බොරු විග්‍රහවලින් රට්ටු රවට්ටන්න බෑ

බොරු විග්‍රහවලින් රට්ටු රවට්ටන්න බෑ

ඩිව් ගුණසේකර
මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

තෙල් මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඇතිව ඇති අලුත් ආර්ථික හා සමාජීය ප්‍රවණතා සහ එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

* තෙල් මිල ඉහළයාම මෙරට ආර්ථික තත්ත්වයට බලපාන්නේ කුමන විදිහටද?

තෙල් මිල ඉහළ යාම දේශීය තත්ත්වය අනුව පමණක් විග්‍රහ කරන්න අමාරුයි. ජාත්‍යන්තරව ඉරානය වෙත එල්ල වී ඇති යුද තර්ජන හා මැද පෙරදිග ඇතිව ඇති යුද වාතාවරණය බොරතෙල් බැරලයක මිල ඉහළ යාමට විශාල ලෙස හේතු වුණා. මේ හැම දෙයක්ම මූලික වූ නිසා තමයි මෙරට ඉන්ධන මිලත් ඉහළ දැමීමට සිදු වූයේ. ඒ නිසා මේ තත්ත්වය ගැන දේශීයව චිත්‍රයක් මැවීමට උත්සාහ කිරීම අනුවණ හා බුද්ධි ගෝචර නොවන දෙයක් විදිහටයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. මේ විදිහට බොරු විග්‍රහ කිරීම ජනතාව රැවටීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. යුද්ධය තිබූ අවස්ථාවේදී ජාත්‍යන්තර තෙල් මිල ඩොලර් 147 දක්වා ඉහළ ගියා. එදත් සිදුවුණා විශාල තෙල් මිල ඉහළ යාමක්. මේ විදිහේම තත්ත්වයක් තමයි එදා ඇති වුණේ. ඒත් ආණ්ඩුවට පහසුවෙන් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පුළුවන් වුණා.

* මේ තත්ත්වයට බලපෑ සෙසු කරුණු ගැණත් පැහැදිලි කිරීමක් කළ හැකිද?

විදුලිබල මණ්ඩලයට විශාල ලෙස විදුලි උත්පාදනයට ඩීසල් බලශක්තිය වියදම් වෙනවා. මේ ඩීසල් විදුලිබල මණ්ඩලය ලබා දෙන්නේ ණය පදනම යටතේ. මේ තත්ත්වය නිසාත් තෙල් සංස්ථාව මත විශාල බරක් පැටවෙනවා. ලංගම දුම්රිය ඇතුළු රජයේ ආයතනවලටත් තෙල් සංස්ථාව ලාබදායි ලෙසත් ණය පදනම යටතේ තෙල් ලබා දෙනවා. මේ හැම දෙයක්ම තෙල් මිලට බලපානවා. ඒ නිසා විදුලිබල මණ්ඩලය වැනි ආයතන තමන්ගේ බලශක්ති ජනනය කිරීමට විකල්ප බලශක්ති වෙත යොමුවිය යුතුයි. විකල්ප බලශක්ති වෙත යොමුවීම සඳහා වූ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි.

* ජාත්‍යන්තරය තුළ ඇතිව ඇති මූල්‍ය අර්බුදය හා ජාත්‍යන්තරයේ සෙසු තත්ත්වයන් මෙයට බලපා ඇත්තේ කුමන විදිහටද?

ලෝකයේ විශාල මූල්‍ය අර්බුදයක් ඇතිව තිබෙනවා. එය ප්‍රබල විදිහට බලපා තිබෙන්නේ යුරෝපයට. දැනටමත් ගී‍්‍රසිය වැනි රටවල් බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. ඉරානයේ යුද වතාවරණය නිසාත් මූල්‍ය අර්බුදයක් ඇති වෙලා තිබෙනවා.  මේ හැම කාරණයක්ම අඩු වැඩි විදිහට මෙරටටත් බලපානවා. එහි ප්‍රතිඵල තමයි අද භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ. ඒ වගේම ඩොලරයේ මිල ඉහළ යාමත් රුපියල අවප්‍රමාණය වීමත් බලපා තිබෙනවා වර්තමාන තෙල් මිල ඉහළ යාමට. ආනයනික භාණ්ඩවලටත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්.

* මේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කොහොමද? ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අනිවාර්යයෙන්ම ගෙවල්වල ආර්ථිකයට පවා මේ තත්ත්වය බලපාන්න පුළුවන්. මෙතැනදී ආණ්ඩුවට කළ හැක්කේ ආර්ථික පීඩනය හා අසහනයට ගොදුරුවන සමාජයේ පහළම ස්ථරයට අවශ්‍ය සහනාධාර ප්‍රමාණයක් ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙන්නේ. ඇත්තෙන්ම ආණ්ඩුවට මේ මොහොතේදී කළ හැකි දේ එය තමයි. අයවැය හිඟය වැඩි වන විදිහට වැඩ කරන්නත් බැහැ. මුදල් අච්චු ගහන්නත් බැහැ. එමඟින් ආර්ථිකයේ උද්ධමනය ඇති වෙන්න පුළුවන්. භාණ්ඩාගාරයත් ජනතාවත් මේ තත්ත්වය යම් ප්‍රමාණයකට දරා ගන්න පුළුවන්කම තිබෙන්න ඕනැ.

* මා මීට පෙර සඳහන් කළා 2008 තෙල් බැරලයක මිල ඩොලර් 147 දක්වා ඉහළ ගිය බව. එහෙත් එදා තෙල් මිල මෙතරම් ඉහළ යාමක් දේශීයව සිදු වුණේ නැහැ. මෙයට හේතුව මොකක්ද?

එයට හේතුව වන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාමයි.

* ඉරානය පිළිබඳව ඇති යුද වාතාරවණය පහව ගියොත්, සහ ලෝක ආර්ථික අර්බුදය සමනය වුවහොත් මෙරට ආර්ථික තත්ත්වය සහ තෙල් මිල පාලනය කර ගැනීමට පුළුවන්කම තිබෙනවාද?

ලෝකයේ බල තුළනය වෙනස් වෙලා තිබෙන්නේ. ඇමරිකාවට වුණත් ලෝක පොලිස්කාරයා ගේ චරිතය එදා විදිහට රඟපාන්න බැහැ. ඇමරිකාවට හිතුමතේ පහර දෙන්න බැහැ. ඔබාමා මහතා වුවත් ඡන්දය මුවවිට තියාගෙන යුද්ධයකට යාමට සැරසෙන එකක් නැහැ. ජෝර්ජ් බුෂ්ගේ ප්‍රතිපත්තිය වුණේ රට රටවලට පහර දී එම රටවල ආණ්ඩු බලහත්කාරයෙන් ඉවත් කිරීමයි. ඒත් ඔබාමා ගේ ප්‍රතිපත්තිය අභ්‍යන්තර බලවේග උපයෝගි කරගෙන ආණ්ඩු පෙරළා දැමීමයි. මෙවැනි තත්ත්වයක් ලිබියාවේ වුණා. මාලදිවයිනේ වුණෙත් එහෙමයි. මේ විදිහේ දේශපාලන කුමන්ත්‍රණ පෙළක් තමයි සිදු වන්නේ. පසුගිය දිනවලදී හලාවත දී මීගමුවේ දී සිදුවීම් මාලාත් බාහිර බලවේගවල උසි ගැන්වීම නිසා සිදු වූ දෙයක් විදිහටයි සලක්න පුළුවන්කම තිබෙන්නේ.

* ඒත් විපක්ෂය නඟන ප්‍රබල තර්කයක් වන්නේ රටේ ආර්ථික අර්බුදවලට ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ද ප්‍රබල ලෙස බලපාන බවයි. මේ ගැන ඔබේ අදහස මොන වගේද?

නාස්තිකාර වියදම් ගැන, සිදුවන දූෂණ අක්‍රමිකතා ගැන කෝප් වාර්තාවේ දී පවා අප පෙන්වා දුන්නා. ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදිහට දූෂිතයන් ආරක්ෂා කරන්නේ නැහැ. නාස්තිකාර විදයම්වල යෙදෙන්නේ නැහැ. ඒත් විපක්ෂය කියන විදිහට යම් තරමකට හෝ නාස්තිය දූෂණය සිදු වුණා යැයි සිතමු. එහෙත් තීරණාත්මක විදිහට ආර්ථික අර්බුදයට හෝ තෙල්මිල ඉහළ යාමට මේ දේවල් බලපාන්නේ නැහැ. කවුරු හරි මේ විදිහේ තර්කයක් ගෙන එනවා නම් එම පුද්ගලයා දේශපාලනය නොදන්න, ආර්ථික විද්‍යාව නොදන්න, මන්ද මානසිකත්වයක් ඇති අයකු විය යුතුයි.

* තෙල් මිල ඉහළ යාම, සහනාධාර ලබාදීම වැනි කරුණු ගැන ආණ්ඩුවේ දැනුවත් කිරීම ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?

මාත් පිළිගන්නවා ඇතිව ඇති තත්ත්වය ගැන ආණ්ඩුව නිසි විදිහට පැහැදිලි කිරීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකළ බව. ඇත්ත යථාර්ථය නිසි විදිහට තේරුම් කර දීමට ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා නම් පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් පාලනය කර ගැනීමට පුළුවන්කම තිබුණා. එහෙත් ආණ්ඩුවේ පණිවුඩය ජනතාව අතරට නිසි විදිහට ගියේ නැහැ. ආණ්ඩුවේ මාධ්‍යවලට වුණත් මෙතැනදී විශාල වගකීමක් තිබෙනවා ජනතාවට සැබෑ චිත්‍රය පෙන්වා දීමට.

* කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට ඔබයි කටයුතු කරන්නේ. පසුගිය කෝප් කමිටු නිර්දේශවලට මොකද වුණේ. සමහරු කියන්නේ මේ කමිටු වාර්තාවත් හමස් පෙට්ටියට දමා ඇති බවද?

මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සභාපතිවරයා ලෙස මගේ හෝ කෝප් කමිටුවේ වගකීමක් නොවෙයි. අපට පුළුවන්කම තිබෙන්නේ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ඒ වගේම දඬුවම් කිරීමේ බලයක් නැහැ. මේ කරුණු ගැන විවාදයක් කිරීමට එකඟ වී තිබෙනවා. ජනාධිපතිතුමාගේ අවධානයත් මේ කරුණු ගැන යොමුව තිබෙනවා වගේම එම දේවල් ගැන කැබිනට් මණ්ඩලයේදීත් කතා කළා.

* ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් සිදු වන බවටත් එයට විපක්ෂ මෙන්ම දෙස් විදෙස් බලවේගවල දායකත්වය ලැබී ඇති බවටත් චෝදනා එල්ල ;වනවා. මෙහි ඇත්ත නැත්ත මොකක්ද?

ඒ චෝදනාවල ඇත්තක් තිබෙනවා. අද සමහරු කෘතිම තත්ත්වයක් මතු කර අර්බුදකාරි තත්ත්වයක් ඇති කිරීමටයි උත්සාහ කළේ. මා මීට පෙරත් සඳහන් කළ පරිදි අද බටහිර බලවේග කටයුතු කරන්නේ පැරැණි ක්‍රමවේදයට නොවෙයි. ඔවුන් අද ආක්‍රමණය කරන්නේ නැහැ. යුද්ධවලට එළඹෙන්නේ නැහැ. රටවල අභ්‍යන්තරයෙන්ම උසි ගැන්වීම් කර ආණ්ඩු මාරු කිරීම් තමයි කෙරෙන්නේ. අද මෙරටදීත් මේ විදිහේ උත්සාහයක් නැහැ කියලා කියන්න බැහැ. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ ජනතාවට ඇත්ත තත්ත්වයන් පෙන්වා දෙමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන සැලසුම් හෙළිදරව් කළ යුතුයි. ඒ වගේම රට ඇතුළත ගැටලුකාරි තත්ත්වය ඇතිවන විදිහේ ක්‍රියාමාර්ගවලට හේතු විය හැකි දේවල් මඟ හැර කටයුතු කළ යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා