අපේ උරුමය පාසල් විෂය මාලාවට

අපේ උරුමය පාසල් විෂය මාලාවට

පාසල් විෂයය මාලාවට “උරුමය” විෂයයක් ලෙස ඇතුළත් කිරීමට කටයුතු කරන බව ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි. බටහිරකරණයට මුහුණ දීම සඳහා උරුම සංසද පිහිටුවීම තුළින් ශක්තිමත් පදනමක් ඇති දරු පරපුරක් බිහිකළ හැකි බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ‘දැයේ උරුමය දරුවන්ටයි’ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඉකුත්දා (16) කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී මේ වැඩසටහන පැවැත්විණි. ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති රටක් බව පෙන්වා දුන් ඇමැතිවරයා, මෙහි ඇති පුරාවස්තු ප්‍රෞඪත්වයකින් යුක්ත බවද පැවසීය. එමෙන්ම අප සතු උරුමය රැකගනිමින් අනාගත දරු පරපුරට එය හිමි කර දීම වැඩිහිටියන්ගේ යුතුකම බවද හෙතෙම කීය.

කොළඹ ප්‍රදේශයේ පාසල් දරුවන් හා ගුරු මහත්ම මහත්මීන් 250 කගේ සහභාගීත්වයෙන් පැවති මේ වැඩසටහනේදී අමාත්‍යාංශයේ ලේකම් කාන්ති විජේතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ සුරනි දුනුසිංහ රචිත ‘අපේ උරුමය’ ග්‍රන්ථය ඇමැතිවරයාට පිළිගැන්විණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, මහාචාර්ය මුදියන්සේ දිසානායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා