මුද්‍රණය සඳහා

 
ටෙස්ට් පිටියෙන් සමුගන්නේ නෑ

ටෙස්ට් පිටියෙන් සමුගන්නේ නෑ

පොන්ටින්

තමාට ජාත්‍යන්තර එක්දින කණ්ඩායමේ අනාගතයක් නැති බව පැවසුවද ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩාවේ නිරත වීම තම අභිප්‍රාය බව ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දුන් හිටපු නායක රිකී පොන්ටින් පැවැසීය. ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ ඉදිරි තරග සැලැස්මට තමා නොගැලපෙන බව තේරීම් කමිටුව දැන් වූ බව පැවසූ පොන්ටින් ටෙස්ට් පිටියෙන් තමා සමුනොගන්නා බව සඳහන් කළේ ය.

“මම ටෙස්ට් ක්‍රීඩාවේ දිගටම නිරත වෙනවා. ඒ වගේම ටැස්මේනියානු ප්‍රාන්ත පිල වෙනුවෙනුත් දිගටම ක්‍රීඩා කරනවා” සිඩ්නි පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී පොන්ටින් පැවැසීය. “පසුගියදා ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගමාලාවේ දී මම සාර්ථකව පිති හරඹයේ නිරත වූණා. මට තව දුරටත් ටෙස්ට් ක්‍රීඩා කළ හැකි බව මම ඒ තරගාවලියේදී ඔප්පුකොට පෙන්වා තිබෙනවා” ඔහු සඳහන් කළේ ය.

ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගමාලාවේදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 544 ක් රැස් කිරීමට පොන්ටින් සමත් විය. නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගමාලාවේ ඉනිම් 5 කදීම ඔහු රැස් කළේ ලකුණු 18 ක් පමණි. පසුගිය වසර 17 ක් මුළුල්ලේ එක්දින තරග 375 කට ක්‍රීඩා කොට ඇති 37 හැවිරිදි පොන්ටින් තවදුරටත් එක්දින ක්‍රීඩාවට සුදුසු නැති බව ප්‍රකාශ කළ තේරීම් කමිටුව ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කළේ ය.

නමුත් තරග 162 ක ටෙස්ට් දිවියකට හිමිකම් කියන පොන්ටින් ලබන අප්‍රේල් මස බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]