මුද්‍රණය සඳහා

 
බටහිරට කට උත්තර නෑ

බටහිරට කට උත්තර නෑ

ශ්‍රී ලංකා ජිනීවා නියෝජිත පිරිස කියති

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගැන බටහිර රටවලින් සෘජුව ප්‍රශ්න කිරීමට ජිනීවා සිටින ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිස තීරණය කර තිබේ. එම රටවල නියෝජිතයන් පිරිස සමඟ සාකච්ඡා කරන බවත් ඒ සඳහා ඔවුන් අවස්ථාව ලබා දී ඇති බවත් ජිනීවා නුවර සිටින වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිටින රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා වලට සහාය දක්වන රටවල් සමඟ දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සූදානම්ව සිටිති.

රණවිරුවන් යුද්ධයේ දී සිදු කළ කැපකිරීම් සහ ඔවුන් යුද්ධයේ දී සිවිල් ජනතාවට සහාය දැක් වූ ආකාරයත් රණවිරුවන්ගේ ජීවිත පූජාකරමින් සිවිල් ජනතාව බේරාගත් ආකාරයත් පිළිබඳ එම රටවල් දැනුවත් කිරීමට මෙරට නියෝජිත පිරිස බලාපොරොත්තුව සිටිති. කොටි ත්‍රස්තවාදීන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරන ආකාරයත් ඒ සඳහා ඔවුන් යුරෝපා රටවල ගෙන යන නොයෙක් වැඩසටහන් පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එය සාර්ථක ලෙස පරාජයට පත් කිරීමේ හැකියාව පවතින බව රජය අවධාරණය කරයි.

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන බවද එවැනි යෝජනාවක් සාර්ථක ලෙස පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන රටවල් සූදානමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා “දිනමිණ” ට ප්‍රකාශ කළේය.

බටහිර රටවල නියෝජිතයන් සමඟ මුහුණට මුහුණලා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාකච්ඡා කිරීමේ සූදානමින් සිටින අතර මේ වනවිටත් විශාල පිරිසක් සමඟ මෙරට නියෝජිත පිරිස සාකච්ඡා කර තිබෙන බවද ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, රුසියාව, මහජන චීනය හා කියුබාව ඇතුළු රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය දීමේ සූදානමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලබන මාර්තු මස 23 දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සල සැසිවාරය පැවැත්වෙන බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ දක්වා ඕනෑම දිනයකදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බවද ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතැමුන් චෝදනා නැඟුවද කිසිවිටෙකත් මානව හිමිකම් උල්ලංඝනය වී නොමැති බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙවැනි යෝජනාවන් ගෙන ඒමේ කිසිදු පදනමක් නොමැති බවද කියාසිටී.

ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම අභියෝගයට ලක් කරමින් අමෙරිකා එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින අතර එම කවුන්සලයට අයත් රටවල් රැසක් ප්‍රකාශකර ඇත්තේ මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය අගය කළයුතු බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]