කුස පබා වාරණය නිෂ්ප්‍රභා කරන්න

කුස පබා වාරණය නිෂ්ප්‍රභා කරන්න

අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලයි

ආදායම් ඉලක්ක සපිරීමට එකම නගරයක ශාලා දෙකක ප්‍රදර්ශනයේ වරදක් නැහැ

රුපියල් කෝටි නවයක් ආයෝජනය කර නිෂ්පාදනය කළ ‘කුස පබා’ චිත්‍රපටයෙහි අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා එකම නගරයක සිනමාහල් දෙකක ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී නොවන බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වමින් නිකුත් කළ වාරණය විසුරුවා හැර නඩුව නිෂ්ප්‍රභා කරන ලෙසත්, එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙරේදා (16) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

‘කුස පබා’ චිත්‍රපටය අනුරාධපුර විජේන්ද්‍ර සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයට විරෝධතා ගොනු කළ ශ්‍රී ලංකා නිර්මාණ සංසදය එම ඉල්ලීම කළේය. අනුරාධපුර ‘සිනෙස්ටාර්’ සිනමා ශාලා අධිපති විපුල රාජ්පාල් සෙනරත් මහතා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා අධිකරණය ජනවාරි 25 දින මේ වාරණය නිකුත් කළේය.

විත්තිකාර ජාතික චිත්‍රපට සංස්ථාවේ නීති රීති හා රෙගුලාසි අනුව ‘කුසපබා’ ඊ.ඒ.පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් සමාගමට අයත් සිනමා හල්වල පමණක් ප්‍රදර්ශනයට නියමිත බවත්, එම නීතිය උල්ලංඝනය කරමින් නිර්මාණ සංසදයේ අධ්‍යක්ෂිකාවකට හිතවත් විජේන්ද්‍රා සිනමාහලට චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසීම නීති විරෝධී බවත් සඳහන් කරමින් නඩුව පැවරීය.

නීතිඥ අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ එම්. යූ. එම්. අලිසබ්රි මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. පෙරේදා (16) මේ නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවීය. විත්තිකාර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් විරෝධතා ගොනු කරමින් “පැමිණිලිකාර සිනමාහල් හිමිකරු සමඟ චිත්‍රපට අධ්‍යක්ෂ මණ්ඩලයට ගිවිසුමක් නොමැති බවත්, මහින්දාගමනය චිත්‍රපටය ද එකම නගරයක සිනමාහල් දෙකක ප්‍රදර්ශනය කර ඇති බවත්” සඳහන් කර ඇත.

විරෝධතා කරුණු සලකා බැලූ විනිසුරුවරයා පැමිණිල්ලේ කරුණු ලබන 01 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමට නියෝග කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා