මුන්දලම පෙර පාසල් දැරියට ලක්ෂ 50ක කප්පමක් ඉල්ලලා

මුන්දලම පෙර පාසල් දැරියට ලක්ෂ 50ක කප්පමක් ඉල්ලලා

* පොලිසිය දැරිය බේරා ගනී

* මුදල දෙන අවස්ථාවේ ප්‍රධාන සැකකරු හා කාන්තාවක් අත්අඩංගුවට

ඉකුත් 22 දින උදේ මුන්දලම පුත්තලම මාර්ගයේ පෙර පාසලකින් පැහැරගෙන යනු ලැබූ අවුරුදු 3 1 / 2 වයසැති සරත්චන්ද්‍ර ස්වස්තිකා දැරිය මුන්දලම පොලිසිය විසින් සොයා ගෙන තිබේ. දැරියගේ මාමා යැයි පවසා පැහැරගත් බව කියන පුද්ගලයා දැරිය බේරා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් දැරියගේ මවගෙන් ඉල්ලා තිබේ.

පැහැරගත් දැරිය මව් තුරුලේ
ඡායාරූපය - පුත්තලම සමූහ

මව විසින් මේ බව මුන්දලම පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කප්පම් මුදල ලබා දෙන බව පවසා මව කප්පම් මුදල ලබා දෙන අවස්ථාවේ සැකකරු දරුවා සහ ප්‍රධාන සැකකරු සමග පැමිණි වයස අවුරුදු 45 ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මව පොලිසියේ උපදෙස් මත ලක්ෂ 50 ක් තමාට දිය නොහැකි බවත් ලක්ෂ 15 ක් දී දියණිය බේරා ගත හැකි බවත් පවසා දැරිය බේරා ගැනීමට සැකකරු විසින් තෝරාගත් පල්ලම ප්‍රදේශයට ගොස් කප්පම් මුදල ලබාදීමට යන අවස්ථාවේදී ප්‍රධාන සැකකරු සහ ඔහු සමග පැමිණි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 22 දා උදෑසන අවු’ 21 වයසැති දැරියගේ මාමා යැයි කියාගත් පුද්ගලයා පෙර පාසලේ පාලිකාව රවටා දැරිය පැහැර ගෙන ගොස් තිබේ. දැරියගේ පියා විදේශ රටක රැකියාවක නිරත වේ. මුන්දලම පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු පිරිසක් මේ වැටලීම කලහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා