාන මර්මස්ථාන රජය සතුව තිබෙනවා. අපි ගොවියන්ට සහන දෙනවා. ඒ වගේ ම නිෂ්පාදන මිලදී ගන්නවා. නිෂ්පාදනයටත් රැකියා උත්පාදනයටත් අපි උදවු කරලා තිබෙනවා. අද ලෝකයේ ධනපතිවාදී පාරිභෝගික ආර්ථික රටාවක් ක්‍රියාත්මක වුවත් අපට කළමනාකාරිත්වයකින් යුතුව එයට මුහුණ දිමට හැකි වී තිබෙනවා. ජනතාවගේ ජීවන මට්ටමේ විශාල දියුණුවක් ඇති කරන්න අපට හැකි වුණා. රට සංවර්ධනය කරන සුබවාදි වැඩපිළිවෙළක අපි නියැළී සිටිනවා.

* ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් විවිධකාර මතවාද, අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාවට ඔබ ජනතාවට ප්‍රකාශ කරන්නේ කුමක්ද?

රටේ අරාජික තත්ත්වයක් ඇති කරන්න ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. ඔවුන ජනතාව කුපිත කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටිනවා. සාධාරණ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒක කතා කරන්න සූදානම්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු දෙයක්. ප්‍රශ්න තිබෙනවා නම් ඒවා සාකච්ඡාවෙන් විසඳාගන්න අප සූදානම්. ආණ්ඩුව ජනතාවට විශාල සේවයක් සිදු කර තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගෙන රජයට සහාය දීම ජනතාවගේ යුතුකමයි. සුළුතරයක් වන කඩාකප්පල්කාරී පිරිස්වලට අවනත නොවී රජයේ කටයුතු සඳහා සහාය දැක්වීමට සෑම පුරවැසියකුටම ආරාධනා කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා