මුද්‍රණය සඳහා

 
මුන්නැහැ ආවොත් දිවි නහගන්න වෙයි

මුන්නැහැ ආවොත් දිවි නහගන්න වෙයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්වීම සඳහා විවිධ අන්වර්ථ නාම භාවිත වේ. අපහාස කිරීමට අකැමැති බැවින් එකී නාම අපි මෙහි ලා සටහන් නො කරමු. එහෙත් ඒ සෑම නාමයක ම යටි අරුත වන්නේ ජාතියට හා දේශයට ද්‍රෝහී වන අසත්පුරුෂයකු යන්න ය. ඕනෑම මිනිසකු ශිෂ්ටාචාරයක් මත දෙපා ගසාගෙන සිටින අතර ඔහු හෝ ඇය එම ශිෂ්ටාචාරයේ ම නිර්මාණයක් ලෙස සැල කේ. එබඳු අක් - මුල් ඇති මිනිස්සු තම සම්ප්‍රදායට අපහාස නො කරති. ආගමට, ජාතික ගීයට,ජාතික කොඩියට විහිළු නො කරති.එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කී සියලු විකෘති වැඩ අඩු - වැඩි වශයෙන් සිදුකරන නායකයෙකි. අතීතයේ සිට ම එක්සත් ජාතික පක්ෂයට ගෞරවණීය සම්ප්‍රදායක් හා අපූරු විනයක් තිබිණි.

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි නායකයෝ ඉහත කී සම්ප්‍රදාය හා විනය මහා ඉහළින් රැක ගත්හ. ආන්දෝලනාත්මක නායකයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා පවා කිසිදිනෙක ආගමට හෝ සම්ප්‍රදායට හෝ අපහාස කළේ නැත. වික්‍රමසිංහ මහතා කලකට පසු ජාතික සේවක සංගම් මූලස්ථානයට ගියේ ය. එදින ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ එජාපයේ වෘත්තීය සංගමයට අයත් වෙබ් අඩවිය ජනගත කිරීම ය. තමන්ගේ රාජකාරිය ඉටු කළ වික්‍රමසිංහ මහතා සුපුරුදු ලෙස කතාවක් ද පැවැත්වී ය. එම කතාව බෞද්ධ ජනතාවට කළ අපහාසයෙකි. ජාතියේ මුදුන් මල්කඩ වන් සංඝ නායක පදවිවලට අපහාසයෙකි. වික්‍රමසිංහ මහතා විහිළු කරන්නේ බෞද්ධ ජනයාගේ හදවත සමඟ ය. එම කතාවේ දී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ වංචාව, දූෂණය හා නාස්තිය නමින් නිකායවල් තුනක් ඇති බව ය. එම නිකාය තුනෙහි නායක හිමිවරුන් අනුනායක හිමිවරුන්,සංඝනායක හිමිවරුන්, හා පළාත් නායක හිමිවරුන් ඇති බව ද ඔහු කියා සිටියේ ය.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වනුයේ කට කොනකට සිනහවක් නඟමින් සියල්ල අපහසායට ද ලක් කරමින් ය. අපට ආගම් භේදයක් අවශ්‍ය නැත. එහෙත් ශ්‍රී ලංකාවේ වැඩි පිරිස බෞද්ධයෝ වෙති. මෙරට සංස්කෘතිය, ශිෂ්ටාචාරය හා අක් – මුල්වල පදනම බෞද්ධ පරිසරය යි. ශ්‍රී ලංකාව යටත්විජිතයක් ලෙස පවත්වාගෙන ගිය යුරෝපීය ජාතීන් උත්සාහ දැරුයේ ද මෙරට බුදුදහමේ අක් – මුල් විනාශ කිරීමට ය. ඉංග්‍රීසි කාරයාගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ රක්ෂා කිරීම සඳහා අපගේ ස්වාමීන් වහන්සේ දිවි හිමියෙන් මහත් කැපවීමක් කළ සේක. වෙහෙර - විහාර බුදුපිළිම ආරක්ෂා කිරීම සඳහා ද එබඳු ම වෙහෙසක් ගත් සේක. රනිල් වික්‍රමසිංහ මහතා අපහාස කරන්නේ ද උපහාස කරන්නේ ද එම ඉතිහාසයට යි. අපගේ මහාර්ඝ වූ උරුමයට යි. ජාතික උරුමයට අභියෝග කරන හා අපහාස කරන විහිළුකාරයකු විපක්ෂයේ නායකයා වීම මේ රටේ ජාතිය ලැබූ මහත් ම අභාග්‍ය ය වේ. එක්සත් ජාතික පක්ෂයට ඔහු කළ හානිය සුළු පටු නොවේ.

අපේ ජාතියට ඔහු කළ හානිය සුළුපටු නො වේ. අපගේ මාතෘ භූමියට ඔහු කළ හානිය සුළුපටු නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් විග්‍රහ කළහොත් නව යටත් විජිතවාදයට කත් අදින ඇමෙරිකන් ඇන්ග්ලිකන් මිනිසකු ලෙස පෙන්වා දිය හැකි ය. ඔහු සිය දෙපා සිටුවා ගෙන ඇත්තේ ඇමෙරිකාවේ මිස ශ්‍රී ලංකාවේ නො වේ. ශ්‍රී ලංකාවේ උණුසුම ඔහුට දැනෙන්නේ නැත. අපේ මිනිසුන්ගේ දහදිය සුවඳ ඔහුට දැනෙන්නේ නැත. එබඳු මිනිසකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන්නේ කෙසේ ද? සාධාරණ හා යුක්ති සහගත ලෙස විපක්ෂය හසුරුවන්නේ කෙසේ ද? අපගේ හැඟීමට අනුව ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය තුළ විපක්ෂය ඉතා ම විකෘති අන්දමින් හැසිරී ඇත්තේ මේ කාලයේ ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහුගේ අතීත කියුම් - කෙරුම් ඉතා හොඳින් අපට මතක ය. එක් වරෙක ඔහු පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අපහාස කළේ ය.

උන්වහන්සේගේ පුරාවිද්‍යා චක්‍රවර්ති පදවිය හෑල්ලුවට ලක් කළේ ය. උන් වහන්සේ ගේ ගමන් පහසුව සදහා පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව ලබාදීමට නියමිත වූ මෝටර් රථය ගැන කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එල්ලාවල හිමියන්ට නිවන් දැකීම සඳහා බෙන්ස් රථයක් අවශ්‍ය බව ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා බෙන්ස් රථයක් අවශ්‍ය දැ’ යි ඔහු අසා සිටියේ ය. මේ සියල්ල විහිළුවට ලක් කරනුයේ හිතාමතා ය. ඔහුට බෞද්ධාගමට පහර ගැසීමේ තදබල වුවමනාවක් පවතී. එය අතීතයේ සිට පැවැත එන ජානගත උරුමයකි. රනිල් ගේ මාමා කෙනකු යැයි කියන ජේ. ආර්. ජයවර්ධන මෙරට සංඝයා වහන්සේ අපහසායට පත් කළේ උන්වහන්සේ පඩික්කම් පුරවන පිරිසක ලෙස දක්වමින් ය.

ලබන සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය පැවැත් වේ. ශ්‍රී ලංකාවට එරෙහිව එදිනට නැඟෙන ව්‍යාජ චෝදනා ගොනු කිරීම සඳහා මේ විපක්ෂ නායකයා ද විශාල තල්ලුවක් දී තිබේ. ඔහුගේ ඉලක්කය අමෙරිකාවට කත් අදිමින් ශ්‍රී ලංකාව විනාශ කිරීම ය. කල්ලතෝනි අදහස් දරන්නකු යම් අවාසනාවක් මත මතුයම් දිනෙක මේ රටේ නායකත්වයට පත්වුවහොත් අපට සිදුවනුයේ හදිසියේ දිවිනසා ගැනීමට ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]