ATM යන්ත්‍රය කැඩූ සැකකරු සයිරන් නළාවෙන් අල්ලයි

ATM යන්ත්‍රය කැඩූ සැකකරු සයිරන් නළාවෙන් අල්ලයි

කුරුණෑගල මහජන බැංකු මූලස්ථානයේ ඒ. ටී. එම්. යන්ත්‍රය කඩා මුදල් පැහැරගැනීමට තැත් කළ හමුදා සෙබළකු හා ඔහු සතුව තිබු අත්බෝම්බයක් ඇතුළු උපකරණ රැසක් කුරුණෑගල මූලස්ථාන පොලිසිය ඊයේ (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ පිහිටා ඇති මහජන බැංකු මූලස්ථාන පරිශ්‍රයේ මේ ‘පෙට් යන්ත්‍රය’ සවි කොට තිබුණි.

ඊයේ (17) අලුයම 2.52 පමණ පෙට් යන්ත්‍රය කඩා දොරගුල් විවෘත කිරීමට සූදානම් වු අවස්ථාවේ කුරුණෑගල පොලිසියට සම්බන්ධ කර තිබෙන ‘සයිරන්’ නළාවේ අනතුරු ඇඟවීමේ සීනුව නාද වී ඇත. එම මොහොතේ උප පොලිස් පරීක්ෂක පුෂ්පසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මහජන බැංකු මූලස්ථානයට පැමිණ තිබේ.

ඒ සමගම සැකකරු පැන ගොස් කුරුණෑගල වැව සමීපයේ අඩි 10 ක පමණ තාප්පයක් උඩට යාමට උත්සාහ දරා ඇතත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අඩි 6 ක් පමණ උසැති සැකකරු අවුරුදු 22 ක තරුණයෙකි. යුද්ධ හමුදා සක්‍රීය සේවාවේ යාපනය ප්‍රදේශයේ සේවය කරයි. ඔහු කුලියාපිටිය දුම්මලසූරියේ පදිංචිකරුවෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත. මෙම සැකකාර හමුදා සෙබළා ළඟ තිබී ඇඳුම් කට්ටල 10 ක්, අඬුවක් ද හමුවී ඇත.

වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් වංශනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා