|
||
රත්නම් පරදී: යුද හමුදාවට පහසු ජයක්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ඉදිරියෙන්ම සිටින රත්නම් ක්‍රීඩා සමාජය ගෝල් 4 – 3 කින් දොන් බොස්කෝ පිලට අනපේක්‍ෂිත පරාජයක් ලබද්දී ලකුණු සටහනේ දෙවැනි තැන සිටින යුද හමුදාව ගෝල් 6 – 0 කින් සිවිල් ආරක්‍ෂක බළකා පිල පරදා පහසු ජයක් වාර්තා කළේය. මෙලෙස රත්නම් පරාජය වීම හේතුවෙන් යුද හමුදාව ඉදිරි සති අන්තයේදී සූරතාව දිනාගැනීමේ අපේක්‍ෂාවෙන් දැවැන්ත ජයග්‍රහණයක් බලාපොරොත්තු වේ. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ සෑම කණ්ඩායමකටම තරගය බැගින් ඉතිරිව ඇත. රත්නම් පිලට ඉදිරි සති අන්තයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුණගැසෙන අතර යුද හමුදාවට වෙන්නප්පුව නිව්යංග්ස් හමුවේ. සිවිල් ආරක්‍ෂක පිල සමඟ පැවැති තරගයේදී යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන් ලබාගත් ගෝල් තුන සමඟ තරගාවලියේ ඔහුගේ ගෝල් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගියේය. දොන් බොස්කෝ සමග තරගයේදී රත්නම් පිලේ ඊ. බී. චන්න ගෝල් 2 ක් ලබාගැනීම හේතුවෙන් තරගාවලියේ මෙතෙක් ඔහු ලැබූ ගෝල් සංඛ්‍යාව 11 කි. බ්ලූ ස්ටාර් පිලේ එම්. ෆර්සීන් ද ගෝල් 11 ක් ලබා සිටී. කැලණියේ නිමාව දුටු සෝන්ඩර්ස් - පොලිස් තරගයෙන් ගෝල් 1 – 0 ක ජයක් පොලිස් පිලට හිමිවූ අතර, ජාවාලේන් – නාවික ගැටුමෙන් නාවික හමුදාව ගෝල් 3 – 1 ක ජයක් හිමිකර ගත්තේය. ගුවන් – නිව්යංග්ස් අතර තරගයෙන් ගුවන් හමුදාවට 1 – 0 ක ජයක් හා බ්ලූස්ටාර් – රිනවුන් අතර තරගයෙන් රිනවුන් ගෝල් 2 – 0 ක ජයක් ලැබීය. කණ්ඩායමක් තරග 21 ක් නිමා කරද්දී රත්නම් (ලකුණු 44), යුද හමුදාව (ලකුණු 41), නාවික හමුදාව (ලකුණු 38), දොන් බොස්කෝ (ලකුණු 34) හා රිනවුන් (ලකුණු 31) ලෙස පිළිවෙළින් සිටිති. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |