හිරෙන් පලා ගොස් සොරකමේ යෙදුණු සැකකරුවකු අලවතුගොඩ දී අත්අඩංගුවට

හිරෙන් පලා ගොස් සොරකමේ යෙදුණු සැකකරුවකු අලවතුගොඩ දී අත්අඩංගුවට

පූඬලුඔය අවන්හලක සේවය කරද්දී පොලිසියට කොටු වෙලා

ව්‍යාජ හැඳුනුම්පත් ළඟ තබාගෙන

සිරෙන් පැන ගොස් සොරකම්වල යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය සමත් වී ඇත. මේ සැකකරු පූඬලුඔය ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලද හෝඩුවාවක් අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ප්‍රදේශයේ පරීක්ෂණයක යෙදෙමින් පූඬලුඔය එක්තරා අවන්හලක කොත්තු රොටි සාදමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පදිංචිකරුවකු වන සෙල්ලයියා සිවනේෂ් නොහොත් කුට්ටියා නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

ජැන්ඩියට හැඳ පැළැඳගෙන මාධ්‍යවේදියකු ලෙස මොහු පෙනී සිටිමින් විවිධ උත්සව රැස්වීම්වලදී ඡායාරූප ගැනීම් ආදී කටයුතුවල යෙදී සිටින්නකු බවද, ව්‍යාජ හැඳුනුම්පත් ළඟ තබාගෙන ඒවා ඉදිරිපත් කර ඡායාරූප ශාලාවලින් කැමරා ආදී උපකරණ මොහු විසින් රැගෙන යන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පසුගිය දිනෙක අකුරණ ප්‍රදේශයේ ඡායාරූප ශාලාවකින් කැමරාවක් මෙසේ රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උ.පො.ප. ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න බණ්ඩා, පො.සැ. කරුණාවංශ, පො.සැ. කුලතිස්ස, පො.කො. වීරසිංහ මහත්වරු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා