ලොක්කෝ පොඩ්ඩන් පාලනය කරන්නේ මානව හිමිකම් යොදාගෙන

ලොක්කෝ පොඩ්ඩන් පාලනය කරන්නේ මානව හිමිකම් යොදාගෙන

මහාචාර්ය නලින් ද සිල්වා

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනා, තෙල් මිල ඉහළ යාමත් සමඟ සමාජයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය වාසියට හරවා ගැනීමට කුමන්ත්‍රණකාරී කණ්ඩායම් උත්සහ දැරීම සහ ඔවුන් විදේශීය බලවේගවලට සහයෝගය දක්වන ආකාරය හා තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ ජිනීවා නුවර රැස්වෙන ජාත්‍යන්තර සමූළුවේදීද කතාබහ කිරීමට නියමිතයි’ ජාත්‍යන්තරය විසින් එල්ල කරන මේ පීඩනය කෙතෙක් දුරට සාධාරණද?

මානව හිමිකම් සංකල්පය නරක දෙයක් නොවෙයි. එය හොඳ සංකල්පයක්. මානව හිමිකම් සංකල්පය එදා ඇතිවුණේ ආණ්ඩුවේ ආධිපත්‍යයට ගොදුරුවන ජනතාව ගලවා ගැනීමේ අරමුණ අනුවයි. ඒත් නූතනයේදී මානව අයිතීන් යන දේ පාවිච්චි වන්නේ ඒ විදියට නොවෙයි. තමන්ට පාලනය කළ නොහැකි රටවල් නායකයන් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කිරීමේ අදහස මුල්කරගෙනයි. අද රටවල් වගේම ජනමතයන්ද පාලනය කිරීමේ අයිතිය ලබාගෙන ඇත්තේ සීමිත කොට්ඨාසයක්. නූතනය, නැතිනම් අධිරාජ්‍යවාදීන් උත්සාහ කරන්නේ ඔවුන්ට පාලනය කර ගැනීමට අපහසු අය, රටවල් පාලනය කිරීමට මානව හිමිකම් පිළිබඳ කරුණු යොදා ගන්න බව මා ප්‍රකාශ කළා. අද ශ්‍රී ලංකාවටත් සිදුවලා තිබෙන්නේ ඔවුන්ගේ ගොදුරක් බවට පත්වීමට.

එයට එකම හේතුව වෙලා තිබෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා බටහිරට හෝ අධිරාජ්‍යවාදී අරමුණුවලට පාලනය කළ නොහැකි පුද්ගලයකු වීමයි. ඔහු රනිල් වික්‍රමසිංහ මහතා මෙන් බටහිර අවශ්‍යතා සපුරන පුද්ගලයකු වුණා නම් ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් මේ විදිහේ පීඩනයක් අධිරාජ්‍යවාදීන්ගෙන් එල්ලවන්නේ නැහැ. අද මානව අයිතීන් ගැන කතා කරන දෙස් විදෙස් බලවේග යුද අවස්ථාවේදී ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් ප්‍රාණ ඇපයට ගෙන සිටි අහිංසක ජනතාව ගැන, ඔවුන්ගේ මානව අයිතීන් ගැන, කතා කරන්නේ නැහැ. එදා කතා කළෙත් නැහැ. මා දකින විදිහට සුනන්ද දේශප්‍රියගේත්, රොබට් ඕ.බ්ලේක්ගේත් අරමුණු එකයි. අද රටට එරෙහිව දෙස් විදෙස් දුෂ්ට බලවේග, අධිරාජ්‍යවාදී බලවේග එක පිලකට එක් වූ අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

* සිංහල, දෙමළ ජනවර්ග දෙක අතර කලක සිට පවතින අනවබෝධයට හේතුව විදියට ඔබ දකින්නේ කුමන තත්ත්වයක්ද?

මෙය ජනතාව අතර ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවෙයි. අධිරාජ්‍යවාදීන් විසින් ඇතිකළ දෙයක්. අධිරාජ්‍යවාදීන් දෙමළ ජාතිවාදය ශක්තිමත් කරන විදිහටයි කටයුතු කළේ. 1947 වර්ෂයෙන් පසු එම ජාතිවාදය බෙදුම්වාදය දක්වා දුරදිග ගියා. දෙමළ ජනතාවට කියා විශේෂ ප්‍රශ්නයක් නැහැ. මා දකින විදිහට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තමයි මුලින්ම අධිරාජ්‍ය පදයට නටන්නේ නැතිව ස්වාධීනවත් දේශප්‍රේමී විදියට කටයුතු කළේ. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා තමයි අධිරාජ්‍ය කඳවුර ඉදිරියේ සෘජුව හා නොබියව කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ඔහුට විරුද්ධව මෙතරම් විශාල ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන්නේ. ඒ වගේම එදා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් සිදුවුණා. බණ්ඩාරනායක මහත්මිය විනාශ කිරීමත් එතුමියගේ ආණ්ඩුව පරාජය කිරීමත් කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වුණා. එදා තිබූ කුමන්ත්‍රණයම තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. ඒ අද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණ ඇතිවයි. ඒ නිසා සියලු ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. එකම වෙනස තිබෙන්නේ එදා සිටි කුමන්ත්‍රණ කරුවන්ගේ මුණුපුරන්, හා දූ දරුවන් වීම පමණයි. එහෙත් ඔවුන්ගේ අරමුණු වෙනස් වෙලා නැහැ. විදේශ බලවේගවලට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව කෙසේ හෝ විනාශ කිරීම පමණක් නොවෙයි. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් යුද අපරාධ චෝදනාවලට ගොදුරු කර විනාශ කිරීමයි.

* යුද අපරාධ චෝදනා එල්ලවීමට බලපෑ ප්‍රමුඛ කාරණය විදිහට ඔබ දකින්නේ කුමක්ද?

සරත් ෆොන්සේකා මහතා ගේ සුදු කොඩි ප්‍රකාශය තමයි මේ තත්ත්වයට මුල් වුණේ. ඔහු පුවත්පතට මේ ප්‍රකාශය කීමට පෙර අම්බලන්ගොඩදී හා රත්නපුරේදී මේ ප්‍රකාශය කළා. මෙය අතිශය ද්‍රෝහී ප්‍රකාශයක් විදිහටයි සලකන්න වෙන්නේ. චැනල් 4 චිත්‍රපට අතුළු සියල්ල ආවේ ඉන් පසුවයි. මාධ්‍ය සංවිධාන විදිහට මෙහි සිටින කණ්ඩායම් ද මේ කුමන්ත්‍රණය පිටුපස සිටිනවා. මොවුන්ට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද ඒවා ලැබෙන්නේ කොතැනින්ද මේ සල්ලිවලට මොකද කරන්නේ මේ හැම දෙයක්ම සොයා බැලිය යුතුයි.

* මෙම ප්‍රශ්නයේදී විපක්ෂය ඉටුකරන කාර්යභාරය හා ඔවුන්ගේ වගකීම් නිසි විදිහට ඉටුවෙනවා කියලා ඔබ සිතනවාද?

ඉතිහාසයේ බිහි වූ ලොකුම ජාති ද්‍රෝහියා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. මෙරට ඉතිහාසයේ ජේ. ආර්. ජයවර්ධන චරිතය කොතෙක් දුරට ජාතිද්‍රෝහී වූවාද ඊට වඩා කිහිප ගුණයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජාති ද්‍රෝහී පුද්ගලයකු බවට පත්ව තිබෙනවා. රටේ විනාශයේ මාවත විවර කළ මාමා හා බෑනා ලෙස මොවුන්ව හඳුන්වා දෙන්න පුළුවන් ඩඩ්ලි සේනානායකලා, ඩී.එස්. සේනානායකලා වෙනස් විදිහේ පුද්ගලයෝ. ඔවුන් අතින් දැනුවත්ව වරදක් වුණේ නැහැ. නොදැනුවත්ව වරදක් වෙන්න ඇති. ඒත් ඒවා සැලකිය යුතු මට්ටමේ දේවල් නොවෙයි. ආණ්ඩුව විසින් ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබුණා. ආණ්ඩුවක හැම දෙයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැහැ. මා මෙතැනදී එක් ප්‍රශ්නයක් විමසනවා. මේ මාසයට තමයි රටපාවා දීමේ සටන් ගිවිසුමේ සංවත්සරය යෙදී තිබෙන්නේ. එදා ගිවිසුම අත්සන් කරද්දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද? පාර්ලිමේන්තුව තබා තමන්ගේ ඇමැති මණ්ඩලයට හෝ ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේ පුද්ගලයකු තමයි මේ විදිහේ දේවල් කතා කරන්නේ.

* ජාතික බලවේගවලට අවශ්‍ය කරන දිශාව වෙත ආණ්ඩුව ගමන් නොකරන බවට ආණ්ඩුවට හිතවත් ජාතික බලවේග චෝදනා කරනවා. දීර්ග කාලීනව ජාතික මතවාදය නියෝජනය කරන පුද්ගලයකු ලෙස ඔබට මේ ගැන ඇත්තේ මොන විදිහේ අදහසක්ද?

එහෙම දෙයක් වෙනවා නම් ඊට වගකිවයුත්තේ පිටස්තර අය නොවෙයි ඒ අයමයි. පුළුල් සමගියක් අවශ්‍ය මොහොතක කට්ටිවාදීව කටයුතු කළා. සමස්තයක් විදිහට ගෙන බලපුවාම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තිස් අවුරුදු යුද්ධය නිමාකළා. ජාතික බලවේග බලාපොරොත්තු වූ මූලික දෙයක් වූ ත්‍රස්තවාදය පරාජය කළා. එය පමණක් වුණත් අතිශය වැදගත් කාරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අප ඒ ගෞරවය ලබා දිය යුතුයි. තෙල් මිල ඉහළ ගියා, බඩුමිල ඉහළ ගියා, මිනිස්සුන්ට අමාරුයි තමයි. ඒත් මේ දේ හින්ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළොත් ඔහුව ඉවත් කළොත් මීට වඩා දහ ගුණයක දුක් විදින්න වෙන එක වලක්වන්න බැහැ. සිංහල, දෙමළ කියා බේදයක් නැහැ. අද අපට උතුරේ ඉඳලා දකුණට නිදහසේ යන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් අයකු ජනාධිපති ධූරයට පත් වුණොත් මේ තත්ත්වය ආරක්ෂා වෙයි කියලා ඔබ සිතනවාද? . එසේ වුවහොත් යළිත් බෙදුම්වාදීන් ශක්තිමත් වීම පමණයි වෙන්නේ. එහෙම වුණොත් යළිත් යුද්ධයක් ඇතිවෙයි. අපේ දුප්පත් දූ දරුවෝ යළිත් යුදබිමේදී ජීවිත පූජාකරාවි. මේ තත්ත්වයට නිදහස අගය කරන කිසිවකු කැමැති වෙන එකක් නැහැ.

* දෙමළ ජනතාවට යුද්ධයේදී බරපතල හානිවලට මුහුණ දීමට සිදු වූ බවටත් චෝදනාවක් ජාත්‍යන්තරයෙන් එල්ල වෙනවා.?

ඔය කියන විදිහේ බරපතළ හානියක් වුණා කියලා අප සිතන්නේ නැහැ. ඔය කියන විදිහේ බරපතළ හානියක් වූවා යැයි අපි සිතමු. එහෙත් අද කළ යුත්තේ ඒ ගැන සිතමින් වාද විවාද කිරීම නොවෙයි. ජීවත්ව සිටින සහෝදර ජනතාවට අවශ්‍ය කරන සංවර්ධනය සිදු කිරීමයි. අවශ්‍ය උපකාර ලබාදීමයි. ඒත් අද ඔය කතා කරන ඇමරිකාවටවත් , එංගලන්තයටවත්, දෙමළ සන්ධානයටවත් අවශ්‍ය දෙමළ ජනතාවට සේවය කිරීමට හෝ සංවර්ධනය සිදු කිරීමට නොවෙයි. සමහරු අද උත්සාහ කරනවා ලංකාවත් ඊජිප්තුවක්, ලිබියාවක් හෝ සිරියාවක් කරන්න. ඒත් අරගලවලින් ආණ්ඩු පෙරළන්න බැහැ ලංකාවේදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා