බිලීපිත්තක් වෙනුවට අලුත් එන්ජිමක්

බිලීපිත්තක් වෙනුවට අලුත් එන්ජිමක්

හෙ මිංවේගේ මහල්ලා දින අසූ හතරක් උතුරු අත්ලාන්තික් සාගරයේ අතරමං ව සිටියේ ය. ඔහුට එක ම මාළුවකුවත් හසු වූයේ නැත. හෙතෙම සැඩ පහරේ ගසාගෙන ගියේ ය. කුණාටුවලට හසු වුණේ ය. ඔරුව පෙරැළෙන්නට ගියේ ය. එහෙත් මහල්ලාගේ යෝධ සිත කිසිවකින් සැලුණේ නැත. අවසානයේ ඔහු විශාල මාළුවකු අල්ලා ගත්තේ ය. මාළුවා ඔරුව පෙරළන්නට තරම් ශක්තිමත් ය. එහෙත් යෝධ මාළුවෝ ද, මිනී කන මෝරු ද මහල්ලාට පැරදුණහ. ධීවරයන්ගේ හැටි එහෙම ය.

දින කිහිපයක විරාමයකින් පසු ශ්‍රී ලංකාවේ පන්න රස්සාව යළි ආරම්භ විය. කලබලයක් හේතුකොට ධීවරයෝ මූදු යෑම නතර කළහ. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ; විපක්ෂය විසින් ධීවරයන් උසිගන්වන ලදී. ධීවරයන් වෙනුවට මැරයන් ගෙන්වා කලබල ඇති කරන ලදී. අවසන් ප්‍රතිඵලය වූයේ පොලිස් වෙඩි පහරකින් ඇන්ටනී මරණයට පත්වීම ය. වෙඩි තැබීමට අණ දුන් නිලධාරියා සේ ම වෙඩි තැබූ පොලිස්කාරයා ද අත්අඩංගුවට පත් ව සිටිති. මේ කලබල මෙහෙයැ වු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම නම් තව ම නිදැල්ලේ ය.

විපක්ෂය මේ කලබල මෙහෙයැ වුයේ අරමුණු දෙකක් ඇතිව ය. එක් අරමුණක් නම්; ධීවරයන් දහ-දොළොස් දෙනකු වළපල්ලට යවා මුළු රට ම කැලැඹීමට පත්කිරීම ය. අනෙක් අරමුණ නම්; ධීවර නිෂ්පාදනය අඩාල කිරීම සඳහා දිගුකාලීන වර්ජනයක් කැඳවීම ය. ඒ මඟින් පාරිභෝගිකයා ද සටනට කැඳවා ගත හැකි ය. මීගමුවේ හා හලාවත කතෝලික හිමිවරුන් ඉහත තත්ත්වය පැහැදිලි කර දීම සඳහා උත්සාහයක් ගෙන තිබිණි. එහෙත් කුමන්ත්‍රණකරුවෝ ඊට වඩා බලවත් වුහ. අන්තිමේ ඔව්හු ඇන්ටනීගේ මරණය විකුණමින් සිටිති.

විපක්ෂයේ යටි අරමුණු දෙක ම පරාජය වු වගක් පෙනෙන්නට තිබේ. නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ද නිමල් ලාංසා මහතා ද හලාවත හා මීගමුව ධීවර සමිතිවල නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ හ. කතෝලික හිමිවරුන්ගේ සහාය ද මීට ලැබී ඇත. සාකච්ඡා අතිශයෙන් ම සාර්ථක ය. මීගමුවේ ධීවරයෝ ද, හලාවත ධීවරයෝ ද පෙරේදා රාත්‍රියෙහි සිට මුහුදු යන්නට පටන් ගත් හ. එහෙත් ඔවුන්ගේ එක ම එක ඉල්ලීමක් තිබේ. එනම්; ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරීම ය. තව ම මේ රටේ ජනතාව වැඩිම විශ්වාසය තබනුයේ ජනාධිපතිවරයා ගැන පමණි.

මේ අතර ජනාධිපතිවරයා තංගල්ලේ ධීවර වරායට ගොස් ධීවරයන් හමුවිය. මහින්ද රාජපක්ෂ මහතාට එහි දී විශාල පිළිගැනීමක් පැවැතිණි. ඔහු වනා හී ධීවර ක්ෂේත්‍රය භාර ව කටයුතු කළ අති සාර්ථක ඇමැතිවරයා ය. ඔහු වරෙක ධීවරයා පමණක් නො ව හම්බන්තොට ලුණු ලේවාය ද බේරා ගත්තේය. දකුණේ ධීවරයාට එය හොඳ හැටි මතක ය. තංගල්ල ධීවර වරායේ අඩුපාඩු සොයා බැලූ මහින්ද රාජපක්ෂ මහතා එකිනෙක ධීවරයන් හමු වී පෞද්ගලික තොරතුරු විමසන්නට ද අමතක නොකළේ ය. ධීවර ජනතාව හා මහින්ද මහතා අතර පවත්නා බැඳීම මේ ගමනේ දී මොනවට පැහැදිලි විය.

විපක්ෂය දෑස් විශාල කරගෙන බලා සිටිනුයේ විරෝධතාවකට කරුණු සොයන්නට ය. ඉන්ධන මිල ඉහළ දැමීම ඊට ප්‍රබල හේතු - සාධකයක් විය. ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ හේතු දෙකක් මත ය. පළමුවන්න ලෝක වෙළෙඳ පොළෙහි තෙල් අර්බුදය යි. දෙවන්න මේ වනවිටත් ආණ්ඩුව ලබන පාඩුව දරාගත නො හැකි වීම යි. එහෙත් විපක්ෂය ඊට බොරු හේතු දක්වයි. ඉරානයෙන් නැතිව සෞදි අරාබියෙන් තෙල් ගන්නැ’යි විපක්ෂ නායකතුමා කියයි. ඉරානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන තෙල් සහනය රනිල් වික්‍රමසිංහ මහතා දන්නේ නැත. එසේ නැතහොත් හිතාමතාම එම කරුණු යට ගසනු ඇත.

ඉරානයත් ශ්‍රී ලංකාවත් අතර තෙල් ගනුදෙනු ආරම්භ වී ඇත්තේ ෂා රජුගේ කාලයේ පටන් ය. ඉරානය අපට වාර්ෂික ව තෙල් ලබා දෙන්නේ කාලවකවානු තුනකට අනුව ය. මුල් කාර්තුවට පොලී අය නො කරයි. දෙවන කාර්තුවට සහන පොලියක් ලැබේ. තුන්වන කාර්තුවේදී පමණක් නියමිත පොලී අය කරයි. මේ හැරෙන්නට ශ්‍රී ලංකාවේ තෙල්පිරිපහදුව නවීකරණය කරන්නට ඉරානය ආධාර සපයයි. ඉරානය ශ්‍රී ලංකාවට හිතවත් රාජ්‍යයෙකි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ආරම්භයත් සමඟ දෙරටේ බැඳීම තවදුරටත් ශක්තිමත් ව පවතී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රයෝගය වන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාවට සහාය දැක්වීම ය. ඔහු බටහිර ගැත්තෙකි. ඔහු තව ටික දිනක් යනවිට ඊශ්‍රායලයෙන් හෝ අමෙරිකාවෙන් හෝ තෙල් ගන්නට කියනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාටත් ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයන්ටත් අවශ්‍ය එක් දෙයක් තිබේ. එනම්; ජනාධිපතිවරයා ගෙදර යැවීම ය. වත්මන් ආණ්ඩුවටත් වඩා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයක් ඔවුනට තිබේ. මහින්ද මහතාගේ ජනප්‍රියත්වය, දේශපාලන ස්ථාවරත්වය, තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂය මෙන් ම නිර්භීතභාවය ද විපක්ෂයට හිසරදයක් වී තිබේ. එහෙත් තීරකයා විපක්ෂය නො වේ. තීරකයා මහජනතාව ය. ජනතා පරමාධිපත්‍ය සියල්ලට ඉහළින් පවත්වා ගැනීම මහින්ද රාජපක්ෂ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණය යි.

විපක්ෂය නඟන චෝදනා හා විවේචන තර්කානුකූල නැත. සාධාරණ හා යුක්ති සහගත නැත. එක අතකින් සේවක වැටුප් වැඩි කරනු යැයි විරෝධතා දක්වන ඔව්හු තව අතෙකින් බදු කපා හරිනු යැයි පෙළපාළි යති. බදු නැතිව ආණ්ඩුව ගෙනයන්නේ කෙසේ ද? වැටුප් වැඩි කරන්නේ කෙසේ ද? ජනතා සුභසාධනය පවත්වා ගන්නේ කෙසේ ද? මේ වනවිටත් ඉන්ධන සහනය ක්‍රියාත්මක ය. ධීවරයා මේ අසීරු අවස්ථාවෙහි තෙල් සහනයත් රැගෙන සිය කර්මාන්තයේ යෙදිය යුතු ය. කොන්පියුස්තුමා කියා සිටියේ මාළුවකු ඉල්ලා සිටින පුද්ගලයා වෙත බිලීපිත්තක් ලබා දිය යුතු බව ය. වත්මන් ආණ්ඩුව බිලීපිත්තක් නො ව අලුත් එන්ජිමක් ධීවරයාට ලබා දෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා