දරුවන් දන් දුන් වෙසතුරු රජු

දරුවන් දන් දුන් වෙසතුරු රජු

වෙස්සන්තර ජාතකය

(බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කල්හි මෙ ජාතකය දේශනා කළ සේක)

යටගිය දවස සිව් රට ජයතුරා නම් නුවර සඳ මහ රජතුමන් ට සහ ඵුසති දේවියට දාව උපත ලද බෝසතාණන් වහන්සේ ට මවුපියන් විසින් වෙස්සන්තර කුමාරයෝ යැයි නම තැබූහ. එදිනට උපන් සැට දහසක් පමණ කුමාරවරුන් සමග දුගී මගී යාචකාදින් ට දන් දෙමින් සොළොස් හැවිරිදි වියට පැමිණුන කල්හි පිය මහ රජු විසින් චේතිය රට රජුගේ දියණිය වූ මද්‍රි දේවි කුමරිය සරණ පාවා දී රාජ්‍යය ද පවරා දුන්නේය. බෝධිසත්වයෝ ද දශ රාජ ධර්මයෙන් යුතුව මව් පියනට උපස්ථාන කරමින්සියලු යාචකයන් හට දන්හල් කරවා නොයෙක් අයුරින් දන් දෙමින් වාසය කරන්නාහ.

කල්යත් ම මොවුන් දෙදෙනා ට දාව පුතණු කෙනෙක් හා දියණියක් උපත ලැබූහ. ඔවුන් දෙදෙනා ට ජාලිය හා කෘෂ්ණජිනාව යැයි නම් තබා සුවසේ රාජ්‍ය ශ්‍රී අනුභව කරන්නාහ. මේ අතර කලිගු රට වර්ෂාව නැති ව දුර්භික්ෂයක් ඇති වූ අතර එරට වැසියෝ ජීවත් වන්නට නොහැකි ව බොහෝ පීඩාවට පත් වූහ. එකල්හි ජනයා රැස්ව ඝෝෂා කරන්න ට වූ අතර ඇමතියෝ රජු අමතා

“ මහ රජතුමනි, ඉල්ලූ දෙයක් නැතැයි නො කියා දන් දෙන්නෝ වෙස්සන්තර රජ්ජුරුවෝ ය. ඔහු ට දෙවියන් විසින් දෙන ලද සියොලගම සුදු පැහැයෙන් යුතු වැසි වැස්සවිය හැකි තරම් ආනුභාවයෙන් යුතු පණ්ඩර නම් ඇතෙක් ඇත. ඒ ඇතු ගෙනාවොත් අපගේ රට වැසි වැස දුර්භික්‍ෂ භය සන්සිදෙන්නේ යැ” යි කීහ.

එබස් ඇසූ කලිගු රජු බමුණන් අට දෙනකු කැඳවා ඇතු ගෙනෙනු පිණිස බෝසතාණන් වහන්සේ වෙත යැවී ය. බමුණෝ ද බෝසතුන් වෙත ගොස්

“සියලු සත්ත්වයන්ට මවු පියන් බඳු වූ රජතුමනි, තොප නැගී සිටින මේ හස්ති රාජයා අප ට දන් දෙව යි” කීහ.

එවිට බෝසතාණන් වහන්සේ

“බමුණෙනි, මාගේ ශරීරයෙන් භාගයක් නො ඉල්වා නිලුපුල්වන් ඇස් උපුටා දෙව යි නො කියා ඇතු ම ඉල්වති. බමුණෙනි, තොප කැමති ඇතු ;තාපට ම දන් දෙම්හ යි” කියා ඇතු සරසා දන් දුන්නේ ය. ඉක්බිති බමුණෝ ද ඇතු පිට නැගී යන කල්හි එය දුටු ජන පද වැසියෝ කෝපය ට පත් ව වෙස්සන්තර මහ රජුගේ පිය රජු වෙත ගොස් වෙස්සන්තර රජු වංකගිරිය ට පිටමං කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් ගේ වදන් පිළිගත් රජු ඔවුන් හරවා යවා ඇමතියකු ලවා පුතණුවන් හට කියා යැවූ හ. ඇමතිවරයා ද බොහෝ ශෝකී ව බෝසතුන් වෙත ගොස්

“ස්වාමීනි, හැළි ඇතු දන් දුන්නේ යැ යි කෝපයට පත් නගර වාසීහු බොහෝ දෙනා රැස්ව නුඹ වහන්සේ ගේ පිය මහරජු සමීපයට පැමිණ නුඹ වහන්සේ මේ නුවරින් පහකොට හෙට දින වංකගිරියට යවන්නට සම්මත කළහ යි” කීය.

එබස් ඇසූ වෙස්සන්තර මහ රජු සිනා පහළ කොට

“ඇත්, අස්, රථ, ස්ත්‍රීන්, දෙනුන්, දාසීන්, දාසයන් සත්සියය බැගින් වූ සප්තසතක මහ දන් දී පසු දින වනය ට යන්නෙම් යි”

පිය රජු හට දන්වා මද්‍රි දේවිය වෙත ගොස්

“සොදුර, මා ඇතු දන් දුන්හ යි දෝෂ කොට නගර වාසීහු කිපී අප මෙරට ඉන්නට නො දී වංකගිරි පර්වතයට යවන්නට සම්මත කළහ. එසේ හෙයින් අප වනයට යම්හ. අප ගිය දුකින් නො තැවී සුවසේ ජීවත්ව දරු දෙදෙනා කෙරෙහි දයා ව ඇති ව තොප මෙහි දිවි රකුව යි” කීහ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ සප්ත සතක මහ දන් දී මව් පියන් වැඳ නික්මෙන්න ට ගිය කළ මද්‍රි දේවිය ඔහුට පළමු ව දියණියන් වඩා ගෙන පුතණුවන් ඇගිල්ල අල්ලා රථයට ගොඩ වූවා ය. බෝසතාණෝ ද පුර ස්ත්‍රීන් ට සමු දී සියලු ජනයා ට අවවාද කොට මෑණියන් විසින් දුන්නා වූ වස්ත්‍රාභරණයන් හා සත් රුවනින් යුතු දහසක් ගැල් යාචකයන් සිටින පෙදෙසට පදවා එම වස්තු යාචකයන් ට දන් දෙවා වනාන්තරය බලා නික්මුණා හ.

මේ අතර වෙස්සන්තර රජු සොයා පැමිණි බමුණෝ සතර දෙනෙක් ඔහු වංකගිරියට පිට වූ බව අසා පසු පස ගොස් බෝසතුන් වැඳ

“දේවයන් වහන්ස, අප පින් මඳ හෙයින් ඔබගේ සප්ත සතක මහා දානයට පැමිණ දන් ගන්නට නො හැකි වූ වම්හ. මේ රථය අදින්නා වූ අශ්වයන් අපට දුන මැනවැ යි” ඉල්ලූහ.

බෝධිසත්ත්වයෝ ද සතුටු ව මද්‍රි දේවිය හා දරු දෙදෙනා රථයෙන් බස්සවා අශ්වයන් සතර දෙන බමුණන්ට දන් දුන්හ. බමුණෝ ද සතුටින් නික්ම ගිය කල්හි ශක්‍රදේවේන්ද්‍රයාගේ අනුහසින් දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙකු මුව වෙස් මවා ගෙන රථය ඇදගෙන යන්නට විය. එවිට පැමිණි තවත් බමුණෙකු බෝසතුන් අමතා

“වෙස්සන්තර රජතුමනි, මම ඉතා මහලු වෙමි. ගමන් විඩාවෙන් ඳරකුණෙම්හ. තොපගේ රථය දෙව යි” කීය.

ඒ ඇසූ බෝධිසත්වයෝ රථය දන් දෙත්ම රථය අදිමින් සිටි දෙවියෝ අතුරුදහන් වූහ.

ඉන් පසු දෙදෙන දරු දෙදෙනා වඩාගෙන විපුල නම් පර්වතය, ගන්ධමාන පර්වතය, ඛේතුමතී ගංඟාව, සානු නම් පර්වතය, ඊතණ වනය, මුචලින්ද විල් තෙර, සතරැස් පොකුණ ආදි ය පසුකොට නොයෙක් ඵලාපලාදියෙන් ගැවසී ගත් වංකගිරි පර්වතය ට පැමිණියහ. බෝසතුන් තපසට නික්මුණු බව දැනගත් ශක්‍ර දේවේන්ද්‍රයෝ සිංහ, ව්‍යාඝ්‍ර, වලස් ආදි දරුණු සිවුපාවුන් හා භයානක ශබ්ද ඇති මෘග පක්‍ෂීන් පලවා හැර තපස් රැකීමට සුදුසු ආරාමයක් මවා පෑහ. බෝසතාණන් වහන්සේ ද වංකගිරිය මැද පිහිටි ඒ ආරාමයට පැමිණ තවුස් වෙසින් පැවිදි වූහ. ඒ දුටු මද්‍රි දේවිය ද දරු දෙදෙනා සමග තවුස් වෙස් ගෙන ඵලාපල ආදිය කඩාගෙන වුත් බෝසතුන්ට සංග්‍රහ කළා ය.

මේ අතර කළිගු රට බමුණුගම ජූජක නම් මහලු බමුණා අමිත්තතාපා නම් තරුණ කාන්තාව විවාහ කර ගත් අතර ඇය ගේ සේවයට දාසයකු හෝ දාසියක සොයමින් වෙස්සන්තර රජු සොයා වංකගිරිය බලා පැමිණියේ ය. බෝසතාණන් වෙත පැමිණි බමුණා සුවදුක් විචාරා පැමිණි කාරණය ඇසූ කල්හි කියන්නේ “මහා පුරුෂය, යම් සේ පඤ්චමහා ගංගාවෙහි ජලස්කන්ධය කොතරම් දෙනෙක් රැගෙන පානය කළ ද අවසන් නොවන්නා සේ එවැනි ගංගා ජලයෙන් පිරුණා වූ සියලු යාචකයන් ගේ සිත් පුරන උත්තමයෙක් වූ නුඹ වහන්සේ ළඟට වෙනත් කටයුත්තකට ආයේ නො වෙමි. ඔබ ගේ දරු දෙදෙනා ඉල්ලා ආමි යි” කීය.

බමුණා කී බස් අසා දරුවන්ගේ මුහුණ බලා, බමුණාගේ ද මුහුණ බලා ඵලාපල නෙළාගෙන ඒමට ගිය බිසවුන් ද සිහි කොට ඇති වූ සෝ ගින්න දරාගෙන දරුවන් දන්දීමෙහි සිතූහ.

බමුණාගේ බස් ඇසූ දරු දෙදෙන බියෙන් මුසපත් ව ගොස් සැඟ වී ගත්හ. එවිට බමුණා නැවත නැවත ත් දරුවන් ඉල්ලා සිටි කල්හි පොකුණෙහි සැඟවුණු දරුවන් ගෙන්වා තුරුලු කොට සිඹ සනසා ඔවුන් අමතා “මාගේ දරුවෙනි, මා දහම් සොඬ බව නො දන්නෙහි ද? මේ සංසාර සාගරයට තොප පහුරක් කොට ගෙන මම සංසාරයෙන් එතෙර වෙමි. තොප ඇතුලු මිනිසුන් සහිත ලෝකයා ද එතෙර කරවමි. දරුවෙනි, මාගේ දාන පාරමිතා අදහස මුදුන් පමුණාවාලුව මැනව. පුතණ්ඩි, තෙපි නිදහස් වනු කැමැත්තේ නම් බමුණාට රන් දහසක් දෙමින් නිදහස් වුව මැනව. නැගණියන් නිදහස් කොට ගනු කැමැත්තේ නම් නම් බමුණාට දාසයන් සියයක් ද, දාසියන් සියයක් ද, ඇතුන් සියයක් ද, අසුන් සියයක් ද, ගොනුන් සියයක් ද, රන් සියයක් ද ලබා දී නිදහස් කොට ගනු ව යි” කියා

දෙදෙනාගේ වටිනාකම් මිල කොට බමුණා කැඳවා කුමාරවරුන් ගේ අත් ගෙන කෙණ්ඩියෙන් බමුණා ගේ අත පැන් වත්කොට දන් දුන්හ.

දරුවන් දන් දීමත් සමඟ මහ පොළොව ද කම්පා විය. ජූජක බමුණා ද වනයට පිවිස වැලක් කඩාගෙන විත් ජාලිය කුමාරයන් ගේ දකුණත ගෙන කුමාරිය ගේ වමත හා එකට බැඳ එම වැල් කෙළවරින් තළමින් ගෙන ගියේ ය. මද්‍රි දේවිය ද ඵලවැල නෙළා පැමිණ දරුවන් නො දැක ශෝකයෙන් හඬා වැලපෙමින් වනය පුරා සොයමින් ඇවිද සොයා ගත නොහැකිව සිහිසුන් වී ඇද වැටුණා ය. බෝධිසත්වයෝ ද දේවියගේ ස්වභාවය දැක ශෝකයට පත් ව අසල පොකුණෙන් පැන් ගෙන මුහුණට දිය ඉසිමින් සිටින කල දේවිය පියවි සිහියට පැමිණ දරුවන් ගැන විමසූ කල්හි

“දේවියනි, ඉතා වයෝවෘද්ධ බමුණෙක් සැට යොදුන් මග ගෙවා දන් පිණිස පැමිණියේ ය. ඔහු ට දරුවන් දන් දුනිමි. එවිට මහ පොළොව කම්පා විය. සියලු දෙවියෝ සාධුකාර දුන්හ. මහාමේරු පර්වතය ද සත් කුලු පර්වතයෝ ද රැව් පිළිරැව් දී නටන්නට වන්හ. දේවියනි, දාන පාරමිතාව ට අහිතක් නොසිතා තොප ද පින් අනුමෝදන් වන්නැ යි” කීය.

එවිට දේවිය ද සාධුකාර දී පින් අනුමෝදන් වූවා ය. සියලු දෙවියෝ ද සතුටුව සාධුකාර දී පින් අනුමෝදන් වූහ.

ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයා බෝධි සත්ත්වයන් විසින් දේවිය ද යම් කිසි පහත් පුරුෂයකු ට දන් දුන හොත් නපුරැයි සිතා මහලු බමුණු වේශයක් ගෙන බෝසතුන් වෙත පැමිණ

“රජතුමනි, මා ඉතා මහලු වූයේ වෙමි. ගමන් විඩාවෙන් යුතු වෙමි. තොප අතින් රන් රුවන් මුතු මැණික් ඉල්ලා නො ආයෙමි. මාගේ ගෙයි මෙහෙකාර කමට කෙනෙක් නැත්තෙමි. තොපගේ බිසවුන් මෙහෙකාර කමට ඉල්ලා ආවේ වෙමි යි” කීය.

බෝධි සත්වයෝ ද දේවියගේ මුහුණ බලා ඇයගේ කැමැත්ත පරිදි ම අතපැන් වත් කොට බමුණාට දන් දුන්හ. ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ තමාගේ බමුණු වෙස් අත හැර දේවිය බෝසතුන්ට ම බාර දී නැවත ඇය දන් නො දෙන ලෙස දන්වා දිව්‍ය ආත්ම භාවයෙන් දිලිසෙමින් බෝසතුන් වෙත වර අටක් ලබා දුන්හ.

ජූජක බමුණා ද දරුවන් දෙදෙනා රැගෙන දෙවියන්ගේ ආනුභාවය නිසා තමන් ගේ රටට නොගොස් ජයතුරා නුවරට පැමිණ රාජාංගනයෙහි සිටියේ ය.

රජ්ජුරුවෝ ද ජාලිය කුමාරයන් හා කෘෂ්ණජිනාවන් රැගෙන බමුණෙක් පැමිණියේ යැයි අසා බමුණා ගෙන්වා දැක සතුටු ව තොරතුරු විචාර මිලකළ අයුරින් බොහෝ වස්තුව දී දරුවන් ගලවා ගත්හ. සඳමහ රජතුමා දරුවන්ගේ පැමිණීම නගර වාසීන් ට දැන්වීය. දරුවන් දැකීමට පැමිණි නගර වාසීහු බෝධිසත්වයන් ගේ දන්දීමෙහි ඇති කැමැත්ත අවබෝධකොට ගෙන රජු අමතා

“ස්වාමීනි, දරුවන් දන් දෙන කල ඒ උත්තමයාගේ හදවත ගලක් වී ද? බමුණු මහල්ලෙකුට මෙවැනි දරුවන් දන් දුන් ඒ ළද කෙසේ නම් දරා ගන්නට ඇද්ද? අපි ඔවුන් හැළි ඇතු දන් දුන් සේ නරකැ යි කෝපව වංකගිරි පර්වතය ට යැවුම් හ. දැන් මෙවැනි මනහර ළද බොළඳ සිවුමැලි දරුවන් දන් දුන්හ. මෙබඳු සිත් ඇති ඒ උත්තමයාගේ ගුණ දැන නුගුණ පහ කොට නැවත ඔහු කැඳවාගෙන එම්හ යි” කීහ.

ඉක්බිති රජතුමා ජයතුරා නුවර පටන් වංකගිරිය දක්වා මාර්ගය සියලු ආකාරයෙන් අලංකාර කර වූ යේ ය. මේ අතර රජුගේ සංග්‍රහය ලැබ රාජ භෝජනය පමණ ඉක්මවා අනුභව කළ පූජක බමුණා ද එය දිරවා ගත නො හැකිව එදින මධ්‍යම රාත්‍රියෙහි කලුරිය කළේ ය. සඳමහරජතුමා ද සත්වන දින සෙනඟ පිරිවරා සැට යොදුන් මග ගෙවා වෙස්සන්තර රජු වෙසෙන්නා වූ වංකගිරි පර්වත ප්‍රදේශයට පැමිණ බෝධිසත්වයන් දැක හඬා වැලප ඔහු අමතා

“පුතණුවනි, පෙර මාගේ කීම අසා මේ වනයට පැමිණියේ ද, දැනුත් මාගේ කීම අසා ගෙන ඔටුනු පැළඳ රාජ්‍යය කරව. මව්පියන් කියන දේ කිරීම සත්පුරුෂ ධර්මයක් වන්නේ ය. පුත්‍රයන් විසින් ජීවිත පරිත්‍යාග කොට නමුත් මවුපියන්ගේ ශෝක දුරු කළ යුතු වන්නේ ය. එබැවින් පුත්‍රය තාපස වේශය හැර රාජ වෙස් ගනුව යි” කීහ.

බෝධිසත්වයෝ ද

“මව්පියන්ගේ බස් ඉවත දැමීම සුදුසු නො වන්නේ යැ යි” සිතා

තවුස් වෙස් බැහැර කොට ඔටුනු පළඳා නැවත කලිගු රට රජු විසින් ලබා දෙන ලද හැළි ඇතු පිට නැගී වංකගිරි පර්වතයෙන් නික්ම ජයතුරා නුවරට පැමිණ රාජ්‍යය කරමින් දන්හල් කරවා සියලු යාචකයන්ට දන් දෙමින් සියලු ජනයා කුසල් හි පිහිටුවමින් දසරාජ ධර්මයෙන් යුතු ව රාජ්‍යය කොට ජීවිතාවසානයෙ හි පිරිවර සහිත ව ගොස් තුසිත නම් දෙව්ලොව උපත ලැබූහ.

එකල ජූජක බමුණා නම් දෙව්දත් තෙරුන් ය. අමිත්තතාපා බැමිණිය නම් චිංචිමානවිකාව ය. ශක්‍රදේවේන්ද්‍රයා නම් අනුරුද්ධ තෙරුන් ය. සද මහ රජතුමා නම් සුද්ධෝදන රජතුමා ය. ඵුසති දේවිය නම් මහාමායා දේවිය ය. මද්‍රි දේවිය නම් යසෝදරා දේවිය ය.

ජාලිය කුමාරයා නම් රාහුල තෙරුන් ය. කෘෂ්ණජිනා නම් උප්පලවණ්නා තෙරණිය ය. සෙසු පිරිස නම් බුදු පිරිස ය. වෙස්සන්තර රජ්ජුරුවෝ නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

ගණේගම ඤාණකීර්ති හිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා