පිටකොටුවේ වෙළෙඳ සලක උඩුමහලේ අසැබි චිත්‍රපට ප්‍රදර්ශන මධ්‍යස්ථානයක්

පිටකොටුවේ වෙළෙඳ සලක උඩුමහලේ අසැබි චිත්‍රපට ප්‍රදර්ශන මධ්‍යස්ථානයක්

* අසැබි දසුන් නරඹමින් සිටි 18 දෙනෙක් අත්අඩංගුවට

* අයිතිකරුට දඩ සහ අත්හිටවූ සිර දඬුවම්

පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ සලක උඩු මහලේ කලක සිට පවත්වාගෙන ගිය අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළ මධ්‍යස්ථානයක් වැටලීමට පිටකොටුව පොලිසිය සමත් විය. එම වැටලීමේදී ඒ මධ්‍යස්ථානයේ අයිතිකරු අදාළ චිත්‍රපට තැටිය රූපවාහිනි යන්ත්‍රය සමග අසභ්‍ය චිත්‍රපට නැරඹූ පුද්ගලයන් දහ අට දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත් විය.

පිටකොටුව පොලිසියේ උ. පො. ප. කීර්ති සහ පො. කො. 70589 ප්‍රියදර්ශන යන මහත්වරුන් විසින් ඔවුනට විරුද්ධව අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ පැමිණිල්ලක් ගොනු කරමින් සැකකරුවන් සහ නඩු භාණ්ඩ පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.  සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩෙන්සිල් ග්‍රේ මහතා පෙනී සිටියේය. ඔවුහු අධිකරණයේදී අදාළ චෝදනාවට වරද පිළිගත්හ.

වරද පිළිගත් අසභ්‍ය චිත්‍රපට දර්ශන මධ්‍යස්ථානයේ අයිතිකරුට රුපියල් දෙදහස් පන්සියක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊට අමතරව චුදිතට අවුරුදු දෙකක සිර දඩුවමක් නියම කරමින් එය අවුරුදු පහකට අත්හිටවන ලදී.

එම චිත්‍රපට නැරඹූ බවට චෝදනා ලැබු අයට එක් අයකුට රුපියල් පන්සිය බැගින් දඩ නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය අසභ්‍ය දර්ශන ඇතුළත් ඩී. වී. ඩී. තැටිය විනාශ කිරීමට නියෝග කරමින් රූපවාහිනි යන්ත්‍රය අදාළ අයිතිකරුට මුදා හැරීමට නියෝග කළාය. පිටකොටුව පොලිසියේ උ. පො.ප. කීර්ති මහතා විසින් මෙහෙයවන ලද මේ වැටලීමට පො. සැ. 36342, කරුණාරත්න පො. කො. 35431 නිෂාන්ත, පො. කො. 81033 නාලක පො. කෛා. 76888 සමරකෝන් පො. කො. 70584 ප්‍රියදර්ශන එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා