මුද්‍රණය සඳහා

 
ඉස්ලාම් දහමට අමෙරිකා හමුදා‍ව නිගරු කළාට ඔබාමා ඇෆගනිස්ථානයෙන් සමාව ගනී

ඉස්ලාම් දහමට අමෙරිකා හමුදා‍ව නිගරු කළාට ඔබාමා ඇෆගනිස්ථානයෙන් සමාව ගනී

ඇෆ්ගනිස්'තානයේ ගුවන් කඳවුරක දී කුරානය ඇතුළු ඉස්ලාමීය ආගමික පොත් පත් ගිනිතබා විනාශකර දැමීම සම්බන්ධයෙන් තුන්වන දිනටත් උග්‍ර ගැටුම් පැතිර යාමත් සමඟ ජනාධිපති ඔබාමා ට ඇෆ්ගනිස්තාන‍යෙන් සමාව අයැදීමට සිදුවී තිබේ.

ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි අමතන ලද ලිපියකින් ජනාධිපති ඔබාමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශකර ඇත. මෙම ගැටුම් වලින් ඇමෙරිකා සොල්දාදුවෙකු ඇතුළුව 14 දෙනෙකු මියගිය බව වාර්තා වේ.

සිකුරාදා යාඥා මෙහෙයෙන් පසුවත් ඇමෙරිකාවිරෝධී උද්ඝෝෂණ පැවැත්වීමට කෝපයට පත් ඇෆ්ගන් වැසියන් අර අඳිමින් සිටි බව වාර්තා වේ. ඇමෙරිකා ප්‍රංශ සහ නෝවීජියානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට විරෝධතාකරුවන් සැලසුම්කර ඇතැයි සඳහන් ය.

මෙම සිද්ධියට පළිගැනීමට විදෙස් හමුදා මරා දමන ලෙස තලෙයිබාන් සටන්කාමීන්ඉල්ලා ඇත. මීළඟ ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙමින් පවතින මෙම අවධියේ දී ඔබාමා මෙලෙස ඇෆ්ගනිස්තානයෙන් සමාව අයැදීම ඇමෙරිකා ජනාධිපතිගේප්‍රතිවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන තුරු සන්සුන්ව සිටින ලෙස ජනාධිපති කර්සායි සිය වැසියන්ගෙන් ඉල්ලා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]