යටගිය දවස බණකතා

යටගිය දවස බණකතා

ගණේගම ඤාණකීර්ති හිමි

කුහක තපස් රැකි තවුසා

(බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ කුහක තපස් රකින භික්ෂුවක් මුල් කොට මේ ජාතක කතාව දේශනා කරන ලදී.)

යටගිය දවස බරණැස් නුවර බ්‍රාහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ එක් කුඩා ගමන කුහක තපස් රකිනා ජටාබැඳි තවුසෙක් සිටියේය. ඔහු කෙරෙහි පැහැදුණු එක්තරා දායකයෙක් පන්සලක් සාදා දී නතර කරවා ඇප උපස්ථාන කළේය.

එකල ඒ දායකයා තාපසයාගේ සිල්වත්කම පිළිබඳව විශ්වාස කොට තමන් සතුව පැවැති රන්කලං එක් දහස් පන්සියයක් සොරුන් ගනිතැ යි බියෙන් ආරක්ෂාව සඳහා පන්සලට ගෙනවිත් එක් තැනක නිදන් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තවුසාට බාර කළේය. එවිට තවුසා දායකයා අමතා

“උපාසකයෙනි, බඩු රැස්කොට තැන්පත් කර ආරක්ෂා කිරීම තපස්වරයන්ට සුදුසු නොවන්නේය. අනුන්ගේ වස්තුව පිළිබඳව ද අපට ආසාවක් නැත්තේයැ”යි කීය.

තවුසාගේ ඒ ප්‍රකාශය ඇසූ දායක මහතා ඔහුගේ ඒ ගුණයට ප්‍රශංසා කොට තවුසාගේ වචනය කෙරෙහි විශ්වාසය තබා යන්නට ගියේය.

වංචනිකයකු වූ තවුසා ද කිහිප දිනක් ගත වු පසු දායකයා විසින් ධනය සඟවා තිබූ තැනින් රැගෙන අතරමග වෙනත් ස්ථානයක සඟවා තබා නැවත පැමිණ තමා වාසය කරන අසපුවට වී කල් ගත කළේය. අනතුරුව එක් දිනක් දායකයා පැමිණ දන් පිළිගන්වා අවසන් වූ පසු ඔහු අමතා

“පින්වත් උපාසකයෙනි, තොප නිසා අප බොහෝ දවසක් මෙහි වාසය කළෙමු. එබැවින් බොහෝ දවසක් ගත වී ඇත. එක තැනක බොහෝ කලක් වාසය කිරීමත්, ගිහියන් සමඟ බොහෝ කල් ඇසුරු කිරීමත් සුදුසු නො වන්නේය. එය තපසට කිලුටක් වන්නේය. එනිසා උපාසකයෙනි, අප වෙනත් ස්ථානයකට යන්නෙමු”යි කීය.

තවුසාගේ කතාව ඇසූ දායක මහතා ශෝකයට පත් ව

“ස්වාමිනී, ඔබ වහන්සේට කිසියම් අවශ්‍යතාවයක් ඇත්තේ නම් ඒ සියල්ල මා හට ප්‍රකාශ කළ මැනව, ස්වාමීනි තවදුරටත් මෙම අසපුවේ වැඩ සිටිනු මැනව“

ආදී වශයෙන් ආයාචනා කරනු ලැබූව ද තවුසා එය පිළි නොගෙන ගමනට සූදානම් විය. නැවතත් දායකයා තවුසා අමතා

“ස්වාමිනී, නො නැවතී වැඩම කරන බැවින් ගොස් නැවත වහා මෙතැනට වැඩම කරනු මැනවැ”යි කීය.

ජටා ධර තවුසා ද දායකයා රැවටීමට සිතා අසපුවේ වහලෙන් බිමට වැටුණු තණපතක් ජටාවේ ගසාගෙන ගොස් මඳ දුරක් ගිය පසු නැවත හැරී ආවේය. නැවත පැමිණි තවුසා දුටු දායක මහතා එයට හේතුව විචාළේය. එවිට තවුසා

“උපාසකයෙනි, තොපගේ ගෙයින් පිටත්වන වේලාවේ අපගේ මේ ජටාවෙහි තණපතක් වැටී රැඳී තිබුණි.

සොරකම් කිරීම තාපසයන්ට සුදුසු නො වන බැවින් ඒ තණපත රැගෙන එය ඔබගේ ගෙයි දමා යාම සඳහා නැවත පැමිණියෙමි”යි කීය.

තවුසාගේ බස් ඇසූ දායකයා තවදුරටත් තවුසා කෙරෙහි පැහැදීමට පත් විය. මේ අතර වෙළෙඳාම සඳහා ඒ ගමට පැමිණි බෝසතාණන් වහන්සේ දායකයාගේ ගෙදර ලැගුම් ගත්තේය. දෙදෙනා අතර සුවදුක් කතා කිරීමේ දී තවුසා පිළිබඳව තොරතුරු ඇසූ බෝසත් තුමා

“ඒකාන්තයෙන්ම මේ දුෂ්ට තාපසයා මේ අනුවණ දායකයාගේ තැන්පත් කරන ධනය සොරා ගන්නා ලද්දේයැ”යි

සිතා දායක මහතා සමඟ ගොස් ධනය සඟවා තැබූ තැන පරීක්ෂා කොට බැලුවේය. එවිට එහි සඟවා තිබූ ධනය නො මැති බව දක්නට ලැබුණේය. ;බීසත් තුමා දායක මහතා අමතා

“යහළුව, තොප සඟවා තැබූ වස්තුව ගන්නා ලද වෙනත් කෙනෙකු නැත. මෙය ඒ සොර තාපසයා විසින්ම ගන්නා ලද්දේය. අපි දෙදෙනාම ගොස් ඔහු අල්ලාගෙන ඔහු රැගෙන යන වස්තුව නැවත ගන්නෙමු”

මෙසේ පවසා ඔවුන් දෙදෙනා තවුසා ගිය මග දිව ගොස් තවුසා ලුහුබැඳ අල්ලා අතින් පයින් තළා පෙළා සොරාගත් ධනය නැවත ලබා ගත්තේය. අනතුරුව තාපසයා ඇමතූ බෝසතාණන් වහන්සේ

“මෙපමණ ධනය වංචා කරන ලද තොප තණ පතට අවංක වූ සැටි නම් අපූරුයැ”යි.

පවසා ඔහුට අවවාද කොට මුදා හැරියේය. අනතුරුව දායක මහතාට ද අවවාද කළ බෝසතාණන් වහන්සේ දිවි පමණින් පිංකම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

එකල ජටා ධර තාපසයා නම් කුහක තපස් රකින භික්ෂූන් වහන්සේ ය. ප්‍රඥා සම්පන්න වෙළෙන්දා නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය.

දෙවියන්ට ගිනි තැබූ වෙළෙන්දා

(බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ එකල සිටි එක්තරා සොර වෙළෙන්දෙකු මුල් කරගෙන මේ ජාතක කතාව දේශනා කරන ලදී)

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර වෙළඳ කුලයක උපත ලැබූහ. ඔහුට නම් තබන දවසේ පණ්ඩිතයෝ යනුවෙන් නම් තැබීය. බෝසතාණන් වහන්සේ වැඩි වියට පැමිණි පසු අති පණ්ඩිත නම් වෙනත් වෙළෙන්දෙකු සමග එක්ව වෙළඳාම් කරන්නේය. දිනක් මේ දෙදෙනා එක්ව බරණැස් නුවරින් පන්සියක් පමණ වු ගැල්වල බඩු පටවාගෙන ජනපදයන්හි ගොස් වෙළඳාම් කර ලාබ ලබා නැවත බරණැස් නුවරට ම පැමිණියහ.

අනතුරුව මොවුන් දෙදෙනා එක්ව වෙළඳාමෙන් ලබන ලද ලාභය බෙදා ගැනීමට සූදානම් වූ විට තමාගේ නම ගැන ඉහළින් සිතූ කුට වෙළෙන්දා පණ්ඩිත වෙළෙන්දා අමතා

‘පණ්ඩිතයෙනි, මේ ලාබයෙන් කොටස් දෙකක් මා හට ලැබිය යුත්තේයැ’ යි කීය.

‘අති පණ්ඩිතයෙනි, ඒ කවර කාරණයක් නිසා දැ?’ යි ඇසූ කල

‘පණ්ඩිතයෙනි, තොප පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිත වෙමි. එබැවින් පණ්ඩිතයන් එක කොටසක් ලැබීමට සුදුසු වන්නේය. මම අතිපණ්ඩිත බැවින් කොටස් දෙකක් ලබන්නට සුදුසු වන්නෙමි’ යි කීය.

එය ඇසූ බෝසත් පණ්ඩිත වෙළෙන්දා ඔහුගේ බස් පිළි නො ගෙන

‘අති පණ්ඩිතයෙනි. අප දෙදෙනාගේ බඩු මිලත්, ගැල් සඳහා යොදන ලද ගොනුන් ප්‍රමාණයත් එක සමාන නොවන්නෙහිද? එසේ වූ කල තොප මේ ලාභයෙන් කොටස් දෙකක් ලබන්නට කාරණාව කුමක්දැ?’ ඇසීය.

මේ අයුරින් දෙදෙනා අතර කළහයක් ඇති වූහ. මේ අතර අති පණ්ඩිතයෝ ද තවත් උපක්‍රමයක් කල්පනා කොට තමාගේ පියා කැඳවා ඔහුට උපදෙස් දී ගස් බෙනයක සැඟවීය. එසේ කොට පණ්ඩිත වෙළෙන්දා සමීපයට ගොස්

‘යහළුව, මට කොටස් දෙකක් ලැබීමට සුදුසු බවත් නුසුදුසු බවත් මේ වෘක්‍ෂ දේවතාවා දන්නෙහිය. එබැවින් අප ගොස් ඔහුගෙන් විචාරා ඔහු විනිශ්චය කොට කියන්නක් කරන්නෙමු’ යි

පවසා දෙදෙනාම වෘක්‍ෂය සමීපයට ගොස් වෘක්‍ෂ දේවතාවා අමතා

‘ස්වාමීනි, වෘක්‍ෂ දේවතාවුන්වහන්ස, මොහු පණ්ඩිත නම් වේ. මම අතිපණ්ඩිත නම් වෙමි. අප දෙදෙනා විසින් එක්ව වෙළඳාම් කරන ලද්දෙමු. එහි දී අප දෙදෙනා විසින් ලබන ලද ලාභයෙන් කොටස් දෙකක් කවරෙක් විසින් ලැබිය යුතු වන්නේදැයි විසඳනු මැනවැ’ යි කීහ.

එවිට වෘක්‍ෂ දේවතාවා

‘එම්බා නරයෙනි, පණ්ඩිතයන් විසින් එක් කොටසක් ලැබිය යුත්තේය, අති පණ්ඩිතයන් විසින් කොටස් දෙකක් ලැබිය යුත්තේයැ’ කීය.

වෘක්‍ෂ දේවතාවගේ තීරණය ඇසූ පණ්ඩිත වෙළෙන්දා මෙහි කිසියම් උපායක් ඇතැයි සැක සිතා

‘දැන් තා වෘක්‍ෂ දේවතාවා වන බවත්, වෘක්‍ෂ දේවතාවා නොවන බවත් දැන ගන්නෙමි’ යි

පවසා පිදුරු ගෙන ගස් සිදුරු පුරවා ගිනි දැල්වීය. එවිට ගස් බෙනෙහි සැඟව සිටි අති පණ්ඩිත වෙළෙන්දාගේ පියා ගිනි දැල් නගින්නට වූ විට ශරීරයෙහි කොටසක් ද පිළිස්සී ගස් බෙනයෙන් එළියට පැන ඒ ගසෙහිම අත්තක එල්ලී දරා ගත නොහැකි වේදනාවෙන් හඬමින්

‘මේ ලෝකයෙහි කරුණු කාරණා දන්නා වූ පණ්ඩිත පුද්ගලයාම උතුම් වන්නේය. නමින් අති පණ්ඩිත වූවත් වංචා අදහස් ඇති අනුවණ පුද්ගලයාගෙන් යහපතක් නො වන්නේ ය. නුවණ ඇති අවංක සාධාරණ තැනැත්තාගෙන්ම යහපතක් වන්නේය. කුමක් නිසා ද යත් වංචා ස්වභාව ඇති අති පණ්ඩිතයන්ට පියා වී ශරීරයේ අඩක් පිළිස්සී ගියේය.

ආදී වශයෙන් බැගෑපත්ව ප්‍රකාශ කළේය. අනතුරුව පණ්ඩිත වෙළෙන්දා සහ අති පණ්ඩිත වෙළෙන්දා එක්ව වෙළඳාමෙන් ලද ලාභය කොටස් දෙකක් කොට සමව බෙදා ගෙන ගොස් කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

එකල සොර වෙළෙන්දා නම් දැන් මේ සොර වෙළෙන්දාම ය. නුවණැති වෙළෙන්දා නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා