සිංගප්පූරු සංචාරය නිමකර ජනපති මවුබිමට සපැමිණෙයි

සිංගප්පූරු සංචාරය නිමකර ජනපති මවුබිමට සපැමිණෙයි

* දෙරටේ මිතුදම ශක්තිමත්

* වෙළෙඳ-ව්‍යාපාරික වාසි

* ආර්ථික සබඳතා දිගටම

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ, ව්‍යාපාරික හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට තුඩුදුන් සිංගප්පූරු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) යළි මවු බිමට පැමිණියේය.

සිංගප්පූරු ජනාධිපති ආචාර්ය ටෝනි ටැන් කෙන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එරට නිල සංචාරයක නිරත වූහ.

ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර දී එරට ජනාධිපති ආචාර්ය ටෝනි ටැන් කෙන් හා අගමැති ලි ෂියන් ලුන් මහත්වරු හමුවී ද්වීපාර්ශවීය වශයෙන් සාකච්ඡා පවත්වන ලද අතර සිංගප්පූරුවේ විශාලතම ජල යෝජනා ක්‍රමය වන මරීන් බරාජ් ජල ව්‍යාපෘතියද නිරීක්ෂණය කළේය.

ඊට අමතරව සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සහ දකුණු ආසියානු පදනම එක්ව සංවිධානය කළ විශේෂ හමුවකටද සහභාගිවූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව එරට නියෝජිතයන් දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ සාඩම්බර කොටස්කරුවන් වන්නැයි ජගත් ප්‍රජාවට ආරාධනා කළේය.

මේ අතර ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ව්‍යාපාරික හා ආයෝජන සබඳතා වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සිංගප්පූරු ව්‍යාපාරික සම්මේලනය අතර ව්‍යාපාරික හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද අත්සන් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සිංගප්පූරු අගමැති ලි ෂියන් ලුන් මහත්වරු ඉදිරියේ දී සිදු කෙරිණි.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෆෙරියල් අෂරොෆ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා