එජාප උද්ඝෝෂණය පුස්සක් බවට පත් වෙයි

එජාප උද්ඝෝෂණය පුස්සක් බවට පත් වෙයි

රනිල් වාහනයෙන් බැස්සෙත් නෑ

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති එජාප උද්ඝෝෂණයේදී ඊට සහභාගි වූ උද්ඝෝෂකයෙක් ගල් මුල්වලින් පොලිසියට පහර දුන් අයුරු.
ඡායාරූප - සුදත් නිශාන්ත

එක්සත් ජාතික පක්ෂය කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (17) පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක විණි. රජයට විරුද්ධව සංවිධාන කර තිබූ විරෝධතා සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි නොවූහ. එජාප සාමාජිකයන් ඉතා සුළු පිරිසක් එක්වී තිබීම කැපී පෙනෙන කරුණක් විය.

දුම්රියපොළ ඉදිරිපිට ඉදිකර තිබූ ජනාධිපතිවරයාගේ සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නායිකාවගේ විශාල නාම පුවරුව හා රජයේ සංවර්ධන නාමපුවරු උද්ඝෝෂකයන් කඩා බිඳ දමා ගිනි තැබූහ. උද්ඝෝෂකයන් දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් පෙළපාළියකින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ව විසුරුවා හැරිණි.

මේ අතර විපක්ෂ නායකවරයා උද්ඝෝෂණයට සහභාගි වී සිටියේ ඔහුගේ සුඛෝපභෝගී රථය ඇතුලේ සිටම ය. මේ අතර සජිත් ඇතුළු එජාප ප්‍රධාන පෙළේ නායකයන් උද්ඝෝෂණයට නොපැමිණ සිටි නිසා ඊට සහභාගි වූ ඇතැම් පිරිස් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බැණවදිමින් නැවත නිවෙස් කරා යනු දැකගත හැකි විය. කොටුව දුම්රියපොළ ඉදිරිපිට තිබෙන ඕල්කට් තුමාගේ පිළිරුව අසල පැවැති ඕල්කොට් අනුස්මරණ උත්සවයේ ධර්ම පාඨ රැගත් ප්‍රචාරක පුවරු ද එජාප උද්ඝෝෂකයෝ කඩා බිඳ දැමූහ.

උද්ඝෝෂණය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වූ බව රැකියා නිමා වී නිවෙස්කරා යමින් සිටි කාර්යාල සේවකයෝ මෙන්ම දහස් ගණන් කොළඹට පැමිණි සාමාන්‍ය ජනතාව කියා සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා