ළමයකුගේ මුහුණ සිගරැට්ටුවකින් පිළිස්සූ පුද්ගලයකුට බර වැඩ සහිත අවුරුදු දෙකක සිර දඬුවමක් නියමවේ

ළමයකුගේ මුහුණ සිගරැට්ටුවකින් පිළිස්සූ පුද්ගලයකුට
බර වැඩ සහිත අවුරුදු දෙකක සිර දඬුවමක් නියමවේ

පින්තාරු වැඩපොළේ සේවය කළද මුදල් ගෙවා නෑ

බාලවයස්කාර පිරිමි ළමයකුගේ මුහුණ සිගරැට්ටුවකින් පුළුස්සා පහරදෙන ලදැයි චෝදනා ලබා සිටි චූදිතයකු චෝදනාවට වරද පිළිගනු ලැබූයෙන් හලාවත පළාත්බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලිනී ගුණරත්න මහත්මිය බර වැඩ සහිත අවුරුදු දෙකක සිරදඬුවමක් ඔහුට නියම කළාය.ඒකනායක පැලැන්දලාගේ ලක්නාථ උදයංක චූදිතයා ය. හෙතෙම ලුනුවිල මැදකිරිමැටියාන නෙළුම්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2006 පෙබරවාරි 18 දින හෝ ඊට ආසන්න දිනයක හලාවත පළාත්බද මහාධිකරණ කලාපයට අයත් කිරිමැටියානදී අන්තෝනි පෙරේරාගේ සුරාජ් මේනක පෙරේරා යන අයගේ මුහුණ සිගරැට්ටුවකින් පුළුස්සා පහරදෙන ලදැයි චූදිතයා අධිචෝදනා ලබා සිටියේය. මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලිනී ගුණරත්න මහත්මිය හමුවේ චූදිතයා අධිචෝදනාවට වරද පිළිගෙන තිබුණි.

චූදිතයා චෝදනාවට වරද පිළිගැනීම මත ඔහුට දඬුවම් නියම කිරීමට පෙර චූදිතගේ නීතිඥ දේශපි‍්‍රය දිසානායක මහතා දඬුවම් ලිහිල් කර ගැනීමට කරුණු දක්වමින් මෙසේ කීය. මෙය මුල් අවස්ථාවේම සමථ මණ්ඩලයට යොමු කිරීමට හැකි චෝදනාවක්. මෙම පිළිස්සීම සම්බන්ධයෙන් චූදිත පසුතැවිලි වෙනවා. අගතියට පත් පාර්ශවයට වන්දියක් ගෙවීමට චූදිතයා සූදානම්.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අධිනීතිඥ කාශ්‍යප වික්‍රමසේකර මහතා මෙසේ කීය.

පහරදීමට ලක්ව ඇත්තේ අවුරුදු 14ක දරුවෙක්. පහරදීම සිදුකර ඇත්තේ ඉතාම මිලේච්ඡ ආකාරයටයි. අතින් පයින් පහරදී මුහුණ පිළිස්සීම සුළු වරදක් ලෙස සැලකීමට බෑ. දරුවා පාසල් නොයන කාලයක චූදිත දින තුනක් ඔහුගේ වැඩට සහාය කරගෙන තිබෙනවා. චූදිතගෙන් ඒ සඳහා මුදල් ඉල්ලූවිට මුදල් ගෙවීමට තිබූ අකමැත්ත මත තමා පහරදීම කර ඇත්තෙ.

විත්තියේ සහ පැමිණිල්ලේ දේශනවලට සවන්දුන් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලිනී ගුණරත්න මහත්මිය චූදිතට බර වැඩ සහිත අවුරුදු දෙකක සිරදඬුවමක් සහ රුපියල් 2500ක දඩ නියම කළාය. සිර දඬුවම අවුරුදු 10කට අත්හිටවූවාය. දඩ මුදල නොගෙවන්නේ නම් ඒ සඳහා සයමසක සාමාන්‍ය සිරදඬුවම් නියම කළාය. එමෙන්ම පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකරු වන දරුවාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද නියම කළාය. එම වන්දි මුදල නොගෙවන්නේ නම් බර වැඩ සහිත අවුරුද්දක සිර දඬුවම් නියම කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා