හොඳින් ගෙන එන නරක යෝජනාවක්

හොඳින් ගෙන එන නරක යෝජනාවක්

උතුරේ යුද්ධය අවසන් වී රට එක්සේසත් වී වසර 3 කට ආසන්න කාලයක් ගතවෙමින් පැවතිය ද ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යුද්ධය අවසන් වී නැහැ. මේ විවිධ ස්වරූපවලින් මතු වෙමින් පවතින්නේ එම ජාත්‍යන්තර සටන බවයි පෙනෙන්නේ. විටෙක චැනල් ෆෝ ලෙසත්, රුද්‍රකුමාර්ගේ සිහින ඊළාම් රාජ්‍යය ලෙසත්, දරුස්මාන් වාර්තාව ලෙසත්, මේ සටන පසුගිය සමයේ වරින් වර මතුවුණා. මේ අතර යුද්ධය අවසන් වීමත් සමඟ ම එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැසසීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එවකට ජිනීවා හි සේවය කළ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළා. එහි දී සිදු වූයේ බටහිර ජාතීන් නොසිතූ සිදු වීමක්. එනම් මානව හිමිකම් කවුන්සලයේ බහුතරය ශ්‍රී ලංකාව සමඟ එකතු වීමයි. තවමත් මානව හිමිකම් කවුන්සිලයේ පවතින්නේ එම යෝජනාවයි. එදත් එම යෝජනාවට එරෙහිව සමහර බටහිර රටවල් ඡන්දය දුන්නා. එදාත් ඉන්දියාව සිටියේ ශ්‍රී ලංකාව සමඟ. එහෙත් බටහිර ක්‍රියාත්මක වන එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්ෆෝරාව මෙම යෝජනාව පරාජය කිරීමට උපරිම මෙහෙයක් ගත්තා. එල්. ටී. ටී. ඊ. යට එරෙහි මානුෂික මෙහෙයුම ජයගැනීමෙන් පසුව එම ජයග්‍රහණයට අදාළ ව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව ලත් ප්‍රථම ජයග්‍රහණය සේ මෙය සැලකිය හැකියි. මෙහි දී ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණය සමහර බටහිර රටවල ප්‍රසාදයට හේතු වූයේ නැහැ. මෙය එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්ෆෝරාවට එල්ල කළ කනේ පහරක් වුණා.

එතැන් සිට මේ දක්වා ම නැවත පදිංචි කිරීම අරඹමින් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් පුනරුත්ථාපනය කරමින්, යටිතල පහසුකම් දියුණු කරමින්, ඉතා කෙටි කලක් තුළ උතුරේ ඉටු වී තිබෙන වැඩ කොටස අති විශාලයි. ලෝකයේ මෙවන් සිවිල් යුද්ධ අවසන් වීමෙන් පසු යළිත් අදාළ ප්‍රදේශ ගොඩනැගීමේ ක්‍රියාවලින් දෙස බලන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉදිරියෙන්. මෙහි අනුගමනය කළ පුනරුත්ථාපන වැඩපිළිවෙළ වේගවත්. එසේ ම ප්‍රතිඵලදායකයි. බිම් බෝම්බ ඉවත් කරමින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව සිටින්නේ එවන් ව්‍යසනයන්ට මුහුණ දුන් අන් රටවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. මෙම වැඩපිළිවෙළ වරින්වර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා පැසසුමට ලක් වුණා. මේ අතර එල්. ටී. ටී. ඊ. හිතවාදී ඩයස්ෆෝරාව පසුබැස සිය ශක්තිය හකුලා ගත්තේ නැහැ. දරුස්මාන් වාර්තාව, චැනල් ෆෝ වීඩියෝ සංදර්ශනය ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්.

මේ නිසා ශ්‍රී ලංකාවට සාමය උදාවීමෙන් පසුව වුව ද සටන් දෙකකට මුහුණ දීමට සිදු වෙලා. එකක් උතුර යළි යථා තත්ත්වයට පත් කිරීමේ සංවර්ධන සටන, අනෙක දෙමළ ඩයස්ෆෝරාවට එරෙහිව ජාත්‍යන්තර සටන ප්‍රභාකරන් ජීවත් ව සිටින කාලයට වඩා එල්. ටී. ටී. ඊ. හිතවාදී ඩයස්ෆෝරාවේ ක්‍රියාකාරීත්වය වැඩි වී තිබෙන බවට කීප වරක්ම ජාත්‍යන්තර යුද විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න අපට අනතුරු අඟවා තිබුණා. අපට මතකයි. එහෙත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය යොමු වී තිබුණා ද යන්න සැක සහිතයි. ඊට එරෙහිව අපේ විදේශ සේවාවන් නිරතුරුව ක්‍රියාත්මක වන සක්‍රීය වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාවට නැඟුවා ද යන්න ද ප්‍රශ්නයක්. විටින් විට යම් යම් දේ සිදුවුවද සැලසුම්ගත ක්‍රියාදාමයක් සිදුවෙලා නැහැ වගෙයි.

මෙවර මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාවකට පක්‍ෂවන බව අමෙරිකාව පවසන්නේ මෙවන් පසුබිමක. මෙය අහඹු සිදුවීමක් නොවෙයි. වසර දෙකක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක එක් උච්ච අවස්ථාවක්. ඔවුන් ප්‍රශ්නයට අවතීර්ණ වන්නේ ඉතා සූක්‍ෂම ලෙස. දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක් වූ ප්‍රතිචාරය නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඔවුන් දන්නවා. විශේෂයෙන් ම මෙහි දී ඉන්දියාව සිටියේ ශ්‍රී ලංකාව සමඟ යි. මේ නිසා දරුස්මාන් වාර්තාව දැන් ඔවුන්ට අලෙවි කිරීමට නොහැකියි. මෙවර බටහිර ජාත්‍යන්තරය එල්ලී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනයක් වන උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ කොමිසන් සභා වාර්තාවෙයි. එම වාර්තාව මේ වන විට රහසිගත ලියවිල්ලක් නොවෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද හා මාධ්‍යයට නිකුත් කරන ලද විවෘත ලියවිල්ලක් වී අවසන්. එහි අඩංගු යෝජනා ක්‍රියාත්මක කරන බව ද රජය පවසනවා. මෙහි දී බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමකට අදාළ සංවේදී කාරණා ක්ෂණික නූඩ්ල්ස් මෙන් ක්‍රියාත්මක කළ නොහැකියි. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. දැනටමත් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊට තමන්ගේ නියෝජිතයන් එවිය යුතු වෙනවා. රජය පවසන පරිදි දේශපාලන විසඳුමක් සොයා බැලීමේ ක්‍රියා පිළිවෙතේ යම් ප්‍රමාදයක් පවතින්නේ නම් එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයේ නියෝජනයන් එවීමේ ප්‍රමාදය නිසා ඇති වූවක්. මීට අමතරව ආරක්ෂක අංශවල සමහර අය අතින් විනය විරෝධී යමක් සිදු වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද සොයා බැලීමට යුද හමුදාපතිතුමා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. මිනීමැරුම්වලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 13000න් හා එල්.ටී.ටී.ඊ නායකයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පුනරුත්ථාපනය වෙමින් නිදහස් වන්නේ මානුෂික මෙහෙයුම සැබෑවටම සිදු වූ නිසායි. මේවා ජාත්‍යන්තරයට නිවැරදිව අර්ථ ගැන්වීමට අප අපොහොසත් වෙලා වගෙයි. මේ ආකාරයෙන් උගත් පාඩම් කොමිසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රජය පසු වන මොහොතකයි මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වන්නේ. තවමත් එම යෝජනාව අඩංගු කරුණු නිශ්චිත වශයෙන් ම පැහැදිලි වී නැහැ.

එහෙත් උගත් පාඩම් කොමිසන් වාර්තාව පදනම් කරගෙන යෝජනාවක් ඉදිරිපත් වන බවයි ජිනීවා නුවරින් වාර්තා වෙන්නේ. මෙය මතු පිටින් සුබවාදී ස්වරූපයක් ගත් අසුබවාදී යෝජනාවක් වගෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සියලුම සාමාජිකයනට ඇත්තේ සමාන අයිතිවාසිකම්, සාධාරණය සිදු විය යුත්තේ පොදුවේ කාටත් එක විදියකටයි. පොතේ හැටියටත්, මානව හිමිකම් ප්‍රඥප්තිවලට ලියවී තිබෙන පරිදිත් කිසිවෙකුට විශේෂ වරප්‍රසාද නැහැ. එහෙත් කලාන්තරයක් තිස්සේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන බලවත් ජාතීන්ගේ ග්‍රහණයට නතු වී තිබීම අතිශයෝක්තියක් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඊට අනුබද්ධ මානව හිමිකම් සංවිධානයේ ප්‍රඥප්තිවලට ගරු කිරීමට ශ්‍රී ලංකාව බැඳීසිටින බව සත්‍යයක්, එහෙත් ඒ පිළිබඳව සොයා බැලීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු විය යුත්තේ බලහත්කාරයෙන් නොවෙයි. යුක්ති සහගත ලෙස නැතිනම් සාධාරණ ලෙස කුඩා රාජ්‍යවලට එක් ක්‍රමයක් හා බලවත් රාජ්‍යවලට තවත් ක්‍රමයක් පැවතීම සාධාරණ ක්‍රමයක් තුළ ඉඩක් නැහැ. එහෙත් කුඩා රාජ්‍ය සම්බන්ධයෙන් මෙම ක්‍රමය හැම විටම සිදු නොවන බවයි පෙනෙන්නේ.

ශ්‍රී ලංකාවේ ගත් කළ මානව හිමිකම් සුරැකි ඉතිහාසය වසර 2500කට වඩා පැරණියි. අද සමහර ප්‍රබල ජාතීන් වනචාරීව සිටින යුගයේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැක තිබෙනවා. ඊට හේතුව අපට උරුම වූ බෞද්ධ ශිෂ්ඨාචාරය බව අමුතුවෙන් කිවයුතු නැහැ. අද ඒ සම්බන්ධයෙන් අපට උපදෙස් දීමට සැරසෙන බටහිර සමහර ජාතීන්ට මානව හිමිකම් සම්බන්ධයෙන් අපට තරම් නිරවුල් ඉතිහාසයක් නැහැ. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා යුද්ධයේ අවසන් අදියරේ සිදු වීම් සම්බන්ධයෙන් සොයා බැලීමක යෙදෙන මෙන් ශ්‍රී ලංකාවට යම් බලපෑමක් කිරීමටයි මේ සූදානම් වන්නේ.

රටක් විදියට අපි උගත්පාඩම් ප්‍රතිසංවිධාන කොමිසම මඟින් උතුර එල්.ටී.ටී.ඊ, යෙන් මුදා ගත් මානුෂික මෙහෙයුමේ දී හිතාමතා නොවී හෝ යම් වරදක් සිදු වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක යෙදුණා. අදාළ වාර්තාවේ ඊට අදාළ යුක්ති සහගත නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරයෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි, ශ්‍රී ලංකාව මෙවර මානව හිමිකම් සැසිවාරයේ දී සඳහන් කරන්නේ. එසේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව දැනටමත් යම් වරදක් සිදු වුණා නම් ඒවා සම්බන්ධයෙන් ද සොයා බලමින් සිටින නිසායි.

එතෙක් ඉවසා සිටීමට ඇමරිකාව ඇතුළු බටහිර ප්‍රජාවට නොහැකි වී සිටින්නේ මන්ද ? මානව හිමිකම් හරහා රටේ අභ්‍යන්තරයට අත දැමීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බවයි මින් හැඟෙන්නේ. එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්ෆෝරාවේ වුවමනාව වෙන ආකාරයකින් ජාත්‍යන්තරව රාජ්‍ය මට්ටමින් සිදු වන බවයි මේ සමස්ත චිත්‍රය දෙස බැලීමේ දී පෙනෙන්නේ.

සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අයත් රටවල් සම්බන්ධයෙන් වසර 4කට පසු එළඹෙන තක්සේරුවට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේ බවයි වාර්තා වෙන්නේ. මානව හිමිකම් කමිටුවේ ඕනෑම රටකට එම සොයා බැලීමේ දී සම්ප්‍රදායානුකූලව හා නීත්‍යානුකූලව මැදිහත් විය හැකියි. එය යුක්ති සහගත ප්‍රවේශයක්. එවන් ප්‍රවේශයන් තිබිය දී මෙසේ අතරමග දී කඩා වැදීමේ සාධාරණත්වයක් නැහැ. එසේ ම මෙවර සිදු වන අතරමග මැදිහත් වීම යුක්ති සහගත නොවන්නේ ඒ නිසායි. එය එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ වුවමනාව ඇමරිකාව ප්‍රමුඛ රටවල් මගින් රාජ්‍ය මට්ටමින් ඉටු කර ගැනීමට මාන බැලීමක් බවයි පෙනෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා