මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වනවා

ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වනවා

ආදි නාලන්දීයයෝ ජනපතිට පවසති

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත අමෙරිකාව ඉදිරිපත් කරන්නට යන යෝජනාව නිසැකවම පරාජයට පත් වන බව අමෙරිකාවේ සිටින ආදී නාලන්දීයෝ ප්‍රකාශ කරති.

එම යෝජනාව පරාජය කිරීම සඳහා විදේශගත සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ජනාධිපතිතුමාට හිමි වන බවත් ඔවූහු පෙන්වා දුන්හ.

කොළඹ, නාලන්දා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (27) අමෙරිකාවේ සිටින ආදි නාලන්දියෝ ජනාධිපතිතුමා සමඟ සජීවීව සම්බන්ධ වෙමින් මේ අදහස් පළ කළහ.

ලෝකයේ කොතැනක සිටියත් සියලු ශ්‍රී ලාංකිකයන් හදවතින් මවුබිම සමඟ සිටීම සතුටට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

නාලන්දා විද්‍යාලයේ දියුණුව උදෙසා ආදි නාලන්දීියන් කරන උපකාරවලට ජනාධිපතිවරයා මෙහිදී ස්තුතිය පළ කළේය. මේ මධ්‍යස්ථානයේ සුවිශේෂිත්වය වන්නේ එය ස්ථාපිත කර ඇත්තේ ජනාධිපතිවරයා එවකට සිසුවකු වශයෙන් ඉගෙනුම ලැබූ 3 සී පන්තියේ වීමයි. ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, ප්‍රාථමික අංශයේ නව ගොඩනැගිල්ල, ප්‍රාථමික අංශයේ පරිගණක විද්‍යාගාරය, නවීකරණය කළ ක්‍රීඩාංගණය, ලකුණු පුවරුව, මාධ්‍ය කුටිය ජනාධිපතිවරයාගේ අතින් විවෘත කෙරිණ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 45 කි. ආදි නාලන්දියකු වශයෙන් විශිෂ්ට කීර්තියක් උදා කර දුන් ජනාධිපතිතුමා වෙත විද්‍යාලයේ උපහාර මෙහිදී පිරිනැමිණ. නාලන්ද විද්‍යාලය ඇතුළු සහෝදර විද්‍යාලවල ශිෂ්‍ය භටයෝ ජනාධිපතිතුමා වෙත ජනාධිපති උත්තමාචාර පිරිනැමූහ.

ජනාධිපතිවරයා නාලන්දීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය. කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය ක්‍රිකට් තරගයේ සිහිවටන පුවරුවේ සමරුවක් තැබූ ජනාධිපතිතුමා විද්‍යාලයේ නවීකරණය කළ කී‍්‍රඩාංගණය විවෘත කරමින් පන්දුවට පහර දුන්නේය. යාපනයේ ද්‍රවිඩ පාසල් සිසු සිසුවියෝ ද ජනාධිපතිවරයා සමඟ සජීවීව කතාබහට එක් වුණේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආධාරයෙනි.

විද්‍යාලයේ ධර්ම ග්‍රාම සංසදය අනුරාධපුර, දලුක්ගල විහාරස්ථානයේ ඉදි කළ නාලන්දා සෑයේ අනුරුවක් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමිණ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, නාලන්දා විද්‍යාලයාධිපති රංජිත් ජයසුන්දර මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]